ඔබත් මුහුණේ අත්වල හෝ කකුල්වල අනවශ්‍ය රෝම නිසා මානසිකව පීඩා විඳිනවාද? බොහෝ කාන්තාවන්ට රූපලාවණ්‍යයට බාධාවක් වන මෙම තත්ත්වය ඔවුන්ගේ සමාජ සබඳතා පවා සීමා කිරීමට හේතුවක් විය හැකියි. රෝම ඉවත් කිරීමේ තාක්ෂණය අද ඉතා දියුණු වී ඇති අතර පහසු ස්ථිර සහ සුරක්ෂිත ක්‍රමවේද රාශියක් අප සතුව තිබේ.
පැපොල් වැක්ස් වැනි නවීන ස්වභාවික ක්‍රමවලින් ආරම්භ කර ලේසර් වැනි දියුණු තාක්ෂණය දක්වා ඇති විකල්ප පිළිබඳව අපි මෙම ලිපිය මගින් හඳුන්වා දෙමු .
කාන්තාවකගේ සිරුරේ රෝම ඇති වීම ස්වභාවික ක්‍රියාවලියක් වුවද හෝමෝනවල වෙනස්වීම්, පරම්පරාගත ලක්ෂණ හෝ ඇතැම් රෝග තත්ත්වයන් නිසා රෝම අධික ලෙස සහ අනවශ්‍ය ස්ථානවල වර්ධනය වූ විට එය රූපලාවණ්‍ය හා මානසික ගැටලුවක් බවට පත් වේ. මෙම තත්ත්වය මඟහැරීම සඳහා පිරිසිදු පැහැපත් සමක් අපේක්ෂා කරන කාන්තාවන්ට නිවැරදි තීරණ ගැනීම සඳහා පහත ක්‍රමවේද පිළිබඳව අවබෝධය වැදගත් වේ.
පහසු සහ ඉක්මනින්ම නිවෙසේදීම කළ හැකි ක්‍රම
ඉක්මන් ප්‍රතිඵලයක් අවශ්‍ය වන අවස්ථාවලදී හෝ හදිසි අවශ්‍යතා සඳහා රෝම ඉවත් කිරීමේ සරල ක්‍රම රාශියක් වර්තමානයේ තිබේ. ඒ අතුරින් ඉතාමත් ජනප්‍රිය හා වේගවත්ම ක්‍රමය වන්නේ රේසර් භාවිතයයි. එම ක්‍රමය මගින් සමේ මතුපිටින් රෝම කපා දැමීමෙන් ක්ෂණිකව ප්‍රතිඵල ලබා ගත හැකිය. නමුත් රෝම ඉක්මනින් නැවත වැඩී එන අතර සම කැසීම වළක්වා ගැනීමට රේසර් කිරීමට පෙර ෂේවින් ජෙල් හෝ ක්‍රීම් භාවිත කර භාවිතයෙන් පසු සම හොඳින් මොයිස්චරයිසර් කළ යුතු වේ.
තවත් ක්‍රමයක් ලෙස රෝම දියකරන ක්‍රීම් භාවිත කළ හැකියි. මේවා රසායනික ද්‍රව්‍ය මගින් රෝම දිය කර දමන නමුත් සමේ ආසාත්මිකතා ඇති කාන්තාවන් ප්‍රවේසම් විය යුතු අතර භාවිතයට පෙර සමේ කුඩා කොටසක පරීක්ෂා කිරීම (Patch Test) අත්‍යවශ්‍යයි. මුහුණේ කුඩා ප්‍රදේශ ඇහි බැමි සහ උඩු තොලේ රෝම සඳහා ට්වීසර් සහ නූල් ඇදීම ද ඵලදායී වේ. මෙමඟින් රෝම මුල සිට ඉවත් කිරීම නිසා ප්‍රතිඵල කිහිප සතියක් පවතී. කෙසේ වෙතත් මෙය තරමක් වේදනාකාරී ක්‍රමයක් විය හැකිය.
ස්වභාවික සහ දේශීය පිළියමක් වූ පැපොල් වැක්ස් හි රහස රසායනික ද්‍රව්‍යවලට විකල්ප අවශ්‍ය අය සඳහා ස්වභාවික පිළියම් තිබේ. ඒ අතර වර්තමානයේ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රමයක් නම් පැපොල් වැක්ස් ය. පැපොල් පලතුරේ ඇති ප්‍රධාන එන්සයිමය වන පැපේන් (Papain) මගින් රෝම කූපය දුර්වල කිරීමට දායක වේ. මෙමගින් රෝම නැවත වර්ධනය වීම මන්දගාමී වන අතර කාලයත් සමඟ නව රෝමවල වර්ධනය අඩු වේ. මෙය ස්වභාවික, සුගන්ධයක් ඇති, සමට මෘදු ක්‍රමයක් ලෙස සැලකෙන අතර මළ සෛල ඉවත් කිරීමටද උපකාරී වේ. කෙසේ වෙතත් පැපොල්වලට අසාත්මිකතා ඇති කාන්තාවන් මෙම ක්‍රමය භාවිත නොකළ යුතු බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.
තවද, කහ සහ කඩල පිටි මිශ්‍රණය ද රෝම වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී වේ. කහ කුඩු, කඩල පිටි සහ කිරි මිශ්‍ර කර සාදාගත් ආලේපනයක් රෝම ඇති ප්‍රදේශයේ තැවරී වියළී ගිය පසු ඉවත් කිරීමෙන් සම පිරිසිදු වී රෝම දුර්වල වේ. එසේම සීනි, දෙහි යුෂ සහ ජලය මිශ්‍ර කර උණු කර තනන ලද සීනි වැක්ස් ස්වභාවිකව රෝම මුල සිට ඉවත් කිරීමට උපකාරී වේ.
දිගුකාලීන නවීන තාක්ෂණික ක්‍රමවේද
රෝම සම්පූර්ණයෙන්ම හෝ දිගු කාලීනව ඉවත් කිරීමට අපේක්ෂා කරන අය සඳහා නවීන රූපලාවණ්‍ය හා වෛද්‍ය තාක්ෂණයෙන් යුත් ක්‍රමවේද තිබේ. ලොව පුරා බහුලව භාවිත වන වෘත්තීය ක්‍රමය වන්නේ වැක්ස් කිරීමයි. උණුසුම් හෝ සීතල වැක්ස් එකක් සමේ ආලේප කර රෝම මුල සිටම වේගයෙන් ඇද දමනු ලැබේ. මෙහිදී රෝම නැවත වර්ධනය වීමට සති කිහිපයක් ගත වන අතර ක්‍රමයෙන් රෝම සිහින් වී ඝනත්වය අඩු වේ.
වඩාත්ම ජනප්‍රිය දිගුකාලීන විසඳුම වන්නේ ලේසර් රෝම ඉවත් කිරීමයි. ලේසර් කිරණ මගින් රෝමයේ මුලට හානි කර රෝම වර්ධනය බොහෝ දුරට අඩු කරයි. ප්‍රතිකාර කිහිපයකින් පසු රෝම වර්ධනය අත්හිටුවීමට හැකියාව තිබේ. රෝම ස්ථිරවම ඉවත් කිරීමට අනුමත කළ එකම ක්‍රමය වන්නේ විද්‍යුත් විච්ඡේදනය (Electrolysis)යි. මෙහිදී රෝම කූපය තුළට ඉතා කුඩා ඉඳිකටුවක් ඇතුළු කර විදුලි ධාරාවක් යවා රෝම මුල සම්පූර්ණයෙන් විනාශ කරනු ලබයි. මෙම ක්‍රම මිල අධික වන අතර විශේෂඥයකු විසින් සිදු කළ යුතුයි.
රූපලාවණ්‍යාගාරවලදී අනවශ්‍ය රෝම ඉවත් කිරීම
රූපලාවණ්‍යාගාරවලදී වැක්ස් කිරීම ලේසර් ප්‍රතිකාර හෝ විද්‍යුත් විච්ඡේදනය වැනි ක්‍රමවේදයන් භාවිත කිරීමේදී නිසි ප්‍රමිතීන් සහ සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකළහොත් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය.
අවදානම් තත්ත්වයන්
ප්‍රධානතම ගැටලුව වන්නේ ආසාදන ඇතිවීමයි. වැක්ස් කිරීමේදී හෝ විද්‍යුත් විච්ඡේදනයේදී භාවිත කරන උපකරණ නිසි පරිදි විෂබීජහරණය කර නොමැති නම් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බැක්ටීරියා හෝ වෛරස් ආසාදන සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහළ යයි. වැක්ස් කිරීමේදී එක් ස්පාටුලාවක් නැවත නැවතත් වැක්ස් භාජනය තුළට දැමීම (Double Dipping) මඟින් ද ක්ෂුද්‍ර ජීවී ආසාදන පැතිර යා හැකිය.
සමේ පිළිස්සුම් සහ කැළැල් ඇතිවීම තවත් බරපතළ අවදානමකි. උණුසුම් වැක්ස් අධික උෂ්ණත්වයක තිබුණහොත් හෝ ලේසර් ප්‍රතිකාර සඳහා වැරදි ශක්ති මට්ටම් භාවිත කළහොත් සමේ පිළිස්සුම් ඇතිවිය හැකිය. මෙම පිළිස්සුම් සුව වූ පසුව ස්ථිර කැළැල් හෝ සමේ වර්ණ වෙනස්වීම් (Hyperpigmentation) ඇතිවීමට ඉඩ ඇත. මීට අමතරව නිසි පුහුණුවක් නොලත් අයෙකු විසින් මෙම ක්‍රමවේදයන් සිදු කිරීමේදී රෝම වර්ධනය වේගවත් වීම (Ingrown Hairs) සමේ දැඩි වේදනාව වැනි ගැටලු ඇති විය හැකිය. එබැවින් රූපලාවණ්‍යාගාරයක් තෝරා ගැනීමේදී ඔවුන්ගේ සනීපාරක්ෂක ප්‍රමිතීන් සහ වෘත්තීයභාවය පිළිබඳව ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.
රෝම ඉවත් කිරීමේදී මතක තබා ගත යුතු සෞඛ්‍යාරක්ෂිත කරුණු ඔබ තෝරා ගන්නා ඕනෑම ක්‍රමවේදයක් ඔබේ සමේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. භාවිතා කරන උපකරණ පිරිසිදු හා විෂබීජ රහිත විය යුතු අතර රෝම ඉවත් කිරීමට පෙර හා පසු සම හොඳින් තෙත් කිරීම හා මොයිස්චරයිසර් ආලේප කිරීම වැදගත් වේ. ඕනෑම නිෂ්පාදනයක් භාවිත කිරීමට පෙර සමේ කුඩා කොටසක ආලේප කර බැලීමෙන් ආසාත්මිකතා වළක්වා ගත හැකිය. අධික රෝම වර්ධනයක් (හෝමෝන ගැටලුවක් විය හැකියි) හෝ රෝම ඉවත් කිරීමෙන් පසු ඇතිවන වේදනාකාරී ගැටලු ඇති වුවහොත් වහාම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වීම අනිවාර්ය වේ.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම යනු ඔබේ පෞද්ගලික තීරණයකි. ඔබේ සමේ තත්ත්වය, රෝම වර්ධනය සහ ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල අනුව ඔබට සුදුසු ක්‍රමය තෝරා ගත හැකිය. සෞඛ්‍ය සම්පන්න හා නිවැරදි ක්‍රම භාවිත කිරීම ඔබේ රූපලාවණ්‍යයට මෙන්ම සමේ සෞඛ්‍යයට ද වැදගත් වේ. ඔබේ රූ සපුව ආරක්ෂා කරගනිමින්, ඔබට සුවපහසු ලෙස ආත්ම විශ්වාසයෙන් ජීවත් විය හැකියි.
