Thursday, November 13, 2025
Epaper
Home Highlightsපොලීසියට ඔබේ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න පුළුවන්ද?

පොලීසියට ඔබේ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න පුළුවන්ද?

by Shanaka Lakehouse

අද කාලේ අපේ පෞද්ගලික තොරතුරු ගොඩක්ම තියෙන්නේ අපේ ජංගම දුරකතනයේ. ඉතින්, පොලීසියට ඔබේ දුරකතනය පරීක්ෂා කරන්න පුළුවන්ද? ලංකාවේ නීතිය මේ ගැන මොකද කියන්නේ? මේ වැදගත් ලිපිය කියවලා ඔබේ අයිතිවාසිකම් ගැන දැනුම්වත් වෙන්න.

පොලීසියට ඔබේ දුරකතනය පරීක්ෂා කළ හැකිද?

වර්තමාන ඩිජිටල් යුගයේ ජංගම දුරකතනය යනු පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු රැසක් ගබඩා කර ඇති අතිශය සංවේදී උපකරණයකි. එබැවින්, පොලිස් නිලධාරීන් විසින් ජංගම දුරකතන පරීක්ෂාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පුරවැසියන් දැනුම්වත් වීම අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය මගින් එම නීතිමය පසුබිම, අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගැනීම හා සම්බන්ධ නීතිය සහ නීති විරෝධී පරීක්ෂාවකට ලක්වුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග විස්තරාත්මකව විග්‍රහ කරයි.

සාමාන්‍ය නීතිය – අධිකරණ නියෝගයක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව, පොලිස් නිලධාරියෙකුට හුදෙක් සැකය මත පමණක් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් පරීක්ෂා කිරීමට බලයක් නොමැත. යම් අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයකදී වුවද, පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි අවස්ථාවක, ඔහුගේ හෝ ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමට පොලිසියට ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකිය.

එවැනි පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම්, පොලීසිය විසින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, එමගින් ලබාගන්නා සෝදිසි වරෙන්තුවක් (Search Warrant) ඉදිරිපත් කළ යුතුය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 18 වන වගන්තිය යටතේ “වරෙන්තුවක් සහිතව සෝදිසි කර අත්අඩංගුවට ගැනීමේ බලතල” පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් මත පමණක් ජංගම දුරකතනයක්, පරිගණකයක් හෝ ඒ හා සමාන ඉලෙක්ට්‍රොනික උපකරණයක් පරීක්ෂා කිරීමට පොලීසියට බලතල පැවරේ.

මෙම නීතිමය ආරක්ෂණය පුරවැසියාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy) තහවුරු කිරීම සඳහා අතිශය වැදගත් වේ.

අසභ්‍ය ප්‍රකාශන සහ නීතිමය තත්ත්වය

ජංගම දුරකතනයක අසභ්‍ය ප්‍රකාශන (Obscene Publications) තිබීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී, අදාළ ප්‍රකාශන සන්තකයේ තබා ගැනීමේ අරමුණ වැදගත් වේ.

1927 අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත සහ 2005 එහි සංශෝධනය

මෙම පනතට අනුව, අසභ්‍ය ලේඛන, චිත්‍ර, ඡායාරූප, වීඩියෝපට හෝ වෙනත් අසභ්‍ය වස්තූන් වෙ‍ෙළඳාම, බෙදාහැරීම, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම, ආනයනය හෝ අපනයනය කිරීම සහ එම අරමුණු සඳහා සන්තකයේ තබා ගැනීම වරදකි.

“විකිණීමේ හෝ බෙදාහැරීමේ අරමුණින්” (for the purpose of trade or distribution) යන කොටස මෙහිදී තීරණාත්මකය.

හුදෙක් පෞද්ගලික පරිහරණය සඳහා පමණක් අසභ්‍ය දර්ශන කිහිපයක් දුරකතනයේ තිබීම මෙම පනත යටතේ සෘජුවම වරදක් ලෙස අර්ථ නොදැක්වෙන නමුත්, ඒවා බෙදාහැරීමකට හෝ වෙ‍ෙළඳ කටයුත්තකට යොදාගත් බවට සාක්ෂි වෙතොත් අත්අඩංගුවට ගැනීමට හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 287 වගන්ති ද අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වැදගත් වේ.

වගන්ති 285 සහ 286 – මෙම වගන්ති යටතේ අසභ්‍ය පොත්, පත්‍රිකා, චිත්‍ර, ඡායාරූප ආදිය විකිණීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ සංසරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

වගන්තිය 287 – අසභ්‍ය ගීත ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කීම හෝ උච්චාරණය කිරීම මෙමගින් වරදක් බවට පත් කර ඇත.

විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන (Child Pornography) සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම හෝ නිෂ්පාදනය කිරීම ඉතා බරපතළ ගණයේ වරදක් ලෙස සැලකෙන අතර, ඒ සඳහා ඉහත නීති සහ පරිගණක අපරාධ පනත යටතේ දැඩි දඬුවම් නියම කළ හැකිය.

නීතිය වෙනස් වන සුවිශේෂී අවස්ථා

ඉහත සඳහන් කළ අධිකරණ වරෙන්තු අවශ්‍යතාව ඇතැම් සුවිශේෂී අවස්ථාවලදී වෙනස් විය හැකිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)

ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විට, පොලීසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල හිමිවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ, ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි සාධාරණ සැකයක් ඇති පුද්ගලයෙකු, ස්ථානයක් හෝ උපකරණයක් වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එවැනි අවස්ථාවකදී, ජංගම දුරකතනයක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් අත්‍යවශ්‍ය නොවේ.

පරිගණක අපරාධ පනතේ විශේෂ විධිවිධාන

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 21 වන වගන්තිය යටතේ, “පොලිස් නිලධරයකුට අත්අඩංගුවට ගැනීමට, සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ඇති බලය” යටතේ, යම් හදිසි අවස්ථාවකදී හෝ සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින විට, වරෙන්තුවක් නොමැතිව වුවද සෝදිසි කිරීම් සිදුකිරීමට සීමිත අවසරයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙය පොලීසියට අභිමත පරිදි ක්‍රියාකිරීමට ලබා දුන් බලයක් නොව, ඉතා සුවිශේෂී සහ සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන් සඳහා පමණක් සීමා වූවකි.

නීති විරෝධී අත්අඩංගු වට ගැනීමකදී ගත හැකි ක්‍රියාමාර්ග

ඔබගේ ජංගම දුරකතනය ඉහත සඳහන් නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින්, අධිකරණ නියෝගයක් නොමැතිව (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ නීතියක් යටතේ නොවන අවස්ථාවක) පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළහොත් හෝ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔබට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් පවතී.01. නීතිඥ සහාය ලබා ගැනීම – පළමුවෙන්ම, නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

02. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

03. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

04. පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කිරීම – අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලීසියට පුරවැසියෙකුගේ ජංගම දුරකතනයක් පරීක්ෂා කළ හැක්කේ දැඩි නීතිමය රාමුවක් තුළ පමණි. තම අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් වීම සහ ඒවා උල්ලංඝනයවීම වළක්වා ගන්න.

නීතිඥ නාලින්ද දිසානායක මහතා ලියූ ලිපියක් ඇසුරිනි
(අන්තර්ජාලයෙන්)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?