Monday, November 10, 2025
Epaper
Home විශේෂාංගදකුණු ආසියාවේ වේගවත්ම අපේ දියණිය සෆියා යමික්

දකුණු ආසියාවේ වේගවත්ම අපේ දියණිය සෆියා යමික්

by Shanaka Lakehouse

දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාවට හිමි කිරුළ දිනා ගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තරග වැදුණු ෆාතිමා සෆියා යමික්ට හැකි විය. ඉන්දියාවේ රාංචිහි පැවැති මෙවර තරගාවලියේදී ෆාතිමා ෂෆියා යමික් වඩාත් කැපී පෙනුණේ මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 සහාය දිවීමේ ඉසවු ත්‍රිත්වයේම රන් පදක්කම් දිනා ගනිමිනි. එහිදී මීටර් 200 ධාවන ඉසව්ව ඇය අවසන් කළේ වසර 27ක් පැරණි ඉන්දියානු ක්‍රීඩිකාවක් පිහිටුවා තිබූ තරගාවලි වාර්තාවක්ද බිඳ දමමින් වීම විශේෂත්වයකි.

ඇගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකීය සමාජයට මෙන්ම වත්මන් ලෝකයට වඩාත් සුවිශේෂී වන්නේ ඇය සමාජයක් පිටුපසට ඇද දමන සම්ප්‍රදාය නම් අඳුරු පට ඉරා දමමින් ශ්‍රී ලංකා ධජය ලොව ඉදිරියේ ඉහළට එසවූ අභිමානවත් යොවුන් දියණියක් වූ නිසාය. ඇගේ ජීවිත කතාවේ බොහෝ තැන්වල ඒ අඳුරු පට ඉරාගෙන ඇය සිය දිවියේ ඉහළට පැමිණි ආකාරය පසක් කර තිබේ. ඒ සඳහා ඇයට නිබඳවම සවියක් වී ඇත්තේ ඇගේ මවුපියන් බව ඇය අප සමඟ පැවසුවාය. මේ තරුණි අප සමඟ පැවසූ අභිමානවත් ශ්‍රී ලාංකික දිරිය දියණියක වූ ඇයගේ කතාවයි.

ඔබ මලල ක්‍රීඩාවට ආවේ කොයි කාලේද? පැමිණි ගමන් මඟ ගැන කීවොත්…

මම මලල ක්‍රීඩාව කරන්නේ තාත්තාගේ කැමැත්ත නිසා. මං මුලින්ම යොමුවන්නේ පාපන්දු ක්‍රීඩාවට. ඒ කාලයේ මලල ක්‍රීඩාවට මගේ කැමැත්තක් තිබුණේ නෑ. ඔය අතරේ පාසලේ අමරසිංහ මැඩම් මාව මලල ක්‍රීඩාවට යොමු කරවනවා. ඒත් මං මලල ක්‍රීඩාවට යොමු වන්නට අදිමදි කළා. ටික දවසක් ගත වෙද්දී පාසලේ ශෂිකලා මැඩම් සහ ගල්හේන මැඩම් මාව ආරාධිත පාසල් සහාය දිවීමේ තරගයකට යොමු කරවනවා. ඒ අභියෝගය මං භාර ගත්තා. තරගය තිබුණේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ. මා ඉගෙන ගත් විහාර මහා දේවි බාලිකා පාසල නියෝජනය කරමින් සහාය දිවීමේ කණ්ඩායමේ මා තරග වදිනවා. මං එහිදී අවසන් ලැප් එක භාර ගන්නේ 5 වැනි ස්ථානයෙන්. කෙසේ නමුත් මං තරගය අවසන් කළේ පළමු ස්ථානයෙන්. මගේ මලල ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ ඒ ලැබූ රන් පදක්කමත් සමඟ. අනතුරුව මගේ තාත්තා මාව මාස ගණනාවක් එක දිගට පුහුණු කෙරෙව්වා. ඉතින් ඒ නිසාම මගේ මලල ක්‍රීඩා දිවියේ පළමු සහ හොඳම පුහුණුකරු ලෙස මගේ තාත්තාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අද වන තුරු මගේ ජයග්‍රහණ පිටුපස සිටින පුහුණුකරු එස්. පී. විතාන මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

පාපන්දු ක්‍රීඩා කරපු කාලය ගැනත් කියමු..

අපට ඒ කාලේ පාපන්දු පුහුණු කළේ ධම්මික සර්. ඒ වගේම කණ්ඩම්බිගේ මැඩම් මට එහිදී ලොකු සහායක් දුන්නා. මම ෆුට්බෝල් සෙල්ලම් කරනවාට මගේ අම්මා කැමැති වුණේ නෑ. ඉතින් ක්‍රීඩා ඇඳුම් පවා ගෙදර අරන් ගිහින් හෝදලා දුන්නේ කණ්ඩම්බිගේ මැඩම්. මට සෙල්ලම් කරන්න පාවහන් පවා ලබා දුන්නේ මගේ මිතුරියන්. ඒ විදිහට මැඩම්ගෙන් සහ මිතුරියන්ගෙන් මං උදවු ලබා ගත්තේ පාපන්දු පාවහන්, ඇඳුම් ගෙදර අරන් ගියොත් අම්මාගෙන් බැණුම් අහන්න වෙන නිසායි. ඉතින් ඒ හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා.

ඔබ මලල ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ මොනවාද?

මං කලාප තරගවලින් ජයග්‍රහණ රාශියක් ලබා තිබෙනවා. කලාප තරගාවලිවලදී හොඳම මලල ක්‍රීඩිකාව ලෙස මං වසර කිහිපයක්ම අභිෂේක ලැබුවා. 2018 වසරේ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව නියෝජනය කරමින් සහාය දිවීමේ රන් පදක්කම මා දිනා ගත්තා. එතැන් පටන් ජයග්‍රහණ ලැබූ මේ තරගාවලිය වන තුරු මං ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කළේ කණ්ඩායම් තරගවලින් පමණයි. මේ වසරේ ජාතික මහා ක්‍රීඩා උලෙළේ මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානයත්, මීටර් 200 ඉසව්වේ පළමු ස්ථානයත් මා දිනා ගත්තා. ඒ වගේම 2025 යුද හමුදා මලල ක්‍රීඩා උලෙළේ මීටර් 100, 200 දෙඉසව්වේම පළමු ස්ථාන දිනා ගන්නේ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගනිමින්. ඒ අනුව පළමු වරට ජාත්‍යන්තර තරගාවලියක ඒකල ඉසව්වක් නියෝජනය කරන්නට මට වරම් ලැබෙනවා. ඉතින් එහි තරග වැදුණු ඉසව් තුනෙහිම රන් පදක්කම් දිනා ගන්නට මට හැකි වීම විශාල සතුටක්. කවුද උදව් කළේ..

මගේ අම්මි තාත්ති නංගිලා අක්කලා මස්සිනාලා ඇතුළු පවුලේ සියලු දෙනා මට උදව් උපකාර කළා. ඒ වගේම කවී සහ සමූ ඇතුළු මගේ මිතුරියන්වත් මා සිහිපත් කරනවා. මගේ පුහුණුකරු එස්. පී. විතාන, යුද හමුදාපතිතුමා ඇතුළු සංඥා බලකායේ නිලධාරීන් සියලු දෙනා, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායක මහතාවද මට උපකාර කළ අය අතර මා සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන්. ඒ වගේම 2005 වසරේ සිට මා ඉගෙන ගත් මහනුවර විහාර මහා දේවී විද්‍යාලයේ විදුහල්පතිවරු, ගුරු භවතුන්, මිතුරියන් ඇතුළු සියලු දෙනාවද සිහිපත් කළ යුතුයි. මහනුවර කටුකැලේ මගේ ගමේ සියලු දෙනාගෙන් ලැබුණු ආදරය, උපකාර නොවන්නට මෙවන් ගමනක් යා නොහැකි බවද මා විශ්වාස කරනවා. ඉතින් ඒ හැමදෙනාම ගොඩාක් ස්තුතියි.

මේ ජයග්‍රහණය ඔබට දැනෙන්නේ කොහොමද?

මෙතරම් ආදරයක් මට ලැබේවි යැයි මා සිතුවේ නෑ. ඉතින් සමස්ත ශ්‍රී ලංකාවාසී හැමෝටම මං ගොඩාක් ආදරෙයි. මා ගුවන්තොටුපළෙන් ලංකාවට පැමිණි මොහොතේ පටන් මා වෙනුවෙන් පිළිගැනීමේ උත්සව සංවිධාන කළ යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදාව, කටුකැලේ ගම්වැසියන් ඇතුළු මහනුවර ජනතාව වගේම වචනයකින් හෝ මා දිරිමත් කළ ශ්‍රී ලංකාවාසි සැමටම මගේ ප්‍රණාමය පුද කරනවා. ඇත්තටම මේ පදක්කම් තුනම ශ්‍රී ලංකාවාසි ඔබ සැමටම අයිති යැයි මා විශ්වාස කරනවා.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු..

මගේ අවසන් අරමුණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමයි. ඉතින් මගේ පුංචි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ ජයග්‍රහණය ලබා ගන්නට මා මේ මොහොතේ පටන් දිරියෙන් යුතුව කටයුතු කරනවා.

TEXT – පසිඳු මිහිරාන් රැටියල
Pix By – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?