විභාග ලියන එක හරිම ආතතියක් සහ බයක් ඇති කරන දෙයක් වගේම ගතට සිතට අපහසුතාවක් ඇති කරන කාලපරිච්ඡේදයක්. ඒත් මතක තියාගන්න, ඔයා ගොඩක් වෙහෙස මහන්සි වී පාඩම් කරපු දෙයකට සාධාරණයක් ඉෂ්ට කරන්න යන්නේ. මේ සරල උපදෙස් කිහිපය මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ඒවා හොඳින් පිළිපදින්න. අනිවාර්යයෙන් ඔයා බලාපොරොත්තු වන ප්‍රතිඵලයට යන්න පුළුවන් වෙනවා.
මේ දවස් ටිකේ පාඩම් කරන්නේ කොහොමද ?
ඔබ කෙටි සටහන් හෝ සංකල්ප සිතියම් සාදා තිබේ නම් ඒවා පමණක් පරිහරණය කරන්න. අලුතින් කිසිම සටහනක් එකතු කර ගන්න හෝ අතපසු වුණු පාඩමක් හෝ පාඩමක කොටසක් හොයාගෙන පාඩම් කිරීම නොකරන්න. මොකද මේ ටික කාලයට අලුතින් ඔබගේ මතකයට වෙනත් කරුණු එකතු කර ගැනීම ආතතිය ඉහළ දැමීමට හේතු වෙනවා. ඒ නිසා ඔබ වසර දෙකක කාලයක් පුරා එකතු කරගත් සටහන් සහ ප්‍රශ්න පත්‍ර පමණක් පරිහරණය කරන්න.
විභාගයට මුහුණ දෙන දරුවන් මේ ටික කරන්න එපා.
නව ගුරුවරුන් සොයා නොයන්න.
ඔබ මෙතෙක් කල් ඉගෙන ගත් ගුරුවරුන් සමඟ පමණක් මේ ටික කාලය තුළත් ගනුදෙනු කරන්න. විවිධ යහළුවන් සහ ඥාතීන් හඳුන්වා දෙන වෙනත් ගුරුවරුන් සමඟ ගනුදෙනු කිරීම ඉතාම අහිතකර වේ. අප දන්නා පරිදි බොහෝ දරුවන් පුනරීක්ෂණ සඳහා අවසන් මොහොතේ වෙනත් ගුරුවරුන් සොයා යයි. එය ඉතාම අහිතකරය. ඔබ සොයාගන්නා ගුරුවරයා කොතරම් දක්ෂයකු වුවත් ඔබ මෙතෙක් උගත් ශෛලියට වඩා වෙනස් ශෛලියක ඉගෙනුම් රටාවකට හුරුවීමට තරම් කාලයක් නොමැත. මේ නිසා ඔබ උගත් ගුරුවරුන් පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වන්න. ඔවුන් ඔබ අනිවාර්යයෙන්ම විභාගයෙන් සමත් කරාවි.
ඔබ මෙතෙක් හුරු වූ රටාවන්ගෙන් මිදෙන්න එපා
විභාගය පවත්වන්නේ අමුතු දිනයක හෝ අමුතු කාල වකවානුවක නොවේ. ඒ නිසා සාමාන්‍ය දින චර්යාව වෙනස් කිරීමෙන් වළකින්න. නිදා ගැනීමේ රටාව විභාග දින කියා කිසිදු වෙනස් කිරීමකට ලක් නොකරන්න. නිශ්චිත පරිදි නිදහසේ සරලව සිටින්න. ගැඹුරු නින්දක් සඳහා අවශ්‍ය මානසික සැහැල්ලුව මේ දිනවල ඔබගේ සිතේ අනිවාර්යයෙන්ම පැළපදියම් විය යුතුය.
දිනපතා වෙනදා මෙන්ම ආහාර ගන්නා වෙලාව හෝ ස්නානය කරන වේලාව වෙනස් නොකරන්න. සාමාන්‍ය පරිදි ආහාර ගැනීමත් ගෙදර අය සමඟ සැහැල්ලුවෙන් සිටීමත් ඔබ විසින් කළ යුතුය. අනවශ්‍ය පරිදි දෛනික ජීවන රටාව හෝ ආහාර වර්ග වෙනස් කිරීමෙන් වළකින්න. මතකය සඳහා හෝ ශරීර ශක්තිය දියුණු කිරීම සඳහා ඇති ආහාර වර්ග හෝ විටමින් වර්ග මෙතෙක් කල් නොගත්තේ නම් මේ ටික කාලයද එලෙසම ගෙවා දමන්න.
අනුමාන ප්‍රශ්න හෝ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න යැයි සැලකෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම නවත්වන්න.
බොහෝ සමාජ මාධ්‍ය ජාලා හරහා විභාගයක් ආසන්න වන විට නිසැක අනුමාන ලෙස හෝ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වූ ප්‍රශ්න ලෙස ඔබ අතට පත්විය හැකිය. මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන ඒවා අතර ඒවා කෙරෙහි අවධානය යොමුකර ඔබගේ ධෛර්ය හීන කර නොගන්නා ලෙස ඉතාම කරුණාවෙන් දැනුම් දෙමි. සුපුරුදු පරිදි පාඩම් වැඩ හා ඔබගේ විෂය නිර්දේශයට අදාළ කොටස් නැවත නැවත කියවීම තුළින් පිළිතුරු ලිවීමට අවශ්‍ය ශක්තිය සපයා ගත හැකිය.
භාවිතයට අලුත් දේවල් ගැනීම :
විභාගය ලිවීමේ අදහසින් අලුත් ඇඳුම් හෝ අලුත් පාවහන් මිලදී ගෙන අලුත්ම විදිහට විභාගයට මුහුණ දීමට සූදානම් වන්නේ නම් එය වහාම නවත්වන්න. මොකද පරණ පුරුදු ඇඳුම සහ පාවහන් ඔබගේ ශරීරයට හරියටම ගැළපෙමින් කාලයක් ඔබ සමඟ ජීවත් වුණා. මේවා අලුත් වුණොත් ඔබට අපහසුතාවක් දැනේවි. එය කායික මානසික සැහැල්ලුවට අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙයි. වෙන දෙයක් තබා අලුත් පෑනක් පැන්සලක් භාවිත කිරීම පවා ප්‍රවේශමෙන් කළ යුතුයි. පෑන් කිහිපයක්ම මිලදී ගෙන දැන්ම ඒවා ඔබේ අතට හුරු කරගන්න. එම පෑන් දැන් විවිධ සටහන් ලිවීම සඳහා භාවිත කර පෑනේ වැඩි කොටසක් විභාගයට ලිවීම සඳහා ඉතිරි කරගන්න. එවැනි පෑන් 7ක් 8ක් වෙනමම සකසා ගෙන තබාගැනීම විභාගයට මුහුණ දෙන දරුවන් විසින් සිදු කළ යුතු නුවණක්කාර වැඩකි.
ශරීරය වෙහෙස වන කාර්යයන් හා විනෝදාත්මක වැඩවලින් වළකින්න
විනෝදයට බයිසිකල් පැදීම, කණ්ඩායම් ක්‍රීඩාවල නිරත වීම, ශාරීරික වර්ධන මධ්‍යස්ථානවලට ගමන් කිරීම මේ වයසේ දරුවන් සිදු කරන විනෝදාංශ වේ. මේ දිනවල හැකි තරම් ඔබ උත්සාහ කළ යුත්තේ ශරීරය අධික ලෙස වෙහෙස කිරීමෙන් වැළකීමයි. අනතුරුව කායිකව දැනෙන වෙහෙස මනසටද තදින් බලපාන අතර නින්ද කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීමෙන් විභාගයට මුහුණ දීමට ඇති මාර්ගය අවහිර වනු ඇත.
කය වෙහෙසවා කරන ක්‍රියාකාරකම්වලින් යම් අනතුරක් සිදු වුවහොත් එය විභාගයට දැඩි ලෙස බලපෑම් කිරීමට පුළුවන.
විභාගයට පෙර රාත්‍රියේ සහ විභාග දිනයේ හොඳට නිදා ගන්න. රාත්‍රියේ පැය 7-8ක හොඳ නින්දක් ගන්න. මතකය හා සාකච්ඡා කිරීමේ හැකියාව නින්දමත රඳා පවතිනවා. පාඩම් කර නින්ද නැති කරවීම වඩා හොඳ නැහැ.
විභාගයට මුහුණ දෙන අවස්ථාවේ නින්ද හා මතකය සම්බන්ධ හෝර්මෝනය ලෙස සලකන මෙලොටොනින් හෝමෝනය ස්‍රාවය වීම ඉතා හොඳින් සිදුවිය යුතුය. රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටීම හෝ අඩු කාලයක් නිදා ගැනීම නිසා ඔබ උත්තර ලියන අවස්ථාවේ දී ඉහත සඳහන් කළ මෙලොටොනින් හෝමෝනය සක්‍රිය මට්ටමේ නොපැවතීම සාර්ථක පිළිතුරක් ගොනු කිරීම සඳහා සෘජු ලෙසම බලපායි.
හොඳ ආහාර වේලක් ගන්න විභාගයට පැයක් හෝ විනාඩියකට 30 කලින් නිසි පෝෂ්‍යදායි ආහාරයක් ගන්න. බඩගින්නක් තිබුණොත් වැඩි වෙලා ඉන්න අමාරු වෙනවා. බරක් නැති, පෝෂණයෙන් වැඩි කෑමක් (උදාහරණ: රොටි, පලා, පලතුරු) ගන්න.
විභාග ශාලාවට අවශ්‍ය සියලුම දේ ගෙනයන්න.
ඔබේ හැඳුනුම්පත පෑන්, පැන්සල, මකනය, ගණක යන්ත්‍රය (අවශ්‍ය නම්) වගේ දේවල් ගැන විතරක් නෙවෙයි, පිරිසුදු වතුර බෝතලයක් ද ගෙනියන්න.
වේලාසනින් නිවෙසින් පිටවෙන්න.
වාහන තදබදය, අයහපත් කාලගුණික තත්ත්වයන් වැනි දේ ගැන හිතා ටිකක් කලින් පිටවෙන්න. විභාග ශාලාවට මුලින්ම ඇතුළු වී ඔබගේ අංකය සහිත ඩෙස්කුව ඇති තැන නිශ්චිතවම දැන කියාගන්න.
හිත ධනාත්මකව තියාගන්න:
මම මගේ හොඳටම කරන්නම්.” “මම හොඳටම සූදානම් වුණා.” කියලා ඔබටම කියන්න. ඍණාත්මක චින්තනයෙන් ඈත් වෙන්න.
මිතුරන් සමඟ අනුමාන ප්‍රශ්න හෝ පිළිතුරු පිළිබඳ කතා නොකරන්න.
“මේ ප්‍රශ්නය එන්නේ නැතුව ඇති.” “මම මේ පාඩම කරලා නෑ.” වගේ කතා ඔබේ ආත්ම විශ්වාසයට හානි කරන සාකච්ඡාවලින් ඈත් වන්න.
ප්‍රශ්න පත්‍රය අතට ගත් සැණින්
කාලය හොඳට වැය කරන්න, ප්‍රශ්න පත්‍රය හොඳට කියවන්න. එක් එක් ප්‍රශ්නයේ ඉල්ලන දේ පැහැදිලිව තේරුම් ගන්න. ලිවීමට අවශ්‍ය පිළිතුර කෙටියෙන් සටහන් කර ගන්න.
පහසු ප්‍රශ්නවලින් පටන් ගන්න. ඔබට හොඳට තේරෙන ප්‍රශ්නවලින් ලියන්න පටන් ගන්න. එය ඔබට විශ්වාසයක් ගොඩනඟා දෙනවා. මේ අතර හොඳින් මතක තබා ගන්න. ප්‍රශ්න අංකය නිවැරදිව සටහන් කරන්න.
කාලය කළමනාකරණය කරන්න.
එක් ප්‍රශ්නයකට වැඩි කාලයක් නොදෙන්න. සියලුම ප්‍රශ්නවලට උත්සාහ කරන්න. ලකුණු කිහිපයක් වෙනස් කරගන්න පුළුවන්. මොකද උසස් පෙළ කියන්නේ එක දශමයෙනුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මඟහැරෙන විභාගයක්.
*පිළිතුරු පැහැදිලිව සහ සුදුසු ලෙස ලියන්න. අකුරු පැහැදිලිව පිළිතුරට අදාළ තැනින් ලියන්න. අමතර පිටුවල දේ ගුරුවරුන් කියවන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු බලන ගුරුවරයාට පහසුවක් වන පරිදි පිළිතුරු පත්‍රය පිළිවෙළට ගොනු කළ යුතුයි.
අවසාන විනාඩි කිහිපය සමාලෝචනය කරන්න.
ඉතිරි කාලය තුළ ඔබ ලියා නැති දේ බලන්න. නම, අංක ලියා ඇත්දැයි බලන්න. පිළිතුරු නිවැරදිදැයි බලමින් නැවත පරීක්ෂා කරන්න.
වැදගත්ම දේ තමයි ඔබේ හොඳම උත්සාහය. පිළිතුරු සාර්ථකව දුන්නොත් ඒකටම ආඩම්බර වෙන්න. එක් විභාගයකින් ඔබේ ඉදිරි මාර්ගය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ නැහැ.
හැම දෙයකටම වඩා හිත සන්සුන් කර ගන්න. ඔබට ඒක කරගන්න පුළුවන්! ඔබ සැමටම මෙම විභාගයේදී යහපත් විප්ලවයක් කිරීමට අවස්ථාව ලැබේවා.!
