තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාව සිදු කරන අවස්ථාවේ නිරෝගීව පසුවූ ඔහුගේ මව පසුගිය සතියේ හදිසියේම මෙලොවින් සමුගත් බව දැන ගන්නට ලැබුණි. ඉදින් එතුමියට මෙන්ම මීට සිව් වසරකට ඉහත මෙලොවින් සමුගත් ඇමතිවරයාගේ බිරිදටද මෙම ලිපිය උපහාරයක්ම වේවා..
වත්මන් ආණ්ඩුවේ කාර්යබහුලතම අමාත්‍යාංශ අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. එහි ප්‍රධානත්වය උසුලන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙවර අම්මාවරුනේ විශේෂාංගයේ තරුණි අප සමඟ සුහද කතාබහකට එක් වුණා. එහිදී ඔහු සිය මවගෙන් දුටු මව් ගුණ මෙන්ම බිරිඳගෙන් දුටු මවකගේ ලක්ෂණ අප හමුවේ කතාබහ කළේ මේ ආකාරයෙනුයි.
මගේ අම්මා යසවතී හේවාවිතාරණ. අම්මාට දැන් වයස අවුරුදු 91ක්. ඇය මේ වන විට ගාල්ලේ මහ ගෙදර ජීවත් වෙනවා. අපේ ගමේ කිසිම අම්මා කෙනෙක් රැකියාවක් කළේ නෑ. ඉතින් අපේ අම්මා දරුවන් සහ ස්වාමි පුරුෂයා වෙනුවෙන්ම කැප වුණු චරිතයක් ලෙස පෙන්වා දිය හැකියි. දිනපතා රැකියාවට යන්නට, මිතුරියන්ගේ උත්සවවලට යන්නට වගේ නූතන භාර්යාවට තිබුණු සංකීර්ණ සමාජ සම්බන්ධතා අපේ අම්මාට තිබුණේ නෑ. අපේ අම්මා ගත කළේ කටුක ජීවිතයක් වුණත් ඇය එය කටුක දිවියක් ලෙස සැලකුවෙත් නෑ.
සිය මව්වරුන්ගේ පරම්පරාවේ සෑම මවක්ම පාහේ අත් විඳි කටුක ජීවිතය සුනිල් කුමාර ගමගේ ඇමැතිවරයාගේ මවද අත්වින්දාය. ඇමැතිවරයා ඒ ගැන අප හමුවේ පළ කළේ මෙවන් අදහසකි.
රෙදි සෝදන්නට වැවටත්, දර කඩන්නට කැලේටත්, ගෙදර බඩු මුට්ටු ගේන්න කිලෝමීටර් තුන හතරක් ගෙවාගෙන පයින්ම නගරයටත් යන්නට අපේ අම්මාලට සිදු වුණා. ඒ වගේම අද කාලේ බිරින්දෑවරුන්ට වගේ ශීතකරණ, පොල් මිරිකන මැෂින්, වොෂින් මැෂින් වගේ නවීන උපකරණ අපේ අම්මලාට තිබුණේ නෑ. ඉතින් අපේ අම්මලා කුටුම්භයකට කොටු වුණා මිස නූතන සමාජයේ මිනිසුන් ගැහැනුන් විඳින ජීවිතය විඳින්නට ඔවුන්ට අවස්ථාව ලැබුණේ නෑ. දරුවන් රැක බලා ගැනීම, පෝයට පන්සලේ සිල් සමාදන් වීම, ගුවන් විදුලියේ මුවන්පැලැස්ස ශ්‍රවණය කිරීම හැරුණු කොට අපේ අම්මාලාගේ කාලයේ අම්මලාට වෙනත් ජීවිතයක් තිබුණේ නෑ. එහෙත් ඔවුන් ඒ ජීවිතය කටුක යැයි නොසිතා සුන්දරව ගත කළා.
සිය මව හා සිය දිවියේ බැඳුණු අමතක නොවන සිදුවීමක් ඇමැතිවරයා අපට ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි.
1988 වසරේදී මම බස් රථයක ගමන් කරන විට හමුදා මාර්ග බාධකයකදී මාව බස්සවා ගත්තා. ඒ බස් එකේ අපේ ගමේ කෙනෙක් අපේ අම්මාට ඒ පණිවිඩය ලබා දී තිබුණා. අම්මා ඒ අවස්ථාවේ සෑහෙන කලබල වුණා. ඒ කාලයේ හැටියට එ්ක මවකගේ සිතට තදින්ම දැනෙන සිදුවීමක්. එය අම්මාට වුව වචනයෙන් විස්තර කළ නොහැකියි.
ඇත්තටම මා ගැන සිතා අම්මාට දුක් වන්නට තරම් සිදුවීමක් එදා මෙදා තුර සිදුව නෑ. මා නිතරම අම්මාගේ සතුට වෙනුවෙන් කටයුතු කළා කීවොත් නිවැරදියි. ඒ ගැනත් මට පුතෙක් විදිහට නිහතමානී සතුටක් තිබෙනවා.
පුතෙකු සහ මවක අතර පවතින සබඳතාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් දැවැන්ත සබඳතාවකි. ඒ සබඳතාව නිසාම මවක සතු ගුණාංග පුතු උකහා ගන්නේ නිරායාසයෙනි.
අපේ අම්මා මිනිසුන්ට බොහොම ආදරෙයි. ඇය නිෙවසට එන ඕනෑම කෙනෙකුට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරන ආදරණීය චරිතයක්. ඉතින් ඒ ගුණය අම්මාගෙන් මට ලැබුණා කීවොත් මා වැරදි නෑ. එය මා ඇසුරු කරන අය වඩාත් හොඳින් දන්නා දෙයක්.
පොදුවේ මව්වරුන්ගේ චරිතය සතු මව්වත් ලක්ෂණ ගැන කතාබහ කරන්නද ඇමැතිවරයා අමතක නොකළේය.
අම්මා කියන චරිතය ගැන පොදුවේ කතා කළොත් අම්මාගේ භූමිකාව කොතැනින් පටන් ගෙන කොතැනින් නිමා කරන්නේ දැයි විස්තර කළ නොහැකියි. අම්මාගේ ආදරය දරුවා පුංචි කාලයේ තරුණ කාලයේ කියා වෙනසක් නෑ. අම්මාගෙන් අම්මාට සිදුවීම් වලින් වෙනස් වුවද ඒ ආදරය නොවෙනස් ස්ථිර දෙයක් යැයි මා විශ්වාස කරනවා.
සිය මව ගැන කතා බහ කිරීමෙන් පසු ඇමැතිවරයා සිය බිරිඳ මවක ලෙස දුටු ආකාරය අප හමුවේ විස්තර කළේය.

බිරිය සමඟ
මගේ බිරිඳ හේමකාන්ති රණසිංහ. ඇය මට හමු වන්නේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී. අපි විවාහ වුණේ වසර 6ක පමණ ආදර සම්බන්ධයකින් පසුවයි. ඇය මේ වන විට ජීවතුන් අතර නෑ. ඇය 2021 වසරේ පිළිකා රෝගයට ගොදුරු වී අප අතහැර ගියා. ඇත්තටම අපි දෙදෙනා හරි ආදරයෙන් හිටපු දෙන්නෙක්. අපි කවදාවත්ම රණ්ඩු වෙලා නෑ. අපි දෙන්නාටම තරහ යන්නේ නෑ. අපි රණ්ඩු නොවීමට ප්‍රධානතම හේතුව වූයේ එයයි. සාමාන්‍යයෙන් ඕනෑම පවුලක පොඩි පොඩි අඩ දබර ඇති වෙනවා යැයි කීවත් අපි කවදාවත්ම රණ්ඩු සරුවල් නොවුණේ අපි දෙදෙනාගේම ඉවසීමේ ගුණය නිසා බව කිව යුතුයි. එය පවුලක කලාතුරකින් දැක ගත හැකි ලක්ෂණයක් යැයි මා විශ්වාස කරනවා.
මගේ බිරිඳ රෝගී වී වසර 10ක් ජීවත් වුණා. ඇයගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නා විටත් ඇය එහි 4 වැනි අදියරේ සිටි බව වෛද්‍ය වාර්තා හෙළි කළා. ඇය වසර 2කට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් නිගමනය කළත් ඇය වසර 10ක් ජීවත් වුණා. ඇය අප අතරින් සමු ගත්තේත් කොරෝනා වසංගතය සමඟ ඇතිවූ රෝගය උත්සන්න වීමක් නිසා යැයි කිව යුතුයි.
ඇය වෛද්‍යවරුන් හමුවන සෑම අවස්ථාවකම ඒ ගමනට මා සහභාගි වෙනවා. මම කුමන රාජකාරිය තිබුණද ඇය කැටුව වෛද්‍යවරයා හමුවට යෑම පුරුද්දක් කර ගත්තා.
ඇත්තටම අපේ තාත්තාලාගේ පරම්පරාවේ බොහෝ පියවරු බිරිඳට ආමන්ත්‍රණය කළේ පවුල කියායි. ඔහු අපේ අම්මාට ආමන්ත්‍රණය කළේත් ඒ විදිහටයි. ඉතින් එයින් වැදගත් කතාන්දරයක් විද්‍යමාන කරනවා යැයි මා විශ්වාස කරනවා. ඇත්තටම අම්මා කියන්නේ සමස්ත පවුල යැයි පැවසීම නිවැරදියි. අම්මා නැතිව පවුලක් සම්පූර්ණ වන්නේ නෑ. ඇත්තටම මගේ බිරිඳගේ මරණයෙන් අනතුරුව මට සහ මගේ දරුවන්ට දැනුණු පාළුව, වේදනාව ඇතුළු ඒ අසම්පූර්ණ භාවය සමඟ එය මා හොඳින්ම අත් වින්දා.
බිරිඳක් ලෙස සැමියාට ඉටු කළ යුතු යුතුකම් කොටස මැනවින් ඉටු කළ හේමකාන්ති මහත්මිය මවක ලෙස සිය දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් කොටසද නොපිරිහෙලා ඉටු කළ ශ්‍රේෂ්ඨ මවකි.
මගේ බිරිඳ විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ සාමාර්ථයක් තියෙන අයෙක්. ඇය සමාජයේ උසස් රැකියාවක් කළත් දරුවන් ලැබුණාට පස්සේ දරුවන් වෙනුවෙන් රැකියාවෙන් ඉවත් වුණා. ඉතින් ඇය කැමැත්තෙන්ම දරුවන් වෙනුවෙන් රැකියාවට සමු දුන්නා. ඒ නිසාම මගේ දුව වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ වගේම මගේ පුතා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. දරුවන් ඒ සා ඉහළ තැන්වලට ගමන් කළේ බිරිඳ එදා සිදු කළ කැප කිරීම් නිසා බව කිව යුතුයි. සිය බිරිඳ සතු වූ යහපත් ගුණාංග ගැන ඇමැතිවරයා අප හමුවේ මෙසේ අදහස් පළ කළේය.
අපේ අම්මා වගේම ඇය කාටත් උදව් කරන සංග්‍රහශීලි ආදරණීය චරිතයක්. ඒ වගේම රෝගී වුණා යැයි නොසැලී ජීවිතය සාමාන්‍ය පරිදි ඉදිරියට ගෙන යන්නට ශක්තියක් තිබුණු දිරිය කාන්තාවක්. ඇය වෛද්‍ය නිගමන පවා අසත්‍ය කරමින් රෝගී තත්ත්වය සමඟ වසර 10ක් ජීවත් වූයේත් ඒ නිසා යැයි මා විශ්වාස කරනවා.
බිරිඳක් ලෙස සිය ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය කළ කැප කිරීමට ගැන ඇමැතිවරයා පළ කළේ මෙවන් අදහසකි.
මම මොන දේ කළත් බිරිඳ සමඟ කතා බහ කරනවා. මම උසස් අධ්‍යාපනයේදී චාටඩ් විභාගය කරද්දී දෙවරක් අසමත් වුණා. එහිදී මා ඒ විභාගය අත්හරින්නට යද්දී ඇය යළිත් විභාගය කරන්න යැයි මා දිරිමත් කළ අයුරු මට අදටත් අමතක වන්නේ නෑ. ඒ වගේම පක්ෂයේ වැඩ කරද්දීත් ඇගෙන් කිසිදු බාධාවක් වුණේ නෑ. ඒ සඳහා ඇගෙන් සහයෝගයක් මිස අවහිරයක් කිසිම දවසක සිදු වුණේ නෑ. ඒ නිසා අද මා දේශපාලනයේ මෙන්ම වෘත්තිය ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඒ හැම දෙයක්ම පිටුපස මගේ ආදරණීය බිරිඳ සිටියා. එය මම ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
