Monday, November 10, 2025
Epaper

කර්මය

by Shanaka Lakehouse

කර්මය යනු සිතාමතා කරන ක්‍රියාවයි. සිතාමතා හෙවත් සචේතනිකව කයින් වචනයෙන් මනසින් කර්ම රැස් කරනු ලැබේ. ක්‍රියාවට සම්බන්ධ වූ සිතිවිලි ලෝභ ද්වේශ මෝහ සහගත වූ විට එය අකුසල කර්මයක් බවට පත්වේ. එසේ නොවී අලෝභ අදෝස අමෝහ යන කුසල මූල සිතිවිලිවලින් කර්මය කරන්නේ නම් එය කුසල කර්මයක් බවට පත්වේ.

කුසල කර්මයට විපාකය සැප සහිත වූවකි. අකුසල කර්මයට විපාකය දුක් සහිත වූවකි. මෙය විශ්වය තුළ පවත්නා වූ කර්මය පිළිබඳව නියාම ධර්මයේ ස්වභාවයයි. සියලු පව් දුරු කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් සත්ත්වයන්ට මහා කරුණාවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සේක.

අනන්ත අප්‍රමාණ අාධ්‍යාත්මික ශක්තියකින් යුතු වුවත්, විශ්ව නියාම ධර්මයන්ට එරෙහි වීමට නිකෙලෙස් බුදුවරුන් වහන්සේ කිසිවිටක කටයුතු නොකරති. සැප හෝ දුක යන දෙකෙහිම කිසිදු ඇලීමක් ගැටීමක් නොමැති පාරිශුද්ධ නිකෙලෙස් හදමඬලකට එවැනි අවශ්‍යතාවයක් ද නැත. ලෝකයාට ආදර්ශය පිණිස හෙවත් දෘෂ්ටානුගතිය පිණිස පූර්ව අකුසල කර්මයන්ගේ විපාකයනටද ලොව්තුරා බුදුවරු තාදී ගුණයෙන් මුහුණ දෙති.

අප ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේටද පූර්ව අකුසල කර්ම විපාක විපාක දුන් බව සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් අපදාන පාලියේ පුබ්බකම්ම පිලෝතික අපදානයේ සඳහන් වේ. ඒ මෙසේය.

සුන්දරී පරිබ්‍රාජිකාව නිසා ලැබූ නින්දාව

අන්‍යතීර්ථකයන් විසින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ යසකීර්තියට හානි කොට නින්දා පැමිණවීමට උත්සාහ කළහ. ඒ සඳහා සුන්දරී නම් පරිබ්‍රාජිකාවක නිතර දෙවේලේ සැක උපදින අයුරින් විහාරයට හා ඒ ආසන්නයට එවා ඈව මරා මෘත ශරීරය විහාරයේම සඟවා තබන ලදි. ඉන්පසු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කාමභෝගී අයෙකු හා මිනීමරුවෙකු යැයි පතුරුවා හරින ලදි.

සතියක් පුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන්ටත් බොහෝ නින්දා අපහාස ලැබුණි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල තාදී ගුණයෙන් ඉවසා වදාළ සේක. සතියකට පසු බීමත් කුමන්ත්‍රණකරුවන් දබරයක් ඇතිකරගෙන සුරාහලේ දී එකිනෙකාට බැණ ගනිමින් තම කුමන්ත්‍රණය හෙළිදරව් කරද්දී රාජ පුරුෂයන් විසින් අල්ලාගන්නා ලදි.

මෙසේ නොකළ වරදකට නින්දා ලබන්නට වූයේ බොහෝ කාලයකට පෙර ශුද්‍ර කුලයේ මුනාළි නම් ධූර්තයෙකුව ඉපිද සිට, සරභූ නම් පසේ බුදු රජාණන් වහන්සේ නමකට කරන ලද අභූත නින්දාවක් නිසාවෙනුයි. ඒ පාප කර්මයේ විපාක වශයෙන් නිරයේ ඉපිද දුක්විඳ ඉතිරි වූ කර්ම ශේෂයකින් සුන්දරී පරිබ්‍රාජිකාව නිසාද නින්දා ලබන්නට සිදුවිය.

චිඤ්චිමානවිකාව නිසා ලැබූ නින්දාව

ධර්මදේශනා කරමින් සිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට දැවයෙන් කළ දරුගැබක් බැඳගෙන පැමිණි චිඤ්චිමානවිකාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තම සැමියාට මෙන් කතා කරමින් නින්දා කරන්නට වූවාය. මෙහිදී සක්දෙවියන්ගේ උපක්‍රමයෙන් දරුගැබ ගැලවී බිම වැටුණි. එයින්ම ඇගේ බොරුව හෙළිදරව් විය.

මෙසේ නින්දා ලබන්නට සිදු වූයේ කල්ප අසංඛ්‍ය ගණනකටත් පෙර සබ්බාභිභූ නමින් පහළ වී සිටි ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ කාලයේ කළ කර්මයක ඉතිරි කර්ම ශේෂයක් නිසාවෙනි. එම භවයේ දී නන්ද නම් රහතන් වහන්සේ නමකට අභූත චෝදනා නැඟූ කර්මය මීට හේතු විය.

සුන්දරී පරිබ්‍රාජිකාව නිසා බුද්ධ ශාවක භික්ෂුන් 500 ක් නින්දා ලැබීම

පෙර අසංඛ්‍ය කල්ප ගණනකට පෙර මහ බෝසතාණන් වහන්සේ පන්සීයක් සිසුන්ට මන්ත්‍ර හදාරවන බහුශ්‍රැත බ්‍රාහ්මණයෙකුව සිටියදී ඍද්ධිමත් භීම නම් ඍෂිවරයෙකුට කාමභෝගියෙකු යැයි අභූත නින්දාවක් ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලදි. ඒ ශිෂ්‍යයන් ද ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යමින් ඒ නින්දාව පතුරුවන ලදි. එම කර්මයට විපාක වශයෙන් එම භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනා සුන්දරීගේ කරුණින් නින්දා ලබන ලදි.

ගල්පතුරකින් ශ්‍රී පාදය තැළී යෑම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් දෙව්දත් හිමි විසින් ගිජුකුළු පව්ව පාමුල සක්මන් කරමින් සිටියදී පර්වතයක් පෙරළවන ලදි. එය පොළොවෙන් මතු වූ මහ ගල් දෙකකින් නැවැත්වූ මුත්, ගල්පතුරක් ගැළ වී විත් ශ්‍රී පාදයේ මහපටැඟිල්ලේ හැපී තැළුමක් ඇති විය.

මෙයට හේතු වූයේ කල්ප අසංඛ්‍ය ගණනකට පෙර සිදුකළ කර්මයකි. එයට නිරයේ ද දුක් විඳ ඉතිරි සුළු විපාකය වශයෙන් මෙය ලබන ලදි. එම කර්මය නම් ධනය, දේපළ ලබාගැනීමේ අදහසින් තම වේමාතික (එක් පියෙකුට දාව දෙමවුකුසින් උපන්) සොහොයුරා ගිරි දුර්ගයකින් හෙළා, ගලකින් තළා මැරීමේ කර්මයයි.

නාලාගිරි ඇතා ඉදිරියට එවීම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මරවන්නට සිතා අජාසත් රජු හා එක්වූ දෙව්දත් හිමි නාලාගිරි ඇතා රා පොවා මාර්ගයේ ඉදිරියට එවන ලදි. නාලාගිරි ඇතා මහා කරුණාව නිසා දමනයට පත්විය.

එම විපාකය ලැබුණේ බොහෝ කාලයකට පෙර ඇත්ගොව්වෙකුව සිට සිදුකළ අකුසලයකුයි. ඒ, පිඬුසිඟා වඩින පසේබුදු කෙනෙකුන්ව ඇතු මෙහෙයවමින් වෙහෙසට පත් කිරීමේ අකුසලයයි.

හිසරදයක් ඇති වීම හා ශාක්‍යයන් නැසී යෑම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දුක් වේදනා සහිත හිසරදයක් වැලඳී තිබුණි. එසේම විඪූඩභ යුද කොට ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන ලදි.

පෙර කෙවුල් (ධීවර) ගමක ඉපිද සිටියදී දිනක් තම නෑයන් ඇල්ලූ මත්ස්‍යයන් දැක, ඒ සත්ත්ව හිංසාව නොසලකා මත්ස්‍ය අස්වැන්න ගැන සතුටු විය. මෙම කර්මය නිසා ඉහත විපාකය ලැබුණි.

වේරඤ්ජාවේ තුන් මසක් යව වළඳන්නට වීම

වේරඤ්ජා බමුණාගේ ආරාධනාවෙන් වේරඤ්ජාවේ වස් වාසය කළත් බමුණා විසින් කිසිදු ප්‍රත්‍ය පහසුකමක් නොම සැලසීය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා භික්ෂුන්ට අස් වෙ‍ෙළඳුන්ගෙන් ලැබුණු යව ධාන්‍ය වළඳන්නට සිදුවිය. එහිදී තාදී ගුණයෙන් අකම්පිතව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වස් කාලය ගතකොට වස් අවසානයේ වේරඤ්ජ බමුණාද දැනුවත් කොට ආපසු වැඩම කළහ.

ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්ට හැල් නොවළඳා යව කව් යැයි සිදුකළ නින්දාවක් එම සිදුවීමට හේතු විය.

පිටකොන්දේ වේදනාවක් ඇති වීම.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වරින් වර ඉස්මතු වූ කොන්දේ රුදාවක් විය.

එයට හේතු වූයේ ඉතා ඈත භවයක මල්ලවපොර ශුරයෙකු වී සිට ප්‍රතිමල්ලවයා බිම දමා පීඩාවට පත්කිරීම නිසා ඇති වූ අකුසලයයි.

ලේ අතීසාරය වැලඳීම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආසන්න සමයේ ලෝහිත පක්ඛන්දිකා හෙවත් ලේ අතීසාරය වැලඳුනි. එයට හේතු වූයේ පෙර වෙදෙකුව සිටිය දී ධන ලෝභයෙන් යුතුව සිටු පුත්‍රයෙකුට විරේක බෙහෙත් දී විරේක කරවීමයි. පසුව ඔහු විසින්ම සිටු පුත්‍රයා සුවපත් කොට තිබේ.

අපටත් විඳීමට හා විඳවීමට අසංඛ්‍ය ගණන් ජීවිතවල කොතරම් කර්ම රැස් වී තිබේද? එබැවින් කර්ම සකස්වන ක්‍රමය නැතිකොට සසරින් මිදී උතුම් සත්‍යාවබෝධයට පත්වීමට වෙරදැරිය යුතුය. තිසරණය හැර මේ කරුණෙහිලා අපට වෙනත් සරණක් නම් නැත.

තෙරුවන් සරණයි !

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?