ඔබ ලොව ජය ගන්නා ආත්ම විශ්වාසයෙන් පිරි ආකර්ෂණීය කාන්තාවකි. ඔබගේ දෙනෙත් යට වූ සියුම් අඳුරු පැහැයක් හෝ බෙල්ලේ ඇති වූ සුළු අවපැහැ ගැන්වීමක් නිසා දීප්තිමත් පෙනුමට බාධා ඇතිවීමට ඉඩ නොදෙන්න. සුන්දරත්වය යනු පරිපූර්ණ සමේ පැහැයක් පමණක් නොවේ. එය ඔබගේ සෞඛ්‍යය හා සමබර ජීවන රටාව පිළිබිඹු කිරීමකි.
මෙම රූපලාවණ්‍ය ගැටලු වෙහෙසකර ජීවිතයේ යම් අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වයන්ගේ දර්ශක විය හැකිය. එහෙත් සුදුසු සත්කාරයන් මඟින් මෙම තත්ත්වය පහසුවෙන් පාලනය කර ගත හැකිය. ඔබ නැවතත් වයසට නොයන, දීප්තිමත් සහ එකම වර්ණයෙන් යුත් පෙනුමක් ලබා දීමට දේශීය, බටහිර සහ අපගේ සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල ඇත්තේ පුදුමාකාර හැකියාවකි.
එන්න… මේ රහස් හඳුනාගෙන ඔබේ ස්වභාවික ආකර්ෂණය වඩාත් ඔප් නංවා ගනිමු.
ඇස් වටා කළු වීමට හේතු
ඇස් යට හා වටා සම අපගේ මුළු ශරීරයේම ඇති වඩාත්ම සංවේදී හා තුනී සම පිහිටි ප්‍රදේශය ලෙස හැඳින්විය හැකිය. එම නිසාම ඒ ප්‍රදේශය කුඩාම අභ්‍යන්තර හෝ බාහිර වෙනසකට වුවද ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් කළු පැහැය ඇතිවීම සිදුවේ. අද වන විට බහුලවම දක්නට ලැබෙන හේතුව වන්නේ අධික නිදි වැරීම හා මානසික ආතතියයි. විශේෂයෙන්ම කාර්යබහුල නාගරික කාන්තාවන් අතර ප්‍රමාණවත් විවේකයක් නොලැබෙන විට ඇස් යට රුධිරවාහිනී ප්‍රසාරණය වී සම හරහා නිල්-කළු පැහැයක් දිස්වේ. මීට අමතරව ජංගම දුරකතන සහ පරිගණක තිර දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම මඟින් ඇස්වලට දැඩි වෙහෙසක් ලබාදෙන අතර එය ද මෙම අවපැහැ ගැන්වීමට ප්‍රබල සාධකයකි. සෞඛ්‍යමය පැත්තෙන් බලන කළ ශරීරයේ විජලනය නිසා සම වියළී අඳුරු පැහැයට හැරීම රක්තහීනතාව (යකඩ ඌනතාව) නිසා ඇස් වටා අවපැහැය වැඩිවීම සහ විටමින් වැනි පෝෂණ ඌනතා ද මෙම ගැටලුවට සෘජුවම බලපායි. සමහරුන්ට නම් මෙය පවුල් ඉතිහාසය හා ජානමය තත්ත්වයක් ලෙසින්ම පිහිටා තිබීම ද දැකගත හැකියි.
බෙල්ල වටා කළු වීමට හේතු
බෙල්ලේ සම කළු වීම විශේෂයෙන්ම බෙල්ලේ පිටුපස සහ දෙපස ප්‍රදේශවල රූපලාවණ්‍ය ගැටලුවකට වඩා අභ්‍යන්තර සෞඛ්‍ය ගැටලුවක බාහිර ලකුණක් විය හැකිය. එබැවින් රූපලාවණ්‍ය සත්කාරවලට අමතරව යටින් පවතින සෞඛ්‍යය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මෙහි ප්‍රධානතම හේතු අතර තරබාරුකම නිසා ඇතිවන ඉන්සියුලින් ප්‍රතිරෝධය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු සහ කාන්තා හෝමෝන අසමතුලිතතා වැනි තත්ත්වයන් ප්‍රබල වේ. මෙම තත්ත්වයන් සමේ මෙලනින් නිෂ්පාදනය ඉහළ දමමින් සම ඝනකම් වී අවපැහැ ගැන්වීමට හේතු වේ. බාහිර සාධක සලකා බැලීමේදී නිසි සූර්ය ආරක්ෂාවක් නොමැතිව හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම ප්රමුඛස්ථානයක් ගනී. එසේම සම අසාත්මික කළ හැකි සැර සුවඳ විලවුන් හෝ නුසුදුසු රූපලාවණ්‍ය ආලේපන බෙල්ලේ ආලේප කිරීම ද සමේ ප්‍රතික්‍රියාවක් ලෙස අවපැහැ ගැන්වීම ඇති කළ හැකිය. ඔබ රූපලාවණ්‍ය සත්කාර ආරම්භ කිරීමට පෙර පවතින සෞඛ්‍ය ගැටලු නොමැති බවට වෛද්‍යවරයකුගෙන් තහවුරු කර ගැනීම වඩාත් සුදුසුය.
ඇස් යට කළු වීම සඳහා
ආයුර්වේදය මඟින් ඇස් යට කළු පැහැය සුව කිරීමට උත්සාහ කරන්නේ සමේ පිත්ත දෝෂය සමනය කිරීමෙනි. ඇස් වටා සම්බාහනය කිරීම සඳහා නේත්‍ර තර්පණ ප්‍රතිකාරයේ මූලිකාංග භාවිත කළ හැකිය. පිරිසුදු ගිතෙල් (ගවයාගෙන් ලබාගත් දේශීය ගිතෙල්) හෝ ස්වභාවික ආමන්ඩ් තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩුවලට ගෙන රාත්‍රී නින්දට පෙර දෑස් වටා මෘදු ලෙස සම්බාහනය කිරීම ඉතාම සුවදායක ක්රමයකි. මෙය එම ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර සම පෝෂණය කර රැලි වැටීම පවා අවම කරයි. එසේම සරල සත්කාරයක් ලෙස කෝමාරිකා ජෙල් සහ ස්වභාවික රෝස වතුර මිශ්‍රණයක් සිසිල් කර ඇස් වටා ආලේප කිරීම මඟින් සමේ තෙතමනය හා සිසිලස පවත්වා ගත හැකිය. තවද යෂ්ටිමධු වැනි ඔසු කුඩු මී පැණි සමඟ මිශ්‍ර කර සාදන ලද ආලේපන සම පැහැපත් කිරීමේ ස්වාභාවික ගුණයක් පවතින නිසා ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර ඉතාම සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගනියි. නමුත් ඔබ මෙම ඕනෑම ද්‍රව්‍යයක් ඇස් වටා ආලේප කිරීමට පෙර ඉතා සුළු ප්‍රමාණයක් අත්වල ආලේප කර අසාත්මිකතා ඇත්දැයි පරීක්ෂා කර බැලීමෙන් ආරක්ෂාව තහවුරු කර ගත යුතුය.
බෙල්ල කළු වීම සඳහා ආයුර්වේද සත්කාර
බෙල්ලේ අවපැහැ ගැන්වීම පාලනය කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාරවලදී සම මෘදු ලෙස ස්ක්‍රබ් කිරීම සහ පැහැපත් කිරීමේ ඔසු යොදා ගනී. අර්තාපල් යුෂ යනු පුරාණයේ සිටම භාවිත කළ ඖෂධයකි. එහි ඇති එන්සයිම සම පැහැපත් කිරීමට ස්වාභාවිකවම උපකාරී වේ. අඹරා ගත් අර්තාපල් යුෂවලට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. දෙහි යුෂවල ඇති අම්ල ගුණය නිසා සම පැහැපත් කිරීමට උදවු කරයි. එසේම කහ කුඩු, කඩල පිටි සහ යෝගට් මිශ්‍රණය ඉතාම ගුණදායක ස්වභාවික ස්ක්‍රබ් එකකි. මෙම තලපය ගෙන මෘදුව සම්බාහනය කිරීමෙන් බෙල්ලේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සමට අවශ්‍ය පෝෂණය සපයයි. ආයුර්වේදයේදී මංජිෂ්ඨා යනු සමේ රෝග සහ පැහැපත් බව සඳහා නිර්දේශ කරන ප්‍රධාන ඔසුවකි. මංජිෂ්ඨා කුඩු රෝස වතුර සමඟ මුසු කර ආලේප කිරීමෙන් සමේ අඳුරු පැහැය අවම කළ හැකිය. මෙම සියලුම ආලේපන භාවිතයෙන් පසු බෙල්ලේ සමට අනිවාර්යයෙන්ම හොඳ මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කරන්න.
ඇතුළතින් ලබන දීප්තිය
සැබෑ රූපලාවණ්‍යය පවතින්නේ බාහිර ආලේපනවලට වඩා අපගේ අභ්‍යන්තර සමබරතාව තුළ බව ආයුර්වේදය උගන්වයි. ඇස් වටා සහ බෙල්ලේ ඇතිවන අවපැහැ ගැන්වීම බොහෝ විට ශරීරයේ පිත්ත දෝෂය අසමතුලිත වීමක් නිසා ඇති වේ. එබැවින් මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දීමට නම් ඔබේ දෛනික ජීවන රටාවේ සමබරතාවක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. සෑම රාත්‍රියකම නියමිත වේලාවට නින්දට යාම මඟින් ඇස්වලට ප්‍රමාණවත් විවේකයක් ලබාදෙන අතර ශරීරය අභ්‍යන්තරව අලුත්වැඩියා වීමට අවස්ථාව සලසා දෙයි. එසේම දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සමේ විජලනය වළක්වයි. ඔබේ ආහාර වේලට පිත්ත සමනය කරන පලතුරු (ඇඹුල් රස අඩු, පැණි රස පලතුරු) සහ තිත්ත රසැති පලා වර්ග බහුලව එක් කරන්න. අධික ලුණු සහ අධික තෙල් සහිත ආහාරවලින් වැළකීම මෙහිදී වැදගත්ය. යෝගා සහ භාවනාව මඟින් මානසික ආතතිය අඩු කර ගැනීමෙන් සමේ ඇතිවන හෝමෝනමය වෙනස්කම් පාලනය කර ගත හැකියි. මෙම සරල ආයුර්වේද දින චර්යා මඟින් ඔබගේ සමට ස්වභාවික, ස්ථිර දීප්තියක් ලබා දෙන බව අමතක නොකරන්න.
TEXT
දුමින්ද කාරියවසම්
