Monday, November 17, 2025
Epaper
Home කලා ලොවනිහතමානී බව ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්

නිහතමානී බව ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්

ප්‍රවීණ රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ

by Shanaka Lakehouse

මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ කියන්නේ අපේ රටේ අග්‍රගණ්‍ය කලාකරු යුවළක්. කලාකරුවන් අතර සමාජයට ආදර්ශවත් ජීවිතයක වටිනාකම කියා පාන ඔවුන් ගැන වඩාත් කතාබහට ලක් වන්නේ ඔවුන්ගේ පුත් ජනිත් වික්‍රමගේ ඔවුන්ට දක්වන මා පිය සෙනෙහසේ මහිමය හේතුවෙනි. මෙවර තරුණී අම්මාවරුනේ තුළින් අප හමුවුණේ ජනිත් වික්‍රමගේ නම් ජනප්‍රිය යොවුන් කලාකරුවායි. මේ ඔහු ඔහුගේ මෑණියන් මානෙල් වානගුරු ගැන අප හමුවේ කියූ කතාවයි.

ඇත්තටම පුතෙක්ට අම්මා කෙනෙක්ව වැඩියෙන්ම දැනෙනවා යැයි සාමාන්‍ය වහරේ කියන කතාව ඇත්ත. එය මා අදටත් අත්දකින සත්‍යයක්. අම්මා කොයි තරම් කාර්යබහුල වුණත් අපි පුංචි කාලයේ සිටම අපේ වගකීම් මනා කැපවීමෙන් ඉටු කළා. ඉතින් අද අපි ඔවුන් වෙනුවෙන් පෙරළා යුතුකම් ඉටු කරන්නේ එදා ඔවුන් අප වෙනුවෙන් කළ කැප කිරීම නිසාම යැයි කිවොත් වැරදි නෑ.”

සිය මව සතු ගුණ යහපත්කම් ගැන ජනිත් අප හමුවේ තැබුවේ මෙවන් අදහසක්.

දරා ගැනීම, නිහතමානී බව, මිනිසුන් සමඟ සුහදශීලිව ගනුදෙනු කිරීම ආදිය මා ඉගෙන ගත්තේ අම්මාගෙන්. අපේ අම්මා සතුව ඒ ගුණාංග සියල්ලම තිබෙනවා. මම මගේ මුළු ජීවිත කාලය පුරාම එදා සිට අද දක්වා ඇගෙන් ඒ ගුණාංග අත්දකින බව කිව යුතුයි. අම්මා බොහොම සංවේදී කෙනෙක්. ඒ සංවේදී ගුණාංගය වුවමනාවටත් වඩා මට පිහිටලා තිබෙනවා. එය මා ළඟින්ම ඇසුරු කරන අය හොඳින්ම දන්නා දෙයක්.

අපේ අම්මා රූගත කිරීම්වලට ගියත් ලැබෙන පුංචි හෝ කෑම එකක් ගෙදර ගෙනැවිත් අපට දෙනවා. ඒ පුරුද්ද මටත් තිබෙනවා. මමත් කොහේ ගියත් අම්මාට සහ තාත්තාට මොනවා හෝ කෑමක් බීමක් අරගෙන එන්නේ ඒ ආභාසය නිසාමයි.

මවක ලෙස මානෙල් වානගුරු සිය පුතුන් කෙරේ දැක්වූ ආදරය ගැන ජනිත් මෙසේ අදහස් පළ කළේය.

ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් අම්මා අපේ පැත්ත ගත්තා. එය ඕනෑම අම්මා කෙනෙක්ගේ ලක්ෂණයක් යැයි මා විශ්වාස කරනවා. පුතා මොන වරද කළත් දරුවා වෙනුවෙන් පෙනී සිටින එකම කෙනා අම්මා යන කියමන අ‌පේ අම්මාගෙන් අපි අත්දැක්කා. ඉතින් අම්මාවරුන්ගේ හැටි එහෙම තමයි. මුළු ලෝකයම එරෙහි වුණත් අම්මා කෙනෙක් තමන්ගේ පුතාට විරුද්ධ වෙන්නේ නෑ. ඕනෑම වෙලාවක ඇය සිය දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා.

සිය මාතෘ පීතෘ ස්නේහය ගැන සමාජය දක්වන ප්‍රතිචාර පිළිබඳ ජනිත් දැක්වූයේ මෙවන් අදහසකි.

ඇත්තටම සමාජය මං ගැන එහෙම හිතන්නේ ඇයිදැයි මා නිතරම කල්පනා කරනවා. මවුපියන්ට සැලකීම කියන්නේ ඇත්තටම විය යුත්තක්. අපේ සංස්කෘතිය ඇතුළේ එය අනිවාර්ය ලක්ෂණයක්. ඇත්තටම මා දෙස බලා සමාජයේ කිහිප දෙනෙක් හෝ යහ මාර්ගයට යනවා නම් එය ඉතා වටිනා දෙයක් යැයි මා විශ්වාස කරනවා. මාගේ ප්‍රාර්ථනාව ද එයයි.

මව ගැන අදහස් දැක්වීමෙන් අනතුරුව ජනිත් සිය පියා ආනන්ද වික්‍රමගේ ගැන කියන්න අමතක කළේ නෑ.

අම්මා වගේම අපේ තාත්තාත් ඉතාම සංවේදී චරිතයක්. ඔවුන් අපිට සැර වැර කරලා තරවටු කරලා හැදුවේ නෑ. ඔවුන් අපට කවදාවත්ම නීති දාලා හැදුවේ වැඩුවේ නෑ. ඔවුන් අපට බොහොම ආදරයෙන් හැම දෙයක්ම කියා දුන්නා. ඉතින් අදටත් අප යමක් කරන්නට පෙර අපේ මවුපියන්ගේ ගෞරවයට හානියක් වෙයි දැයි යන්න හිතා බලනවා. එය එසේ වූයේ අපේ අම්මා තාත්තා අපට ඉතා ආදරයෙන් යහමග කියා දුන් නිසායි.

සිය පියා සහ මව ඇතුළු පවුලේ සැම ගෙවන සමගිසම්පන්න දිවියේ රහස ජනිත් මෙසේ හෙළි කළේය.

ඇත්තටම අපේ ජීවිත ඇතුළේ ප්‍රශ්න නැතිවා නොවේ. හැබැයි ඒ ප්‍රශ්න අපි පවුල ඇතුළේ විසඳා ගන්නවා. පවුලක් ලෙස අන්‍යෝන්‍ය අවබෝධය අපේ පවුලේ හැම දෙනා සතුවම තිබෙනවා. අනෙකාට ඇහුම්කන් දීම, අනෙකාට ගරු කිරීම වැනි යහපත් ලක්ෂණ අප සතු වෙනවා. අපේ පවුලේ සතුටේ සහ සමගියේ රහස එයයි.

සිය පියා තමන්ට ලබා දුන් අවවාද ගැන ජනිත් පළ කළේ මෙවන් කතාවකි.

කිසිම විටක ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් තබා ගන්න එපා යන්න, මට තාත්තා විසින් ලබා දුන් අවවාදයක්. උත්සාහ කරනවා වගේම ජීවිතයේ ඕනෑම විටක අත්හරින්න‌ට පුරුදු විය යුතුයි යන්න අපේ තාත්තා නිතරම වගේ පවසන්නක්. ඉතින් එය මගේ හිතට වැදුණු උපදේශයක්. ඇත්තටම එය අපේ තාත්තාගේ ජීවිතයේත් දකින්නට පුළුවන් ලක්ෂණයක්. ඔහු කලා නිර්මාණ පසුපස හඹා ගියේ නෑ.

සිය මවුපියන්ගේ සමගිසම්පන්න ජීවිතය ගැන සමාජයෙන් ලැබෙන ප්‍රශංසා පිළිබඳ ජනිත්ට ඇත්තේ සතුටක්. දරුවෙක් විදිහට අපේ අම්මා තාත්තා ගැන මම ආඩම්බර වෙනවා. සමාජයෙන් එවන් ප්‍රශංසා ඇහෙන විට ඔවුන්ගේ දරුවෙක් ලෙස මට ගොඩක් සතුටුයි.

අවසානයේ කලාකරුවන්ගේ ජීවිතවලින් සමාජය ලබා ගත යුතු සහ නොගත යුතු දේවල් ගැන ජනිත් කීවේ මෙවන් කතාවකි.

කලාකරුවන්ගේ කලාව පමණක් රස විඳ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ආදර්ශයට නොගත යුතු යැයි සමාජයේ කතාබහක් තිබෙනවා. ඒත් ඇත්තටම ආසියානු කලාපයේ කලාකරුවන්ගේ ජීවිතවලින් උගත යුතු පාඩම් නැතිවා නොවේ. ඉතින් නිතරම කලාකරුවන්ගේ ජීවිතවල තිබෙන හොඳ දේවල් ස්වකීය ජීවිතවලට උකහා ගනිමින් නරක දේ බැහැර කිරීමට අපි උත්සාහ කළොත් වරදින්නේ නැහැ.

TEXT පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?