Monday, November 17, 2025
Epaper
Home නීතියදික්කසාද වෙන්න හේතු තියෙනවා ද?

දික්කසාද වෙන්න හේතු තියෙනවා ද?

by Shanaka Lakehouse

විවාහය වනාහී විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි. මිනිසාගේ පැවැත්ම රඳා පැවැත්වීමටත්, හැඟීම් සහ ජීවිතය බෙදා හදා ගැනීමටත් විවාහය නීත්‍යනුකූලව සහාය වෙන අතර ලාංකේය සංස්කෘතික රාමුව තුළ විවාහය ඉතා ඉහළ ස්ථානයක් හිමි කරගනී. ස්ත්‍රියක් සහ පුරුෂයෙක් තම විවිධ ඉලක්ක, අරමුණු සහ බලාපොරොත්තු සමඟ එක්තැන්වීමක් කුටුම්බගත වීමක් විවාහය සමඟ සිදු වේ.

ඕනෑම කාන්තාවකගේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස විවාහය සැලකිය හැකියි. දෙතැනක සිටි දෙදෙනෙක් විවාහය හරහා එක්තැන් වුවද දෙදෙනාගේ පවතින විෂම ගති සහ විවිධ හැසිරීම් හේතුකොට ගනිමින් ඕනෑම විවාහයක ප්‍රශ්න පැන නැඟීම සාමාන්‍ය වේ. නමුදු ඕනෑම සමාජයක විවාහය සේම දික්කසාදය සිදු වීම සාමාන්‍ය වී ඇත. එයට හේතුව වන්නේ නීත්‍යනුකූලව විවාහ වනවා සේම එකිනෙකා සමඟ ජීවිතය බෙදා හදා ගැනීමේ දී ඇති වන නොයෙක් ප්‍රශ්න හැලහැප්පීම් මත ඔවුන්ට වෙන් වීමට සිදු වීමය. වසරකට තුන් දහසක් පමණ ලංකාව තුළ ද දික්කසාද වීම් සිදු වන අතරම මෙම දික්කසාද වීමේ නීති සම්බන්ධව අපි නීතිඥ හිරාන් සෙනෙවිරත්න මහතා සමඟ ගැඹුරින් සාකච්ඡා කරන ලදී.

“ලංකාවේ දික්කසාදය නීති තුනක් යටතේ සිදු වෙනවා. එකක් සාමාන්‍ය නීතිය, අනික උඩරට නීතිය සහ මුස්ලිම් නීතිය කියන නීති තුන. සාමාන්‍ය නීතිය අනුව, දික්කසාදය සඳහා වෛවාහික වරදක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එවැනි වරදක් නිසා විවාහය බිඳ වැටී තිබිය යුතුයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ සහ දික්කසාද ආඥා පනත යටතේ දික්කසාදය සඳහා කරුණු තුනක් බලපානවා. එනම් අනාචාරය, ද්වේෂසහගත අත්හැර යෑම, සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව කියන කරුණු තුනෙන් එකක් ඔප්පු කළ යුතුයි.

ඕනෑම දික්කසාද නඩුවක් පැවැත්වෙන්නේ දිස්ත්‍රික් උසාවිය තුළ. යුවළ ජීවත් වූ ප්‍රදේශය අනුව තමයි, උසාවිය තීරණය වෙන්නේ. මූලිකව පැමිණිල්ල දැමිය යුත්තෙ දිස්ත්‍රික් උසාවියට. විවාහ සහතිකය, උප්පැන්න සහතික දරුවන් සිටීනම් දරුවන් පිළිබඳ විස්තර සහ ඔවුන්ගේ උප්පැන්න සහතික ආදී සනාථ කිරීම සඳහා ලේඛන අවශ්‍ය වෙනවා. මේ කරුණු පිළිබඳව අධිකරණය සෑහීමකට පත් වුණොත් Decree Nasi ලෙස ස්ථිර තීන්දු ප්‍රකාශයක් නිකුත් කරනවා. නමුත් ඒ නිකුත් කළ දිනයේ සිට මාස තුනක් ඔවුන්ට උසාවිය මඟින් අවස්ථාවක් ලැබෙනවා සැමියා හා බිරිය ලෙස නැවත එකතු වෙන්න, ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒ මාස තුනෙන් පසුවත් ඔවුන් දික්කසාදය සඳහාම සූදානමින් බලා සිටිනවානම් එදින සිට දික්කසාදය බලාත්මක වෙනවා. “

දික්කසාදය යන්න විවාහ ජීවිතය දෙදරා යාමකි. එය නීත්‍යනුකූලව සිදු කර ගැනීමේ දී විවිධ නීති රීති සමඟ එකඟ වීමට ද සිදු වේ. දික්කසාදය ඉල්ලා සිටිය හැකි කාල වකවානුද නීතිය මඟින්ම තීරණය කර ඇත.

“විවාහ වුණා කියලා ජීවත් වෙන්න බැරි නිසා සතියක් දෙකක්, මාසයක්, දෙකක් ගිහින් දික්කසාදය ඉල්ලා සිටීමට නීතියෙන් හැකියාවක් නෑ. ඒ කියන්නේ, දික්කසාදය ඉල්ලා සිටීම සඳහා විවාහයෙන් වසරක් ගත විය යුතුමයි. ඊට පෙර විවාහය කියන බැඳීමෙන් නීතියෙන්ම ඉවත් වීමට අවශ්‍ය වුවත් පෞද්ගලිකව ඔවුන්ට වෙන් වෙලා ඉන්න පුළුවන්, නමුත් නඩුවක් දැමීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ විවාහයෙන් වසරක් ගත වෙන තුරු නෛතික වෙන්වීම සහ දික්කසාදය කියන එක වෙන්නෙ නැහැ .”

දික්කසාදය සඳහා අවශ්‍යතාව ඇති වන්නේ විවාහය තුළ සිටින දෙපාර්ශ්වයටම හෝ එක් පාර්ශ්වයකට විය හැකි ය. දෙපාර්ශවයම කැමැත්තෙන් දික්කසාදය ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට එක පාර්ශ්වයක කැමැත්තක්, බලපෑමක් මත පමණක් දික්කසාදය ලබා ගැනීමට ද හැකියාව ඇත.

“දික්කසාද නඩුවේ එක පාර්ශ්වයක් පමණක් ඒ සඳහා සක්‍රියව දායකත්වය ලබා දුන්නා අනෙක් පාර්ශ්වය කිසිදු සහභාගීවීමක් හෝ තරගකාරීත්වයකට එන්නෙ නැති වුණාම, උසාවිය මඟින් ඒකපාර්ශ්වික තීරණයක් ලබා දෙනවා. ඒ වගේම දැන් දෙපාර්ශ්වයේ කැමැත්ත මත දික්කසාද වීමට ද අවස්ථාවක් තියෙනවා. ඉහත කී කරුණු තුනෙහි සඳහන් කිසිදු කරුණක් ඔප්පු නොකර දෙදෙනාගේ අන්‍යෝන්‍ය එකඟතාවය, කැමැත්ත අනුව දික්කසාදය ලබා ගන්නත් දැන් පුළුවන්.”

දික්කසාදය පිළිබඳව කතා කරන විට පැන නඟින තවත් ගැටලුවක් තමයි ඔවුන්ගේ දේපළ සම්බන්ධව ඇති වන ගැටලුව. නීතිඥ හිරාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන පරිදි දික්කසාදය තුළින් දේපළ ඉතා සාධාරණව බෙදා දෙන බවයි.

“දේපළ සම්බන්ධ ප්‍රශ්න ඕ‍ෙනම දික්කසාදයක දී එන්න පුළුවන්. විවාහයට පෙර ලැබුණු දේපළ සියල්ලම ඒ අදාළ පුද්ගලයාට අයිති වන අතර විවාහ ජීවිතය තුළ දෙදෙනා සහයෝගයෙන් ගොඩ නඟා ගත් දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ දී තීරණය කරනවා කොහොමද ඒ දේපළ අයිති විය යුතු කියලා.”

දික්කසාදය සරල සහ විකාර රූපී ලෙස තවදුරටත් බැලිය යුත්තක් නොවේ. මන්ද විවාහය තුළ එක්ව ජීවත් වීම සේම වෙන් වීමේ දී අනෙකා සතු ගෞරවය රකිමින් වෙන් ව යාමට ද දැන් නීති රීති සකස් වී ඇත. අනෙකාට පහසු මිනිසෙකු වීමෙන් වසරකට සිදුවන දික්කසාද දහස් ගණනක් වළකා ආදරණීය, සෙනෙහෙබර විවාහ ජීවිතයක සතුටින් ජීවත් වෙන්න. නැතිනම් ගෞරවයෙන් වෙන්ව යන්න.

TEXT රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?