පින්වත් දොස්තර මහත්මයෙක් ධර්ම සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇසුවා. ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුවෙනකොට මනුෂ්‍යයාගේ ආයුෂ වැඩිවෙන්න, රෝගීභාවයන් අඩු වෙන්න ඕනේ නේද කියලා. වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද, වෛද්‍ය විද්‍යාවට හැකියාවක් නැහැ ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයට අභියෝග කිරීමට.
බුදුරජාණන් වහන්සේ ලෝකය විවරණය කරන්නේ සංස්කාරයන්ට අනුව, හේතුඵල ධර්මයන්ට අනුව, වෛද්‍ය විද්‍යාව යනු දැනුම් සම්භාරයක් පමණයි. සංස්කාරයනුයි ලෝකය තීරණය කරන්නේ. වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණු ඖෂධ සොයාගත්තත්, මනුෂ්‍යයාගේ ආයුෂ දීර්ඝ කිරීමට, මනුෂ්‍යයා නීරෝගි කිරීමට බැහැ. ඊටත් වඩා ශක්තිමත්, විෂබීජයක්, වයිරසයක් මනුෂ්‍යයා තුළින් සකස්වෙනවා. මනුෂ්‍යයා තුළ මේ විෂබීජ, වයිරස සකස් කරන්නේ දුශ්ශීලභාවය විසින්.
ඒඩ්ස් කියන වයිරසය නිර්මාණය කළේ දුශ්ශීලභාවය විසින්, පිළිකාව කියන රෝගය නිර්මාණය කළේ අතීතයේ සිදුකළ අකුසල් හේතුවෙන්. අකුසල් කියන්නෙ සීලයෙන් දුර්වල වීම. අනාගතයේදී මීට වඩා දරුණු රෝගාබාධ මනුෂ්‍යයා තුළින් මතුවී එන්නේ දුශ්ශීලභාවය නිසාමයි. එසේ නම් පින්වත් ඔබට, ලෝකයා නීරෝගි භාවයට පත් කිරීමට අවශ්‍ය නම්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව මනුෂ්‍ය ප්‍රජාව උදෙසා සැබෑ ලෙසටම ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය නම්, මනුෂ්‍යයා සිල්වත් භාවයට පත් කිරීමෙන් පමණයි එය කළ හැක්කේ. දුශ්ශීල භාවයමයි. ආයුෂ අඩුවීමත් රෝගාබාධයන්ටත් හේතු සාධක වන්නේ. පින්වත් රෝගීන් දිනකට බෙහෙත් වේල් තුනක් ගන්නවා වගේම, අවම වශයෙන් දිනකට එකවතාවක් වත්, ජාති ආගම් භේදයකින් තොරව පංචශීලය සමාදන්ව, ආරක්ෂාකොට ගන්නවා නම්, එය රෝගියා ලබා ගන්නා වටිනාම ප්‍රතිකාරය වෙනවා. උතුම් සිල්වත්භාවය තුළ සිටිමින්ම, එක මොහොතක් හරි මෛත්‍රී චිත්තයක් සකස්කොට ගන්නවා නම් එය උතුම් ප්‍රතිකාරයක්මයි වෙන්නේ.
පින්වත් වෛද්‍ය මහත්මයෙක් රෝගියාට ප්‍රතිකාර කරනවා යනු සංස්කාරයන්ට ප්‍රතිකාර කිරීමක්. සංස්කාරයන්ට ප්‍රතිකාර කොට නිමාවක් අවසානයක් දැකිය නොහැකි බව, පින්වත් ඔබලාගේ ක්ෂේත්‍රයේ අත්දැකීම් තුළින්ම අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පින්වත් ඔබෙන් ප්‍රතිකාර ලබන රෝගියා සංස්කාරයන්ගේම ඵලයන් වගේම පින්වත් ඔබගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම, හැකියාව, විශේෂඥ හැකියාව ද සංස්කාරයන්ගේම ප්‍රතිඵලයක් බව නුවණින් දැකීමට දක්ෂවුවහොත්, පින්වත් ඔබට යම් ප්‍රමාණයකට සංස්කාර නමැති පැටලුන නූල් පන්දුවේ පැටලුම හඳුනාගත්තා වනු ඇත. මේ නූල් පන්දුව පැටලුම දිගහැරගන්නා ප්‍රමාණයටයි, ඔබ තුළ වෘත්තීය හැකියාව පිළිබඳව, මමත්වයේ දැඩිභාවය තුනී වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් උසස් අධ්‍යාපනයට යොමුවන්නේ උසස් අධ්‍යාපනය තුළින් සමාජයේ පැසසුම් ලබන වෘත්තිකයෙක් බවට පත්වෙන්නේ, පෙර ජීවිතයේදී අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකළ නිසා, ගරු කළයුත්තන්ට ගරු කළ නිසා. අනුන්ට දැනුම ලබාදීමට සත්පුරුෂභාවයෙන් උපකාර කළ නිසා, මහණ බමුණන්ගෙන් කුසලය කුමක්ද, අකුසලය කුමක්ද, කළයුතු දෙය කුමක්ද නොකළ යුතු දෙය කුමක්ද කියලා ඇසීමට දක්ෂ වූ නිසාය කියලා. මේ අතීත කුසල් සංස්කාරයන්ගේ ශක්තියයි, ඔබ ලබා ඇති උසස් වෘත්තීයේ හැකියාව. දැන් ඔබට පුළුවන්, තරාදියේ දෙපැත්ත හොඳින් දකින්න. රෝගයක් යනු අකුසල් සංස්කාරයන්ගේ ඵලයයි. රෝගියාට ප්‍රතිකාර කරන ඔබේ විශේෂඥ දැනුම කුසල් සංස්කාරයන්ගේ ඵලයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂයා, අදක්ෂයා, නූගත්බව, පණ්ඩිතබව යනු කර්මයන්ම මූලිකකොට ඇතිවන්නක්ය කියලා. මෙතන ඇත්තේ, හුදු කුසල් අකුසල් ගනුදෙනුවක් පමණි. මෙතැන ඇත්තේ, ධනය, කීර්තිය, මමත්වය රැස් කළයුතු ක්‍රියාවක් නොව අවබෝධයෙන් හදුනාගත යුතු ක්‍රියාවලියකි.
තෙරුවන් සරණයි!
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමීන් වහන්සේ
අත්හැරීම ග්‍රන්ථය
