Monday, November 17, 2025
Epaper
Home Beautyඅහිතක් නැති මුහුණු සත්කාර

අහිතක් නැති මුහුණු සත්කාර

කාර්යබහුල ගෘහිණියන්ට මිනිත්තු 10න් කළ හැකි මුහුණු සත්කාර

by Shanaka Lakehouse

“මගේ මුහුණට මොකද මේ වෙලා තියෙන්නේ…” කියලා ඔබත් කැඩපත දෙස බලා වද වෙනවද? අපේ කාර්යබහුල ගෘහිණියන්ට ඒ හැඟීම අමුත්තක් නොවේ.

උදෑසන සිට රාත්‍රිය දක්වා නි‍ෙවසේ වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනය, ආහාර පිසීම, ගෙදර සංවිධානය මේ සියල්ල අතර ඔබටම වෙන්වන කාලය බොහෝ විට ඉරිදා දිනට පමණක් සීමා වී ඇතුවාට සැක නැත. මිල අධික රූපලාවණ්‍ය නිෂ්පාදන හෝ සැලූන් යෑම ගැන ඔබ දැනටමත් අතහැර දමා ඇත්නම්, ඔබට කියන්න තියෙන්නේ ඔබේ සෞන්දර්යය නැතිවෙලා නැහැ. එය තාවකාලිකව වෙහෙසට යටවුණු මල් පොහොට්ටුවක් වැනියි. ඒ මලට නැවුම්, ස්වාභාවික වූ සත්කාරයක් ලැබුණොත් එය නැවතත් පිපී දිදුළනු ඇත.

ඔබේ කුස්සියට යන්න: එහි ස්වාභාවික සෞන්දර්ය රහස් බොහෝ ඇත. ඔබට ෆේෂල් එකක් සඳහා පැය දෙකක් වෙන්කර ගැනීමට නොහැකි වුවත්, ඔබේම මුහුණට මිනිත්තු 10ක්වත් ලබාදෙන්න. ස්වාභාවික සත්කාර යනු මිල අධික ක්‍රීම් හෝ විදෙස් බ්‍රෑන්ඩ් එකක් නොවේ. මේ සත්කාර සඳහා ඔබට අවශ්‍ය දේවල් ඇත්තේ ඔබේම සුවඳට පුරුදු කුස්සියේය. උදෑසන තේ හැන්දට ගන්නා මීපැණි බෝතලය, සලාදයට කපන ලෙමන් කැබැල්ල හෝ හවසට බොන කෝපි කුඩුවල ඔබට අදහාගත නොහැකි තරම් සත්කාරයක් සැඟවී තිබෙන බව දැන සිටියාද?

දිදුලන සමකට තෙතමනය මීපැණි සහ ලෙමන් මාස්ක්

මීපැණි සහ ලෙමන් මාස්ක් එකක් ඔබේ සමේ මලානික බව ඉවත් කර ඉක්මන් දීප්තියක් ලබා දීමට සමත් වේ. මීපැණි යනු වාතයේ ඇති තෙතමනය ඇදගෙන සමට බැඳ තබන විශිෂ්ට ස්වාභාවික මෘදුකාරකයකි. එහි ප්‍රතිබැක්ටීරියා ගුණ නිසා කුරුලෑ පාලනයට ද උපකාරී වේ. ලෙමන් යුෂවල ඇති විටමින් C සහ සිට්‍රික් අම්ලය මඟින් ස්වාභාවිකව සම පැහැපත් කිරීමට සහ ලප කැළැල් අඩු කිරීමට උපකාරී වන බව තහවුරු වී ඇත. මීපැණි තේ හැඳි 1කට ලෙමන් යුෂ බින්දු කිහිපයක් මිශ්‍ර කර, මිනිත්තු 10ක් මුහුණේ ආලේප කර මෘදුව සෝදා හරින්න.

මැරුණු සම ඉවත් කරන්න කෝපි ස්ක්‍රබ්

කෝපි ස්ක්‍රබ් එකක් මඟින් මුහුණේ ඇති මැරුණු සම ඉවත් කර පිරිසුදු කර, ප්‍රබෝධවත් පෙනුමක් ලබා දේ. කෝපි කැට මඟින් සමේ මියගිය සෛල ඉතා මෘදුව ඉවත් කිරීමේ හැකියාව පවතින අතර, එහි අඩංගු කැෆේන් මඟින් රුධිර සංසරණය වැඩිදියුණු කර සමේ ඉදිමීම් සහ අඳුරු ගතිය ඉවත් කිරීමට ද උපකාරී වන බව පිළිගෙන ඇත. ඔබේ පුරුදු කෝපි කුඩු තේ හැඳි 1කට පොල්තෙල් බිඳක් හෝ (තෙල් සහිත සමක් නම් වතුර බින්දුවක්) එකතු කර ඉතා මෘදුව වෘත්තාකාරව මුහුණ ස්ක්‍රබ් කරන්න.

සිදුරු වැසීමෙන් සම ආරක්ෂා කරන්නට තේ දලු ටෝනර්

මුහුණේ පිරිසුදු කිරීමෙන් හෝ ස්ක්‍රබ් කිරීමෙන් පසු විවෘත වන සිදුරු නැවත වසා දැමීම සඳහා ටෝනර් එකක් අත්‍යවශ්‍ය වේ. කළු තේවල ස්වාභාවික ටැනින් අඩංගු වන අතර, මෙය සමේ PH අගය සමතුලිත කිරීමට සහ විවෘත වූ සිදුරු වසා දැමීමට උපකාරී වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. ඒ හරහා කුණු දූවිලි සමට ඇතුළු වීම වළකී. එසේම තේවල ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සමට ආරක්ෂාව සපයයි. සාමාන්‍ය පරිදි උණු කර සිසිල් කර ගත් තේ ද්‍රාවණය, පිරිසුදු කපු පෑඩ් එකකින් තෙත් කර මුහුණ පිසදමන්න.

ක්ෂණික පැහැපත් බව ලබාදෙන කහ සහ යෝගට් මාස්ක්

​කහ සහ යෝගට් මාස්ක් මඟින් සමේ රත් පැහැය අඩු කරන අතර තෙල් සහිත සමක් ඇති අයෙකු සදහා වඩාත් යෝග්‍ය වේ. මෙහිදී, යෝගට්වල ඇති ලැක්ටික් අම්ලය මඟින් මෘදු ලෙස මැරුණු සම ඉවත් කර දීප්තිමත් බව වැඩිදියුණු කරයි. එසේම කහවල ඇති කර්කියුමින් නිසා සමේ ගිනි අවුළුවන ගතිය අඩුකරයි. ඔබ විසින් තෝරා ගත් යෝගට් හෝ මීකිරි තේ හැඳි 1 ක් සහ කහ කුඩු තේ හැඳි 1/4 ක් මිශ්‍ර කර, මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. පසුව එය විනාඩි 10 ක් තබා හොඳින් සෝදා හරින්න.

ඇස් යට පිපුණු බව සහ අවපැහැය අඩු කරන අර්තාපල් යුෂ

මෙය සියලුම සම වර්ග සඳහා සහ සංවේදී ඇස් වටා සම සඳහා සුදුසු වේ. ​අර්තාපල්වල ඇති එන්සයිම සහ සිසිලස මඟින් ඇස් යට ඇති ඉදිමුම සහ මුහුණේ පිපුණු බව ක්ෂණිකව අඩු කරයි. මෙහි ඇති ස්වාභාවික බ්ලීචිං ගුණාංගය නිසා අඳුරු ලප සහ ඇස් යට අඳුරු වීම අඩු කිරීමට උපකාරී වේ. මෙහිදී ඔබ විසින්, ​සිසිල් කළ අර්තාපල් පෙති දෙකක් හෝ අර්තාපල් යුෂ ස්වල්පයක් ගෙන එහි පොඟවා ගත් කපු පුළුන් දෙකක් හෝ අර්තාපල් පෙති දෙකක් ඇස් වටා තබා විනාඩි 10 ක් විවේක ගන්න. ඉන්පසු සාමාන්‍ය පරිදි මුහුණ සෝදන්න.

සිදුරු සංකෝචනය සහ සිසිලස රඳවා ගැනීමට පිපිඤ්ඤා සහ රෝස වතුර ටෝනරය

මෙම සත්කාරය තෙල් සහිත සම සහ විශාල සිදුරු සහිත සමක් සදහා වඩාත් සුදුසුය. ​පිපිඤ්ඤා යුෂ සමට ක්ෂණික සිසිලසක් ලබා දෙයි. රෝස වතුර මඟින් සමේ pH අගය සමතුලිත කර, විශාල වූ මුහුණේ සිදුරු තාවකාලිකව සංකෝචනය කිරීමට උපකාරී වේ. පිපිඤ්ඤා යුෂ ස්වල්පයකට රෝස වතුර තේ හැඳි 1/2ක් මිශ්‍ර කර, කපු පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් තබා සිසිල් ජලයෙන් සෝදන්න. නැතහොත් නම් මුහුණේම වේළීමට ඉඩ හරින්න.

ඔබට අමතර වේලාවක් නොමැති වුවද, දවසට මිනිත්තු දහයක් හෝ ඔබටම වෙන්කර ගැනීමෙන්, ඔබ ඔබේ මානසික සෞඛ්‍යයට ද ආයෝජනයක් සිදුකරයි. අපේ සෞන්දර්යය යනු බාහිර ආලේපනවලින් පමණක් ලැබෙන දෙයක් නොවේ. එය හදවතේ සන්සුන්භාවයෙන් පටන් ගන්නා දෙයකි. ඔබ සතුටින් ඉන්න විට, ඔබේ මුහුණෙත් ඒ සතුට දිලිසෙනවා. ඔබට අවශ්‍ය ලස්සනම makeup එක ඔබ තුළම පවතින බව මතක තබා ගන්න. ඒ ඔබේ ඇසට ඇති නිදහසයි, මුවේ ඇති සතුටයි.

TEXT අනූපමා මැන්ඩිස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?