Monday, November 17, 2025
Epaper
Home Beautyඋත්සවකට යන්න ඔබේ අතින් ඔබම හැඩවෙන්න

උත්සවකට යන්න ඔබේ අතින් ඔබම හැඩවෙන්න

විනාඩි 10න් ආකර්ෂණීය Make-Up එකක්

by Shanaka Lakehouse

වර්තමානයේ කාන්තාවන් ඉතාම කාර්යබහුලය. බොහෝ කාන්තාවන්ට උත්සවයකට හෝ විශේෂ අවස්ථාවකට සහභාගි වීමට වෙලාවෙන් කොටසක් වෙන් කිරීම පවා අසීරු වී තිබේ. ඇතැම් විට රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සේවය ලබා ගැනීමට නොහැකි වීම හෝ අපේක්ෂිත මේකප් නිමාව නොලැබීම වැනි ගැටලු ද පැනනඟයි. එහෙත් කාර්යබහුලත්වය හේතුවෙන් කටයුතු පසෙකලා සිටීමට අවශ්‍ය‍ නැත. මනා සැලසුමකින් සහ කාලය ඉතිරි කර දෙන සරල ක්‍රමවේද භාවිතයෙන් ඕනෑම කාන්තාවකට ඉක්මනින්ම ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැකිය. මේ සඳහා ඔබට අනුගමනය කළ හැකි සරලම පියවර කිහිපයක් පිළිබඳව අපි ඔබව මෙවර දැනුම්වත් කරමු.

ඇහිබැම සහ පැහැපත් සමකට පෙර සුදානම

දිනපතා මුහුණ පිරිසිදු කර මොයිස්චරයිසර් සහ හිරු ආවරණ (Sunscreen) ආලේප කිරීම වැනි මූලික සම සත්කාර කටයුතු නිරතුරුව සිදු කිරීමෙන් මේකප් කරන දිනට කාලය ඉතිරි කරගත හැකිය. නීරෝගි සමක් මත මේකප් කිරීම පහසු වන අතර ආලේපන අඩු ප්‍රමාණයක් භාවිත කිරීමට ද හැකිවනු ඇත. ඊට අමතරව ඇහිබැමි නිවැරදිව හා පිළිවෙළකට සකස් කර තබා ගැනීම ද මේකප් කිරීමේදී ගතවන කාලය අඩු කිරීමටත්, හදිසියේ සිදු කිරීමට යාමෙන් ඇතිවන ආසාත්මිකතා සහ ගැටලු වළක්වා ගැනීමටත් උපකාරි වේ. රාත්‍රියේදී මුහුණ පිරිසුදු කර මොයිස්චරයිසර් ආලේප කිරීම වැනි මූලික කටයුතු කල්තියා කර තැබීමෙන් උදෑසන ගතවන කාලය අවම කර ගත හැකිය.

ආකර්ෂණීය දෙනෙතකට

කාර්යබහුල අවස්ථාවලදී මුළු මුහුණටම වැඩි කාලයක් යෙදීම වෙනුවට ඇස්වලට හෝ තොල්වලට පමණක් වැඩි අවධානයක් යොමු කිරීම කාලය ඉතිරි කර දෙන ප්‍රබල උපක්‍රමයකි. උදාහරණයක් ලෙස ඇස්වලට තද වර්ණ සහ අයි ලයිනර් යෙදුවා නම් තොල් සඳහා ළා පැහැති ආලේපනයක් (නියුඩ් හෝ ළා රෝස පැහැය) යොදන්න.

නාදළුවන් දෙතොලකට

එමෙන්ම තොල් සඳහා තද වර්ණයක් තෝරාගත්තා නම් ඇස්වලට සරල මස්කාරා (Mascara) පමණක් ප්‍රමාණවත් වේ. තවද එකම ආලේපනයකින් කාර්යයන් කිහිපයක් ඉටු කරගත හැකි නිෂ්පාදන භාවිතයට ගැනීම ද වැදගත්ය. උදාහරණයක් ලෙස බ්ලෂ් ලෙස භාවිත කරන ක්‍රීම් (Cream Blush) වර්ගයක් තොල්වලට සහ ඇස්වලට ද යෙදිය හැකිය. එමෙන්ම ෆවුන්ඩේෂන් (Foundation) වෙනුවට බී.බී. ක්‍රීම් (BB Cream) හෝ සී.සී. ක්‍රීම් (CC Cream) භාවිත කිරීමෙන් එක්වරම තෙතමනය, හිරු ආවරණය සහ මුහුණේ වර්ණය ගළපා ගැනීමේ කටයුතු කරගත හැකිය.

 

විනාඩි 10න් ආකර්ෂණීය මේකප් නිමාවක් සඳහා සරල පියවර

සීමිත වේලාවක් තුළදී උත්සවයකට ගැළපෙන මේකප් එකක් දමා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සරලම පියවර මෙසේය. මේ සෑම පියවරකටම විනාඩි 1-3ක් පමණක් වෙන් කරන්න.

පළමුව සම සූදානම් කිරීම

(විනාඩියක් පමණ) සිදු කරන්න. හොඳින් මුහුණ පිරිසිදු කර මොයිස්චරයිසර් සහ ප්‍රයිමර් (Primer) එකට මිශ්‍ර කර ආලේප කරන්න. කාලය නැත්නම් මොයිස්චරයිසර් යෙදීමෙන් පසු කෙළින්ම බී.බී. ක්‍රීම් යොදන්න. දෙවනුව පාදම සහ පැහැය සම කිරීම (විනාඩි 2) සඳහා බී.බී. ක්‍රීම් එකක් හෝ ඉතා සැහැල්ලු ෆවුන්ඩේෂන් වර්ගයක් ඇඟිලි තුඩු ආධාරයෙන් මුහුණ පුරා ඉක්මනින් ආලේප කරන්න. ඇඟිලි තුඩු භාවිත කිරීමෙන් බ්‍රෂ් හෝ ස්පොන්ජ් සේදීමට ගතවන කාලය ඉතිරි කර ගත හැකිය. ඇස් වටා ඇති අඳුරු පැහැය වසා ගැනීම සඳහා කොන්සීලර් (Concealer) ස්වල්පයක් පමණක් යොදා ඇඟිල්ලෙන් තට්ටු කරමින් සමට මිශ්‍ර කරන්න.

දෙවනුව පවුඩර් සහ බ්ලෂ් යෙදීම

(විනාඩි 2ක් පමණ) සිදු කළ යුතුය. මේකප් එක දියවීම වැළැක්වීම සඳහා ලූස් පවුඩර් (Loose Powder) හෝ කොම්පැක්ට් පවුඩර් (Compact Powder) යොදා මුහුණේ තෙල් සහිත ප්‍රදේශ (නාසය, නිකට, නළල) සීල් (Seal) කරන්න. ඉන්පසු පීච් (Peach) හෝ ළා රෝස පැහැති බ්ලෂ් ස්වල්පයක් කම්මුල්වලට යොදන්න. බ්ලෂ් පමණක් යෙදීමෙන් මුහුණට නැවුම් පෙනුමක් ලබා ගත හැකිය. සිව්වනුව ඇස් සහ ඇහි බැමි සකස් කිරීම (විනාඩි 3) සිදු කරන්න. ඇස්වලට මේකප් කිරීමේදී අයි ෂැඩෝ (Eye Shadow) වෙනුවට ළා දුඹුරු හෝ රෝස පැහැති බ්ලෂ් ස්වල්පයක් ඇස් පියන මත ආලේප කරන්න. එමඟින් පෙනුමට සමබරතාවක් ලැබෙනු ඇත. ඉන්පසු ඇහි බැමි පෙන්සිල් එකක් භාවිතයෙන් ඉතා ඉක්මනින් ඇහි බැමිවල හිස්තැන් පමණක් පුරවන්න. ඇස්වලට තියුණු පෙනුමක් ලබා දීම සඳහා මස්කාරා තට්ටු දෙකක් යෙදීම ප්‍රමාණවත්ය. අයි ලයිනර් ඇඳීමට වේලාවක් නැත්නම් තද දුඹුරු පැහැති අයි ෂැඩෝ එකක් ඇසේ ඉහළ පියනට සමීපව ඇඳීමෙන් ලයිනර් පෙනුමක් ලබා ගත හැකිය.

තෙවන පියවර වශයෙන් තොල් ආලේපනය සහ නිමාව

(විනාඩි 2ක් පමණ) සඳහා තොල් පැන්සලක් (Lip Liner) වෙනුවට කෙළින්ම තද වර්ණයෙන් යුත් ලිප්ස්ටික් එකක් හෝ ස්වාභාවික පෙනුමක් සඳහා ලිප් ටින්ට් (Lip Tint) එකක් යොදන්න. අවසානයේදී මේකප් එක හොඳින් රඳවා ගැනීම සඳහා සෙටින් ස්ප්‍රේ (Setting Spray) එකක් මුහුණ පුරා ඉසින්න. තවද උත්සවය දවසේදී ඔබ වෙනදාට වඩා විනාඩි 15ක් පමණ වේලාසනින් අවදි වී එම කාලය මේකප් කිරීම සඳහා පමණක් වෙන් කරන්න. උත්සවයකට අවශ්‍ය සියලුම ආලේපන සහ උපකරණ එකම ස්ථානයක පිළිවෙළට තබා ගැනීමෙන් මේකප් ද්‍රව්‍ය සෙවීමට යන කාලය ඉතිරි කර ගත හැකිය.

කාලය අඩු වුවද මේකප් එක දිගු වේලාවක් පවත්වා ගැනීම සඳහා සරල පිළියම් කිහිපයක් උපකාරි වේ. මේකප් කිරීමට පෙර අයිස් කැට කිහිපයක් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා මුහුණේ තැබීමෙන් සමේ සිදුරු වැසී යෑමට උපකාරි වන අතර එමඟින් මේකප් එක දියවීම අවම කරගත හැකිය. ෆවුන්ඩේෂන්/බී.බී. ක්‍රීම් ආලේප කිරීමෙන් පසු පවුඩර් භාවිතයෙන් තෙල් සහිත ප්‍රදේශ හොඳින් මුද්‍රා තැබීම අත්‍යවශ්‍ය වේ. මේකප් කිරීමේ අවසාන පියවර ලෙස සෙටින් ස්ප්‍රේ එකක් මුහුණ පුරා ඉසීමෙන් මේකප් එක දියවීමකින් හෝ මැකී යාමකින් තොරව උත්සවය අවසන් වන තෙක්ම නැවුම්ව පවත්වා ගත හැක. උත්සවය අතරතුරදී මුහුණේ තෙල් ගතියක් හෝ දිලිසීමක් ඇති වුවහොත්, බ්ලොටින් පේපර් (Blotting Paper) භාවිතයෙන් මෘදුව තෙල් උරා ගන්න. තොල් ආලේප කිරීමට පෙර තොල් වර්ණක පැන්සලකින් ඔබ තෝරා ගත් ලිප්ස්ටික් එකක් සහ කුඩා කැඩපතක් අතේ තබාගෙන අවශ්‍ය විටෙක අලුත් කරන්න.

කාර්යබහුලත්වය යනු ඔබේ සුන්දරත්වය අත්හැරීමට හේතුවක් නොවේ. නිවැරදි සැලසුමකින් කාලය ඉතිරි කර දෙන සරල ක්‍රමවේද සහ බහු-කාර්ය ආලේපන භාවිතයෙන් ඔබට රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උදවු නොමැතිව, ඉතා කෙටි වේලාවක් තුළදී ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැකිය. ඔබේ කාලය නිවැරැදිව කළමනාකරණය කර ගනිමින් ඔබ තුළම සිටින රූපලාවණ්‍ය ශිල්පිනිය අවදි කර ගැනීමට උත්සාහ කරන්න.

TEXT දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?