Monday, November 24, 2025
Epaper
Home කලා ලොව“මට ඒ චරිතයෙන් පෙන්නේ මගේ අම්මාගේ අම්මාව…”

“මට ඒ චරිතයෙන් පෙන්නේ මගේ අම්මාගේ අම්මාව…”

ප්‍රවීණ රංගන ශිල්පිනි කෞෂල්‍යා ප්‍රනාන්දු

by Shanaka Lakehouse

මෝඩ තරිඳු යනු මේ දිනවල අපේ රටේ සිනමා රසික හදවත් දිනාගත් චිත්‍රපටයක්. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින් ලියූ පිටපතක් ඇසුරින් නිමැවුණු මෝඩ තරිඳු චිත්‍රපටයේ වඩාත් ආකර්ෂණීය චරිතයක් ලෙස ගු ණවතී ආච්චිගේ චරිතය පෙන්වා දිය හැකියි. මේ චරිතයට පණ පොවන්නේ අපේ රටේ බිහි වූ දක්ෂ චරිතාංග නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දුයි. ප්‍රවීණ කලා ශිල්පිනියක්, නාට්‍යවේදිනියක් වන සෝමලතා සුබසිංහගේ දියණිය වන ඇය මෝඩ තරිඳුගේ ආච්චිගේ චරිතය හරහා සුවහසක් සිනමා රසිකයන්ගේ හදවත් සොරගෙන කීවොත් වැරදි නෑ. මේ ඇය සමඟ තරුණි අප කළ සුහද පිළිසඳරක්.

රංගනයේදී අම්මාගෙන් ලැබුණු ආභාසය ගැන කතා කළොත්..

ඒ කාලයේ ගැහැනියක් කලාවට අවතීර්ණ වීම සමාජයේ එතරම් පිළිගත් දෙයක් නොවේ. එක් පැත්තකින් අම්මාගේ මවුපියන් ගුරුවරු. අපේ අම්මා උපාධිධාරිනියක් ලෙස ගුරුවරියක් වෙලා එකල සමාජය පිළිගත් ආකාරයෙන් හිඳිවී යැයි ඔවුන් විශ්වාස කළා. ඒත් ඊට හාත්පසින් වෙනස් මඟක ගමන් කරමින් කලාව වෙනුවෙන් අපේ අම්මා කැප වුණා. එය කළේ දැඩි ආත්ම විශ්වාසයක් සමඟ බොහොම ශක්තිමත්වයි. ඒ ගැන අම්මා පසුතැවීමක් හෝ නැවත හැරීමක් වුණේ නෑ.

ඉතින් අපේ අම්මා මේ කලා වෘත්තියට දිය යුතු ගෞරවය දෙමින් නොනවත්වා කරගෙන ආවා. ඇත්තටම මගේ වෘත්තියත් ආපසු නොහැරී ආත්ම විශ්වාසයෙන් කරගෙන යන්නට එය ආභාසයක් වුණා.

ඔබ පුංචි කාලයේ ගෙදර පරිසරය පුංචි වේදිකාවක් හා සමාන වෙන්න ඇති..

ඔව්.. ඒ කාලයේ ගෙදර කලාගාරයක් විශ්වවිද්‍යාලයක් වගේ තමයි. නාට්‍යකරුවෝ, චිත්‍රපටකරුවෝ, සංගීත අධ්‍යක්ෂවරු නිතරම වගේ අපේ ගෙදර එනවා. ඔවුන් අපි එක්කත් කතා කරනවා. ඉතින් අපි හැදුණේ වැඩුණෙත් එවන් පරිසරයක. එයත් මගේ කලා ජීවිතය පෝෂණය වන්නට නිබඳවම බලපෑවා.

අම්මාගේ මඟ ගිය ඔබ තාත්තාගේ මඟ නොගියේ ඇයි?

අපේ තාත්තා පරිපාලන නිලධාරියෙක්. තාත්තාගේ වෘත්තියට මාව යොමු කරවන්න තාත්තාගෙ උත්සාහයක් තිබුණා. ඔහු උනන්දු වුණේ මාව විදේශ සේවයට යොමු කරන්නයි. ඒත් අම්මා ඊට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ඇය නිතරම කීවේ මම ලංකාවේ ජීවත් වෙමින් අපේ රටට සේවය කළ යුතු බවයි. එය අපේ තාත්තට ප්‍රශ්නයක් වුණේ නෑ. මොන ආකාරයෙන් හෝ මගෙන් රටට සේවයක් වෙනවා නම් එය තාත්තාගේත් බලාපොරොත්තුව වුණා.

ඔබේ මවට වගේම ඔබට කලාවෙන් මෙතරම් දුර ගමනක් එන්නට නම් තාත්තාත් කලාවට බොහෝ ආදරය කළ කෙනෙක් විය යුතුයි කීවොත් මං නිවැරදිද?

ඔව්. අපේ තාත්තාගෙ නම ලයනල් ප්‍රනාන්දු. ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ සරච්චන්ද්‍ර මහත්තයා යටතේ නාට්‍ය සංගමයක හෝ කලා සංගමයක භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබුණා. අපේ අම්මාව තාත්තාට හමු වන්නේ ඒ කාලයේදීයි. මගේ පියා පළමුවැනි ‘මනමේ’ නාට්‍යයේ වැදි දෙටු චරිතය රඟපාලත් ති‌බෙනවා. මහගෙදර සහ තිලක සහ තිලකා යන චිත්‍රපටවල පවා තාත්තා සුළු චරිත රඟ දැක්වුවා. ඒ වගේම අම්මාට නාට්‍ය නිෂ්පාදනය කරන්නට ණය අරගෙන දීලා ඇගේ කලා ජීවිතයට ඔහු විසල් ශක්තියක් වුණා.

මෝඩ තරිඳු චිත්‍රපටයේ ආච්චිගේ මුහුණේ ස්වරූපයෙන් ඔබේ මවගේ මුහුණ මැවෙනවා කියලා ඇතැම් ප්‍රේක්ෂකයන් කියනවා. ඒ ගැන ඔබේ අදහස…

ඇත්තටම ඇතැමුන් එසේ කියනවා. හැබැයි මට නම් එබන්දක් පෙනෙන්නේ නෑ. මට ඒ චරිතයෙන් පෙනෙන්නේ මගේ අම්මාගේ අම්මාව. ඒ කියන්නේ මගේ ආච්චිව මේ චරිතයෙන් මැවෙනවා කීවොත් නිවැරදියි.

චරිතාංග නිළියක් විදිහට මෝඩ තරිඳු චිත්‍රපටයේ ආච්චිගේ චරිතයේදී ඔබ කවුරුන් හෝ අනුකරණය කළාද?

ඇත්තටම චිත්‍රපටයේ පිටපත කියවා මම එ් චරිතය ගැන හැදෑරුවා. එහිදී මට විවිධ චිත්ත රූප මැවුණා. එතකොට මට මගේ ආච්චිවත් මතක් වුණා. ඉතින් මේ චරිතයේදී මට සුදු කොණ්ඩයක් දැම්මා. මගේ ආච්චිගෙත් කොණ්ඩය සුදුම සුදුයි. ආච්චි නිතරම ඔසරිය ඇන්දා. ඉතින් මේ චරිතය කරද්දී මට නිතරම ආච්චිව සිහිපත් වුණා. මම මෙහිදී වාඩි වෙලා උන්නු ආකාරය, කතා කළ අයුරු, ඇඳේ නිදාගෙන උන්නු ආකාරය අපේ ආච්චි වගේ කීවොත් නිවැරදියි. හැබැයි එය අනුකරණය නොවේ. චරිතය රඟ පාද්දී අපේ ආච්චි මගේ ඇඟ ඇතුළේ හිටියා කීවොත් වැරදි නෑ.

ඔබ විවිධ චරිත රඟ පෑ අයෙක්. මේ චරිතය ඔබ රඟ පෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. ඒ වෙනස ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම මම විවිධ චරිත රඟපාන්න කැමැතියි. එහෙම බලද්දී මේ චරිතය මට අභියෝගයක් වගේම රසවත් අත්දැකීමක් වුණා. අපේ වයස අනුව දැන් අපට රග පාන්න ලැබෙන්නේ අම්මාගේ චරිත. මෙය ආච්චි කෙනෙක්ගේ චරිතයක් වුණාට සාමාන්‍ය ආච්චි කෙනෙක්ගෙ චරිතය අබිබවා යෑමක් මෙහි දක්නට ලැබුණා. මෙය විහිළු සපයන්නම කළ චරිතයක්ම නොවේ. එය ලොකු පරාසයක විහිදුණු සංකීර්ණ වැඩක්. ඉතින් මෙවන් චරිතයක් රඟපාන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක ආච්චි කෙනෙකුගේ චරිතයක් තරුණ පරපුර වැලඳ ගන්නේ බොහොම අඩුවෙන්. ඒත් මේ චරිතය වැලඳ ගත්තේම රටේ තරුණ පරපුරයි. ඒ ගැන ඔබේ අදහස…

ඇත්තටම ආච්චි කෙනෙකුගේ චරිතයක් තරුණ පරපුර වැලඳ නොගන්නා තරම්. ඒ අනුව බලන කල එයට පිටපතේ සහ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව බලපෑවා කීවොත් නිවැරදියි. මෙය අප හැමදාම දකින සාමාන්‍ය නිර්මාණයක් නොවේ. පරිකල්පනය භාවිත කර ඉතා දක්ෂ ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා. තරුණ පරපුර මේ ආච්චිව වැලඳ ගන්නට එයත් බලපෑවා.

අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි ප්‍රවීණයන් එක්ක වැඩ කළ ඔබ මෙහිදී තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරද්දී දැනෙන හැඟීම ගැන කීවොත්..

ඇත්තටම මීට පෙරත් මම තරුණ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් මේ චිත්‍රපටය ඊට වඩා ටිකක් වෙනස්. මෙහි අධ්‍යක්ෂ තිසර මගේ මිත්‍රයෙක්. ඔවුන් සමඟ වැඩ කිරීම මට වෙනස් අත්දැකීමකුත් වුණා. මෙහි රඟ පෑ බොහෝමයක් තරුණ පිරිස්. අපි සැහැල්ලුවෙන් මෙහි රඟ දැක්වීම් කළත් මෙය බැරෑරුම් වැඩක් යන සිතිවිල්ල අත්හැරියේ නෑ. අපි හැම දෙනාගේම යහළු මිත්‍රකම් නිසාම මෙය හොඳින් කළ යුතු යැයි යන සිතිවිල්ල අපේ සිත්වල තිබුණා. ඒ වගේම නව පරපුර හිතන පතන විදිහ වෙනස් නිසාම ඔවුන් සමඟ වැඩ කරන්න මං ආසයි.

සිනමාව, වේදිකාව, පුංචි තිරය ඔබ ජයගෙන තිබෙනවා. මේ තුනම ඔබ සමබරව ගෙන යන්නේ කොහොමද?

එහි ලොකු විශේෂයක් නැතැයි මට හිතෙනවා. ඒත් මෙම අංශ ත්‍රිත්වයේම මං කළ චරිත නිසා මාව ඉස්මතුව පෙනෙන්න ඇති. සමහර චරිත ඇතැම් නිළියෝ රඟ පාන්න කැමැති වුණත් සංස්කෘතික විරෝධතා නිසා ඒ අභියෝග භාර නොගත් අවස්ථා තිබුණා. එහෙත් මම ඒ සංස්කෘතික බලපෑම්වලට බය නොවී ඒ චරිත රඟපෑවා. ඒ නිසා ප්‍රේක්ෂකයාට මාව හොඳින් මතකයි.

මේ චිත්‍රපටයේ ආච්චි කෙනෙක්ගේ චරිතය මේ විදිහට රඟපාද්දී ඇතැමුන් සංස්කෘතික විරෝධතා මතු කරන්නට පුළුවන්. ඒවාට ඔබ ලබා දෙන පිළිතුර මොකක්ද?

මම රඟපාන්නේ චරිතයක්. මෙහි ඉන්නේ මා නොවේ. මේ චරිතය අනුව ආච්චිගේ චරිතයට අදාළ දේ නොකර ඉදිරියට යා නොහැකියි. ඉතින් සාමාන්‍යයෙන් චරිත රඟ දැක්වීම අපේ වෘත්තිය. අප කැමැති නම් එය භාර ගන්නවා. මගේ වෘත්තියට අනුව මගේ රැකියාව කරනවා. හැබැයි ඒ මම නොවෙයි වෙනත් චරිතයක්. කෙටියෙන් කීවොත් එය රංගනයක්.

ආකාස කුසුම්හි මල්ලිකා, බොරදිය පොකුණේ ගෝතමී, මෝඩ තරිඳුගේ ගු ණවතී ඇතුළු ඔබ රඟදැක්වූ චරිත අතරින් ඔබ කැමැතිම චරිතය මොකක්ද?

ඇත්තටම මම කැමැතිම චරිතය බොරදිය පොකුණේ ගෝතමී චරිතය. ඒ තරම් ලොකු පරාසයක කාන්තා චරිතයක් රඟපාන්නට ලැබීම මාගේ රංගන දිවියේ ලොකු වාසනාවක් ලෙස මං දකිනවා. ඊට පස්සේ මේ චරිතයට මම වඩාත් කැමැති මෙහි තිබෙන විවිධත්වය නිසාමයි. වයස අබිබවා ගොස් කරන වැඩ දිහා බලද්දී මෝඩ තරිඳුගේ ආච්චි චරිතය බොහෝම රසවත් චරිතයක්.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?