අම්මාගේ ආදරයට උපමා කොතෙක් ඇතත් ඒ උපමා උපමාවක්ම පමණක් යැයි සිතෙන තරමට අම්මාගේ ආදරය නිමක් නැති බව කිව යුතුයි. අප හිසට ඉහළින් අතොරක් නැතිව විහිදෙන පැතිරෙන මහා අහස් ගැබ, මුළු ලෝකයේම ජලය වුව දරා ගැනීමට තරම් ශක්තියක් ඇති සප්ත මහා සාගරය, අප සියලු දෙනා දෙපයින් සිට ගන්නා මහා පොළෝතලයටත් වඩා ඇගේ ආදරය දිගය. එය මැනිය හැක්කක් නොවේ. අම්මලා දරුවන් ගැන සොයා බලන, කතා කරන තරමට, දරුවන් මවුවරුන් ගැන සොයා නොබලන කාලයක තරුණි අප මවුවරුන් ගැන කතා කරන අම්මාවරුනේ වේදිකාවට අද ගොඩවුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි කෝට්ටේගොඩයි. ඇය ඇගේ අම්මා ගැන අපූරු කතා රැසක් අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.
මගේ අම්මා ඇන්.ඇම්. ගුණවර්ධන. අද මං මෙතැන ඉන්නේ මගේ අම්මා නිසයි. අපේ අම්මා ඉස්කෝලේ ගියේ දෙකේ පන්තියට විතරයි. ඇය පාසල් අධ්‍යාපනයෙන් ඉහළට නොගියත් එදා ඇයට තිබුණු දැනුම අද තාක්ෂණයෙන් පිරිපුන් ලෝකයක ජීවත් වන මට නැතැයි මා විශ්වාස කරනවා. සමාජයෙන් ලද අත්දැකීම්වලින් පරිපූර්ණ අපේ අම්මලා සතු වූ දැනුම අති මහත්. ඇය දුර දක්නා නුවණින් මට එදා දුන් අවවාද, උපදේශ ගැන මට වැටහෙන්නේ අදයි. එහෙත් එදා මං ඒ අවවාද පිළිගත්තේ නෑ. මං වැඩිහිටියෙක් වෙලා මවක් වුණාම එදා අම්මා දුන් අවවාදවල වටිනාකම තේරුම් ගත්තා. ඇත්තටම ඒ නිසාම අම්මා නැති අඩුව එදාට වඩා අද මට දැනෙනවා.
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා – නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් – සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ
බණ කතාවක් මෙන් ලස්සනට පද ගළපමින් ආදරණීය ප්‍රේමකිර්ති අම්මා ගැන ප්‍රේමණීය පද ඇමිණුවේ ඒ ආකාරයෙනි. අම්මලා දරුවන් පරිස්සම් කරන්නේ හදන්නේ වඩන්නේ මල් වගේ ළපටි අත් පා හොඳින් හැඩ ගස්වමිනි. ප්‍රේමකීර්ති ගීයක අමුණන ඒ පද ඇසෙන විට අප හැම දෙනාටම අම්මා සිහි වන්නේ නිතැතින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුංචි සන්දියේදී පුංචි නිල්මිණිව ඇගේ අම්මා විසින් ආදරයෙන් පරිස්සම් කළ හැටි ඇය අපට සිහිපත් කළේ ප්‍රේමකිර්තිගේ ඒ ප්‍රේමණීය පදවැල් සිහි ගන්වමින්. අම්මා මාව හරියට පරිස්සම් කළා. පුංචි කාලේ මාව අවට සමාජයෙන් පරිස්සම් කරන්නට අල්මාරියේ දාලා සඟවපු අවස්ථාත් තිබුණා. අපි ජීවත් වුණේ පැපිලියානේ කුලී ලෑලි ගෙදරක. ඒත් අදටත් මං අපේ දුප්පත්කමට ගොඩක් ආදරය කරනවා. මිල මුදල් නැති වුණත් එතැන ලොකු සමගියක්, ආදරයක් තිබුණා.
ආදරයෙන් වෙළුණු පෙම්වත් යුවළක් යුගදිවි ප්‍රාප්ත වූ සැණින් බිරිඳ සිය පළමු බත් පිඟාන වෙන් කරන්නේ සැමියාට බව අමුත්තක් නොවේ. එහෙත් දෙන්නා තුන් දෙනා වෙද්දී පවුලක සුරතල් දරුවකුගේ සෙනෙහස දෝරේ ගලද්දී මවක ලෙස ගෙදර බත් මුට්ටියේ පළමු හැන්ද වෙන් කරන්නේ දරුවන්ටය. සැමියා සමඟ බිරිය කුසගින්දරේ පසු වුවත් ඒ බව දරුවන්ට නොදන්වන මවුපියෝ දරුවන්ව පෝෂණය කරති. මේ නිල්මිණි ඇගේ මව පියා, ඇය සහ සොහොයුරන්ගේ කුස ගින්දර නිවූ හැටි අපට කියූ ආකාරයයි.
මට මල්ලිලා දෙන්නෙක් හිටියා. හැත්තෑව දශකය කියන්නේ අපේ රටේ හැමෝටම වගේ අමාරු කාලයක්. ඒ කාලයේ අපි වෙනුවෙන් අපේ තාත්තා අම්මාත් නොවිඳපු දුකක් නෑ. ගහල, වට්ටක්කා වැනි එළවළු තම්බලා කාලා අපි දවස ගත කරපු අවස්ථා අනන්තයි. ඒත් අපේ අම්මා තාත්තා අපිව කවදාවත් බඩගින්නේ තිබ්බේ නෑ.
දියණියක ලෙස අම්මා සමඟ ඇති අත්දැකීම් නිල්මිණි විසින් විස්තර කළේ මේ ආකාරයෙනි.
මමයි අම්මයි රණ්ඩු වුණු අවස්ථා එමටයි. අම්මාගේ සමහර හැසිරීම් මට රුස්සන්නේ නෑ. මම ගේ අස්පස් කරලා තිබ්බොත් අම්මා ගේ හැඩි කරනවා. එතකොට ඉතින් අපි දෙන්නා අතර මත ගැටුම්. පුංචි නිෙවසක් වුණත් මට ඒ නිෙවස පිළිවෙළට ලස්සනට තියා ගන්න වුවමනාවක් තිබුණා. ඔය වගේ පුංචි දේවල්වලට අම්මායි මායි රණ්ඩු වෙනවා. ඉතින් ඒ වගේම අපි තරුණ කාලයේ හරි අපූරු සිදුවීමක් වුණා. අපේ අම්මායි මායි තරහා වුණු වෙලාවක මං ගෙදර උඩ තට්ටුවේත් අම්මා පහළ තට්ටුවේත් හිටියා. මේ දවස්වල අම්මා වයස්ගත වුණත් ඇය හිටියේ හොඳ සිහි කල්පනාවෙන්. ගෙදර කාටවත් දාන්න බැරි ටිකක් ලොකු තොප්පියක් මේ කාලයේ අපේ ගෙදර තිබුණා.
අපේ අම්මා අව්වට වගේම වැස්සට දාන්නෙත් ඔය තොප්පියයි. අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් අපේ ගෙදර කෑම කන්නට ඇවිත් කෑමට පෙර උඩ බැල්කනියේ ඉඳන් අත සේදුවා. ඉතින් පහළ හිටපු අම්මාගේ ඔළුවේ ඉඳන් වතුර. හැබැයි අම්මා හිතලා තියෙන්නේ එකපාරටම වැස්සක් කඩා පාත් වුණා කියලයි. එකපාරටම අර තොප්පියත් දාගෙන අපේ අම්මා ගිනි ගහන අව්වේ ගේ ඉස්සරහ වැලේ වනලා තිබුණු රෙදි අකුළපු හැටි මට අද වගේ මතකයි.
දස මසක් කුසයේ වැඩෙමින් බඩවැලද කඩාගෙන මෙලොව උපදින දරුවන් නිසා මවුවරු විඳින දුක සතුටක් ලෙස දරා ගැනීමට පෙලෙඹෙන්නේ නිතැතිනි. සිය කුසයේ වැඩෙන සිය ලෙයින් උපන් කිරි උරා බිව් දරුවාට සිය හැකියාවන් අවශෝෂණය වන්නේද නිරායාසයෙනි. මේ සිය මවගෙන් නිල්මිණි ලද දායාදයකි.
අපේ අම්මාට ලස්සනට කවි කියන්න පුළුවන්. නැළවිලි කවි මිහිරි ලෙස ගායනා කරන්නට අපේ අම්මාට පුළුවන්. ඒ නැළවිලි ස්වරයට පුංචි ළමයෙක් නොව අපිටත් නින්ද යනවා. ඉතින් ඒ කටහඬ මටත් ලැබෙන්න ඇති. මට සින්දු කියන්නට පුළුවන්. ඒත් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. ඉතින් එය මං අපේ අම්මාගෙන් ලැබූ ආභාෂයක් යැයි විශ්වාස කරනවා. අද මං මෙතැන ඉන්නේ අම්මා නිසයි.
තම ලෙයින් උපන් දරුවෙක් එසේ කියන්නේ නම් එය මවකට කොතරම් ආඩම්බරයක්ද? අභිමානයක්ද? මේ නිල්මිණි සිය මව ගැන කියන එවන් කතාවකි. ඇත්තටම තරුණ සේවා සභාවේ යෞවන සමාජයකට බලෙන් වගේ මාව ඇතුළත් කළේ අපේ අම්මායි. ඒ නිසාම මට ඒ හරහා පළමුවරට විදෙස්ගත වන්නට අවස්ථාවක් හිමි වුණා. ඒ අනුව එහිදී දැක්වූ දක්ෂතා අනුව මට කැනඩාවේ විදෙස් සංචාරයක් හිමි වූ බව කිව යුතුයි. ඒ කාලයේ ඉඳන්ම මාව පත්තරවල දකින්නට අම්මාට ලොකු වුවමනාවක් තිබුණා. ඒ කාලේ අපිට ටී.වී. තිබුණේ නෑ. අපේ ගෙදරට කළු සුදු ටී.වී. එකක් ගෙනාවෙත් අම්මා අපෙන් සමුගන්න සුළු කාලයකට පෙරයි. ඇය මාව ටී.වී. එකෙන් දැක්කාම ඒ ගැන ආඩම්බරයෙන් කියවන හැටි මට අද වගේ මතකයි. ඇය අද හිටියා නම් ගොඩාක් සතුටු වේවි.
ජීවිතේ මතුවන ප්‍රශ්න අභියෝග මව සමඟ පැවසීමට දරුවන් මැළි නොවුණත් නිල්මිණි ඒ ගැන අප හමුවේ කීවේ මෙවන් අදහසකි.
ජීවිතේ ප්‍රශ්නයක් ඇති වුණොත් මං අපේ අම්මාට කියන්නේ නෑ. ඒ් වෙලාවට ඒ ප්‍රශ්නය පැත්තකින් තියලා ඇය මට බණිනවා ඒකාන්තයි. ඒ නිසා මං අම්මාට කවදාවත් මගේ ප්‍රශ්න කීවේ නැති තරම්.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
