Monday, November 24, 2025
Epaper
Home Highlightsදරුවන් සමඟ ගනුදෙනුව අමුතු කලාවකි

දරුවන් සමඟ ගනුදෙනුව අමුතු කලාවකි

විභාග ලියන දරුවෝ ඉන්න අම්මලා කියවිය යුතුම ලිපියක්

by Shanaka Lakehouse

පසුගිය දිනවල මෙවර උසස් පෙළ විභාගයට ලියන දරුවන් දෙදෙනෙක් විභාගය නිසා ඇතිවූ දැඩි මානසික පීඩනයෙන් ගත් ඉතාම වැරදි තීරණ දෙකක් නිසා තරුණි අපි මවුපියන් සඳහා මේ ලිපි මාලාව ලියන්න තීරණය කළා.

පාසල් යන වයසේ විභාග ලියන දරුවන් ඉන්න සෑම මවුපියෙක්ම මේ ලිපිය කියවනවා නම් තමයි හොඳ.

මෙවර උසස් පෙළ ලියන දරුවන් අතරින් හරිම කනගාටුදායක සිදුවීමක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුවියක පාඩම් මේසය මතදී මියගොස් සිටියදී හමුවීම නිසා. එය සියදිවි හානිකර ගැනීමක් බවට තහවුරු වී ඇති බව මා දුටුවා. මේ දරුවා මොන තරම් මානසික පීඩනයක ඉන්න ඇතිද ? මවුපියෝ විදිහට අපි හැමෝම මේ වගේ දරුවන් ගැන විශේෂ අවධානයකින් ඉන්න ඕන.

කොළඹ ප්‍රදේශයේ තවත් දරුවෙක් විභාගය ලියන අතරතුරම තුන්වැනි මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබුණා. මේ වගේ දරුවන් කොපමණ සිටිනවා ඇද්ද? ප්‍රශ්න පත්‍රයට ලියන්න පෙර හෝ ලියන අතරතුර හෝ ලියා අවසන් වූ පසු සියදිවි නසා ගැනීමට හිතෙන දරුවන් කොපමණ සිටිනවා ඇතිද?

මානසික පීඩනය

අ.පො.ස උසස් පෙළ පමණක් නෙවෙයි ශිෂ්‍යත්ව විභාගය හා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලියන බහුතරයක් දරුවන් විභාග පීඩනයෙන් දැඩි ලෙස පීඩා විඳින බව අප වෙත සහනය පතා එන දරුවන්ගෙන් පැහැදිලි වේ. දරුවන් පමණක් නොව මවුපියන් ද දැඩි ලෙස මානසික පීඩාවෙන් පසුවන බව දිනපතා අප වෙත එන ගැටලුවලින් තේරුම් ගත හැකිය.

මං හිතන්නේ සතුටින්ම පාසල් ගිය අවසන් දරුවන් ඉපදෙන්න ඇත්තේ 90 දශකයට පෙරය. එදා දරුවන් නි‍ෙවසේදී වැඩිහිටියන්ගේ සෙනෙහස ලබමින් ගම් ගොඩවල්වල සෙල්ලම් කරමින් ඇළේ දොළේ කල්ගෙවමින් කුඹුරු වතුපිටිවල නිදහසේ සෙල්ලම් කරමින් කාලය ගෙව්වා සේම පාසල ද අතිශයින්ම නිදහස් තැනක් විය. ගෙදර වැඩ බරක් නොවීය. මවුපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය මත මහා බලාපොරොත්තු කන්දක් නොවීය. ඒ නිසාම හැමෝම ජීවත් වූයේ අතිශයින්ම නිදහස් හා සරල සාමකාමී දිවි පෙවෙතකය. ඒ නිසාම ඉගෙනීමට තරම් සුදුසු මානසික නිදහසක් දරුවන්ට තිබුණේය.

ඒ දවස්වලත් යම් යම් ආකාරයෙන් දරුවන් අතර තරගයක් නොතිබුණාම නොවෙයි. නමුත් අද වන විට මෙය දරුවන් අතරට ළමා විෂාදය ඇතිවන මට්ටමට පැමිණීම හරිම කනගාටුදායක කාරණයක්. දරුවන්ට සිනාසෙන්නට කාලයක් නැත. විනෝද ගමනක් යාමට, කන්දක් නැඟීමට, සරුංගලයක් හදා උඩ යැවීමට කාලයක් ඇත්තේම නැත. පාසල් යාම උපකාරක පන්ති යාම සහ පාඩම් කිරීම හැර දරුවාට වෙනත් කාරණයකට සම්බන්ධ වීමට තරම් කාලයක් ඇත්තේ නැත. මවුපියන් සමඟ මළ ගෙදරකට, දානෙ ගෙදරකට, මඟුල් තුලාවකට සම්බන්ධ වුවත් ඉතාම ඉක්මනින් එතැනින් පිටව එන්නේ උපකාරක පන්ති යාමට ඇති වේලාව මඟහැරේ යැයි සිතන නිසාය.

මවුපිය සිතුවිලි

නමුත් ඇත්තම කාරණය වන්නේ මවුපියන් සිතිය යුත්තේ පැයක දෙකක උපකාරක පන්ති වේලාව නොව තමාගේ පවුලේ සාමාජිකයන් සමඟ දරුවා කල්ගෙවන අවස්ථාවේ ඔවුන්ගේ දුක සැප බෙදා ගැනීමට අලුත් සම්බන්ධකම් ගොඩනැඟීමට තමාට වඩාත් සමීප සොයුරු සොයුරියන් සමඟ කල් ගෙවීමට ඇති කාලය මඟහැරියාමයි. සමහර විට දරුවා විශාද ලක්ෂණවලින් පසුවන්නේ නම් තමාගේ දුක කීමට මානසික අපහසුතාව ප්‍රකාශ කිරීමට පවුලට සම්බන්ධ සාමාජිකයෙකුගේ හෝ සාමාජිකාවකගේ ඇසුර ගොඩ නඟාගැනීමයි. මවුපියන් ලෙස ඔබ නොසිතුවත් ඥාති හිත මිත්‍රාදීන් එකතු වන අවස්ථා වැඩිකර දීමෙන් දරුවා මුහුණ දෙන මානසික පීඩාව සංසිඳවා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇත. බොහෝ මවුපියන් ඥාති හිත මිත්‍රාදීන් එකතු වන තැන්වලට ඔබේ දරුවා කැඳවා නොයන්නේ උපකාරක පන්ති මඟහැරේ යන බියෙනි. පැය දෙකක ඉගෙනුමෙන් ලබන දැනුමට වඩා තම යහළු යෙහෙළියන් එකතු වීමෙන් ලැබෙන සතුට සහ මානසික නිදහස දරුවාගේ බුද්ධිමය සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

මවුපියෙක් ලෙස ඔබට දරුවෙක්ගේ විෂාදය ලක්ෂණ මොන විදිහට එළියට එනවද කියලා ඔයාට හඳුනාගන්න පුළුවන් ද? එවැන්නක් හඳුනා ගැනීමට තරම් මවුපියන් පරිණත වීම අතිශයින්ම වැදගත් වේ.

“මේකාට තියෙන්නෙ කම්මැළිකම! දවසම ෆෝන් එකේ!” මේ ළමයා වෙනදා වගේ නෙවෙයි මතකද ඉස්සර කොච්චර දැඟලුවද කොච්චර නම් සෙල්ලම් කළාද සෙල්ලමෙන් ගෙට ගන්න කොච්චර මහන්සි වුණාද? පුංචි කාලේ හරිම දඟයා. එක මොහොතක් නිකම් හිටියේ නෑ. බොහෝ මවුපියන් මෙහෙම කියනවා අහල තියෙනවද?

ඔබේ දරුවත් මේ හා සමානවම වෙනස් වී ඇත්නම් ඉතාම ඉක්මනින් දරුවා කෙරෙහි සංවේදී වන්න. බොහෝ විට තමන්ටම ප්‍රකාශ කර ගත නොහැකි කිසියම් අපහසුතාවකින් පීඩා විඳිනවා විය හැකිය. ඉන් මිදීම සඳහා ෆෝන් එක භාවිත කරනවා විය හැකිය. මෙහෙම දරුවෙක් දුටු වහාම මවුපියන් හැකි ඉක්මනින් ඔහුට ළං වී සැබෑ කාරණය සොයා ගැනීමට කටයුතු කළ යුතුය. නැත්නම් සුදුසුකම් සහිත උපදේශකවරයකු වෙත යොමු කළ යුතුය.

“ඉස්සර වගේ ප්‍රැක්ටිස් යන්නෙත් නෑ, පාඩම් වැඩ කරන්නෙත් නෑ, මහන්සියි මහන්සියි කියල නිදාගන්න එකමයි වැඩේ. “

මඟ පෙන්වීම

බොහෝ මවුපියන් මේ විදිහට තමන්ගේ දරුවන් පිළිබඳව වෙනත් අය සමඟ කතා කරනවා ඔබ අහල ඇති. කරුණාකර ඉන් හැකිතාක් ඉක්මනින් දරුවා මුදා ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ඔබ ඔවුන්ට ලබා දෙන්න. සමහරවිට මේ ඔබේ දරුවා විය හැකිය. මෙම ලක්ෂණය ළමා විෂාදයේ මූලික ලක්ෂණයකි. මෙවැනි දරුවන් තවදුරටත් මවුපියන්ගෙන් කායිකව හා මානසිකව පීඩාවට පත් වන්නේ නම් අපි කිසිවකුත් නොසිතන අවස්ථාවක සියදිවි නසා ගැනීම සිදුවිය හැකිය.

දරුවන්ගේ හැසිරීම

“ඉස්කෝලෙ වැඩ එකක්වත් කරන්නෙ නෑ. ලකුණු ටිකත් හොඳටම බැහැලා. දවසම කොහේ හරි මුල්ලක් අල්ලගෙන කල්පනා කර කර ඉන්නවා. මුකුත් කිවුවොත් යකාට වගේ කේන්ති ගන්නවා… මට නම් හිතෙන්නෙ මේ ඔක්කොම කම්මැළිකමට කරන වැඩ.“

මේ තමයි දරුවන් පිළිබඳව මවුපියන් ගෙන් නිතර ඇහෙන්නට ලැබෙන අඳෝනාව. මේ අඳෝනාව දිගින් දිගටම දරුවන්ට ඇහෙන්නට සැලැස්වීමෙන් පවතින පීඩනයට වඩා වැඩි පීඩනයක් දරුවා මතට වැටෙනු ඇත. එන්න එන්නම දරුවාගේ හැසිරීම අසාමාන්‍ය විය හැකිය. විභාග කෙසේ වෙතත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමටවත් ඔබට නොහැකි වනු ඇත.

සෑම දරුවෙක්ම අත්දැකීම්වලින් ඉතා අඩු, ඒ වගේම අතිශයින්ම සංවේදී පුංචි කාරණයකින් පවා සැලෙන අහිංසකයින් පිරිසකි. දරුවා යනු වැඩිහිටියකු නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කුඩා දරුවෙකි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුත්තේ ඉතාම ප්‍රවේසමෙනි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?