පින්වත, අපි හැමෝටම පිරිවර සම්පත් ලබන්නට බැහැ. පින්වත, පෙර ජීවිතවල පුහුණු කළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය වගේම හැමෝගේම සහභාගිත්වයෙන් සහ උපකාරයෙන් පිරී ඉතිරී යන්න පින්කම් සිදු කිරීමේ ඵලයයි, පිරිවර සම්පත් කියන්නේ. පින්වත, සමහර පින්වතුන් සිටිනවා, තමන් පූජා කරන පිරිකර අනුනට අත ගස්සවන්නවත් කැමැති නැහැ. අනුන් අත ගැසුවොත් පින අඩු වෙයි කියලා හිතනවා. සමහරක් පින්වතුන් පිරිකර ගොඩාක් තනිවම ගෙනත් පූජා කරනවා. ඉන් එක පිරිකරක්, පිරිකරක් අතේ නැති කෙනෙකුට දෙන්න කැමැති නැහැ. පින්වත, භික්ෂුව බොහෝම විවෘතව කියනවා, ඔබ රැගෙන පැමිණි පිරිකර, පිරිකරක් නැති කෙනකුට අත ගසා පූජා කිරීමෙන් සහ පිරිකරක් නැති පින්වතකුට පූජා කිරීමට පිරිකරක් ලබා දීමෙන් ඔබ තනිවම සිදු කරන පූජාවට වඩා ගොඩාක් පින් වැඩියි. පින්වත, මෛත්‍රියට අදාළව, ත්‍යාගයට අදාළව අමතර පිනුත් ඔබට ලැබෙනවා.
පින්වත, ජරා, ව්‍යාධි, මරණ බහුල ලෝකයේ පින කියන්නේ මහා ලෞකික ධනයක්. පින්වත, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගයට ජාති භේද සහ ආගම් භේද අදාළ නැහැ. පින්වත, මනුෂ්‍ය සහ දිව්‍ය ජීවිතවලට පරිවාර සම්පත අත්‍යවශ්‍ය දෙයක්. පින්වත, වර්තමානයේ පවුල් සම්බන්ධතාවන් සහ සමාජ සම්බන්ධතාවන් දිනෙන් දින බිඳිලා යනවා. පින්වත, ඇසුරට යහළුවෙක්, ඥාතියෙක් නැති පින්වතුන් කොතෙක් නම් සිටිනවා ද? කෙරෝනා අවස්ථාවේ දී ඥාතීන්ගෙන් තොරව දේහයන් අාදාහනය සිදු කිරීම, සිවිල් යුදමය අවස්ථාවන්හි දී ඥාතියෙක් නොදැක අතුරුදන්වූවන්ගේ ගොඩට වැටුණු දස දහස් ගණන් ජීවිත ඔබට මතක ද? පාංශුකූලයක්, මතක බණක් හිමි නැති මරණයක් යැයි කියන්නේ, පිරිවර සම්පත්වලට අදාළ අතීත සංස්කාරයන්ගේ දුර්වලභාවයයි.
යම් පින්වතෙක් කුමන හේතුවකින් මියගියත්, ඔහු පාතාලයේ වේවා, පාතාලයේ නොවේවා, ඔහු ධනවත් වේවා, දුප්පත් වේවා ඔහුගේ දේහයට ගෞරව දක්වන්න මහා පිරිසක් පැමිණීම හෝ දේහයට ගෞරව දැක්වීමට අල්ප පිරිසක් පැමිණීම තුළින් අධර්මයක් නොව හේතුඵල ධර්මයක්මයි අපි දැකිය යුත්තේ. මෙය සටහන් තබන භික්ෂුව අපවත් වෙච්ච දවසක, දේහයට ගෞරව දක්වන්න සිය දෙනෙක්වත් නාවොත්, කරුණාකර ඔබ කලබල වෙන්න එපා. පින්වත, ඊට එකම හේතුව භික්ෂුවගේ අපවත් වූ දේහයට බුහුමන් ලැබීමට අදාළ භික්ෂුවගේ අතීත සංස්කාරයන්ගේ දුර්වලභාවයමයි. භික්ෂුවට හොඳටෝම මතකයි, තරුණ කාලයේ අපි බස් රථයක ගමනක් යද්දී, සුසාන භූමියට රැගෙන යන දේහයන් මහ පාරේ පසුකරද්දී, බස් රථයේ ආසනයෙන් නැඟිටලා අපි දේහයට ගෞරව දක්වනවා. මේ මැරිලා ඉන්නේ කවුද කියලාවත් අපි දන්නේ නැහැ. පින්වත, සමාජගත වන අසත්පුරුෂ භේදයන් නොතකා, මියගිය පුද්ගලයා කවුරුන් වුවද, එම දේහයට හදවතින්ම, මෙත් සිතින් ගෞරව දක්වන්න. පින්වත, එම බුහුමන් දැක්වීම මියගිය පින්වතා උදෙසා නොවේ, මියගිය පින්වතා උපයෝගී කොට ගෙන ඔබ තුළ මතු කොට ගන්නා මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහ උදෙසායි. පින්වත, භික්ෂුවගේ ගිහි ජීවිතය පුරාවට මළ ගෙවල් ආශ්‍රයෙන් මහා මෛත්‍රියේ ශක්තියක් ජීවිතයට එකතු කොට ගෙන තිබෙනවා. නිදි වැරීමෙන්, සැරසිලි කිරීමෙන්, ශබ්ද විකාශනයෙන්, මරණය ගමට දැනුම් දීමෙන්, ගුණකථන කිරීමෙන් අප්‍රමාණ මනුෂ්‍යයෝ සතුටු කරලා තිබෙනවා. පින්වත, මේ සියල්ල අයිති වුණේ, ගිහි මගේ මෛත්‍රියේ, ත්‍යාගයේ ගිණුමටම මිස අදාළ මළ ගෙදර සාමාජිකයන්ට නොවේ.
ලෞකික සහ විදර්ශනා සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ, මියගිය පින්වතෙකුගේ දේහය තුළිනුත් පින සහ විදර්ශනාව මතුකොට ගත හැකි මාර්ගයක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව අතීත ගිහි ජීවිතයේදී, මළ ගෙවල් ආශ්‍රයෙන් ලැබූ මෛත්‍රියට, ත්‍යාගයට අදාළ පුණ්‍ය ප්‍රතිලාභයෝ වර්තමානයේදීත් අත්විඳිනවා. පින්වත, යහපත් වේවා, අයහපත් වේවා යම් පින්වතෙක් මියගියොත්, ඔහුගේ රුව ගුණ සිහියට නගාගෙන ‘සුවපත් වේවා!’ යැයි ඔබේ මෛත්‍රියේ ගිණුම ශක්තිමත් කොට ගන්න. පින්වත, අනුවණ පින්වතුන් සමාජය හදන්න ගිහිල්ලා තමන්ගේ මෛත්‍රියේ සහ ත්‍යාගයේ ගිණුම් බින්දුවට දමා ගන්නවා. පින්වත, සතුරෙක් වුවත් මියගිය කෙනාට වෛර කරන්න එපා. පින්වත, මියගිය අයට වෛර කිරීමෙන් අපිට කවදා හෝ කොරෝනා වර්ගයේ මරණයක් හෝ අතුරුදන්වූවන්ගේ වර්ගයේ මරණයක් අයිති වෙන්න පුළුවන්. පින්වත, ඒ කියන්නේ පාංශුකූලයක් හෝ මතක බණක් නැති මරණයක්.
පින්වත, අද උදෑසනත් දස දිශාවේම පින් බලාපොරොත්තුව සිටින සියලු සත්ත්වයෝ මේ පින් දකිත්වා!, අනුමෝදන් වෙත්වා! යැයි කියලා භික්ෂුව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් සිදු කළා. පින්වත, මේ මියගිය එකම ඥාතියෙක්වත් භික්ෂුවට දැන් අයිති නැහැ, නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පනවනවා, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියලා. පින්වත, උතුම් තෙරුවන්ට කීකරුභාවය නිසාම, ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ දී, අපි තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙනවා; මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක් වැඩෙනවා; දානයට අදාළ ආනිශංස තුනක් වැඩෙනවා; අපේ සම්මා සතිය ශක්තිමත් වෙනවා. පින්වත, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් නොකරන පින්වතාට ඉහත කිසිවක්ම ලැබෙන්නේ නැහැ. ඔහු ජීවත් වුවත් මනුෂ්‍ය ධර්මයන් මළ මනුෂ්‍යයෙක්ම වෙනවා.
පින්වත, ලෝකයේ නොතැවරී, ලෝකය තුළ ජීවත් වන නිවැරදි දැක්ම පටිච්චසමුප්පාද ධර්මයෝමයි. පින්වත, ලෝකය නිවැරදි කිරීමේ නාමයෙන් කෙටි ආස්වාදයන්ට රැවටී උඩ බලාගෙන කෙළ ගසා ගන්නා පින්වතුන් කොතෙක් නම් සිටිනවාද? පින්වත, කතා කළොත්, කතා කරන්නේ අනුනගේ වැරදිමයි. පින්වත, අනුනගේ වැරදි ඉදිරියේ කලබල වෙන්නාට ඇසට නොපෙනෙන සංස්කාර අධිකරණය ගැන පුංචි හෝ වැටහීමක් නැහැ. පින්වත, දඬුවමට බිය වෙන්න එපා, වරදට බිය වෙන්න. පින්වත, අවිද්‍යාව අපිට කණපිටයි උගන්වන්නේ. පින්වත, දඬුවමට අපි බිය වෙනවා, නමුත් තවමත් අපි වරදට බිය නැහැ. එම නිසාම, ඵස්සය ඉදිරියේ අවිද්‍යාව තවමත් නිදැල්ලේම හැසිරෙනවා.
අසත්පුරුෂ ආශ්‍රයන්, අසද්ධර්මයන් සහ අනුවණින් මෙනෙහි කිරීම් වැඩි වෙන සමාජයක ධර්මානුකූල ලක්‍ෂණය වන්නේ, පින්වත් මනුෂ්‍ය ජීවිත නමැති පටිච්චසමුප්පාද නූල් බෝලය, දෘෂ්ටි, මතවාද සහ බැඳීයාම්වලින් අග සහ මුල සොයා ගැනීමට නොහැකි සේ පැටලී යාමයි. පින්වත, වර්තමාන ‘තාක්‍ෂණික මාරයා වන සමාජ මාධ්‍ය ජාලා’ අතිශය ජනප්‍රිය වෙලා තිබෙන්නේ පින්වත් මනුෂ්‍ය ජීවිතවල දෘෂ්ටි, මතවාද සහ බැඳීයාම්වල සංකීර්ණභාවය නිසාමයි. පින්වත, බැඳීයාම් සකස් වන්නේ තෘෂ්ණාව මුල්කොටගෙනයි, තෘෂ්ණාව සකස් වන්නේ ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙනයි, පින්වත, ඇලීම් සහ ගැටීම් සකස් වන්නේ මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරන නිසාමයි.
පින්වත, අවුරුදු විස්සක් පමණ වයසැති තරුණ පුතෙක් කියපු කතාවක් භික්ෂුව මෙහි සටහන් තබනවා, “මගේ තාත්තා පසුගිය මහ මැතිවරණයට තරග කරලා පාර්ලිමේන්තුවට ගියා. හැබැයි මහ මැතිවරණයේ දී මගේ තාත්තාට මම ඡන්දය දුන්නේ නැහැ, මගේ තාත්තාට ඡන්දය දෙන අයව වැළැක්වුවෙත් නැහැ. මම තාත්තාට ඡන්දය නොදුන්නේ මගේ තාත්තා උතුම් තෙරුවන්ට ගරු කරන්නේ සහ විශ්වාස කරන්නේ නැති නිසා.” යැයි සද්ධර්මය ශ්‍රවණය කරන පුතා කියනවා. පින්වත, රටේ සිදු වන සද්ධර්ම විකෘතීන් දකින විට එම පින්වත් මන්ත්‍රීතුමාට රටේ බුද්ධශාසන ඇමැතිකම නොදුන්න එක පුදුමයක්. පින්වත, මේවා කාගේවත් පෞද්ගලික වැරදි නොවේ. පින්වත, වරදකරු අවිද්‍යාවේ තීව්‍රභාවයයි. පින්වත, මෙත් සිතින් මෙම විකෘතීන් දෙස බලමින්, මේ ලෝක ධාතුවේ පරම සත්‍යය වන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කරන්න. පින්වත, වරද හෝ වරදකරු සමඟ ගැටෙනවා වෙනුවට, සත්‍ය ධර්මය “පූර්වාදර්ශීව” සමාජගත කිරීමයි අපේ වගකීම විය යුත්තේ.
