Monday, November 24, 2025
Epaper
Home Highlightsපෝෂණයෙන් පිරිපුන් ඩ්‍රැගන් ෆෘට්

පෝෂණයෙන් පිරිපුන් ඩ්‍රැගන් ෆෘට්

by Shanaka Lakehouse

ඩ්‍රැගන් ෆෘට් යනු ගුණවත් පලතුරකි. මෙය මුලින්ම දැකිය හැක්කේ දකුණු අ‍ෙමරිකාවේ හා මධ්‍යම අ‍ෙමරිකාවේය. නමුත් අද වන විට මෙය ආසියානු රටවල් වන තායිලන්තය, වියට්නාමය, ශ්‍රී ලංකාව වැනි රටවල්වලද වගා කරනු ලැබේ. මෙහි ඇතුළත සුදු හෝ රෝස පැහැති වර්ණයක් ගන්නා අතර වියළිවීම හේතුවෙන් දියවීමට හැකියාව ඇති බීජ සහිත පලතුරකි.

ඩ්‍රැගන් ෆෘට් විටමින් C, විටමින් B 2, විටමින් B3, කැල්සියම්, මැග්නීසියම්, ෆයිබර් සහ ප්‍රතිඔක්සිකාරක අංශවලින් සපිරි පලතුරකි. එම නිසා මේ පලතුර ශරීරයට වඩාත් පෝෂණීිය වටිනාකමක් ලබා දෙන අතර, ව්‍යාධි ප්‍රතිරෝධ ක්‍රියාවලිය ද ශක්තිමත් කරයි. ප්‍රධාන වශයෙන්ම මෙය ශරීරයේ හොඳ තරල සංචාරය පිණිස උපකාරී වන අතර, එහි අඩංගු ජල ප්‍රතිශතය ඉතා ඉහළය. එය බර අඩු කිරීමට උදව් වන අතර, අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ද පාලනය කිරීමට උපකාරී වේ.

ඩ්‍රැගන් ෆෘට් හි අඩංගු ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය බෙටැලයින් (betacyanins), ෆ්ලේවෙනොයිඩ් (flavonoids) ආදී ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා වැළැක්වීම සහ හිසේ වාතාත්මක රෝග (හිසේ කැක්කුම්) වලට එරෙහිව ක්‍රියා කරන හොඳ පලතුරක් ලෙස පර්යේෂණවලින් හෙළි වී ඇත. මීට අමතරව හෘදයාබාධ අවදානම අඩු කිරීමට, හදවත් සෞඛ්‍ය වර්ධනය කිරීම වැනි ප්‍රතිලාභ ද මේ පලතුර හරහා ලබා දෙයි. එහි ඇති ෆයිබර් පද්ධතියෙන් දියවැඩියාව පාලනයට ද උපකාරී වේ.

අලුයම බොහෝ දෙනෙක් ඩ්‍රැගන් ෆෘට් ස්මුුතී එකක් හෝ ආහාරයට ගැනීමෙන් එය ශරීරයට ශක්තිය ලබා දෙන අතර සන්සුන් බවක් ද උදාකරයි. දැඩි පැණි රසයකින් තොරව අඩු පැණි රසකින් හා සරල රසකින් යුතු මේ පලතුර ඕනෑම වයස් පරතරයක කෙනකුට යෝග්‍ය වේ.

අවසාන වශයෙන් කිවහොත් ඩ්‍රැගන් ෆෘට් යනු පරිසරයට හිතකර, සෞඛ්‍යයට වඩාත් වටින, පහසුවෙන් ලබාගත හැකි පලතුරකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරය පෝෂණය වීම පමණක් නොව ව්‍යාධි රෝගාබාධවලින් ද ආරක්‍ෂා විය හැකි විවිධ වූ පෝෂණීය ගුණයන්ගෙන් පිරිපුන් පලතුරකි.

ඩ්‍රැගන් ෆෘට් ස්මූති එකක් හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ඩ්‍රැගන් ෆෘට් ගෙඩි 01ක්
  • කෙසෙල් ගෙඩි 01ක්
  • යෝගට් කෝප්ප 1/2ක්
  • ශීත කළ පොල් කිරි හෝ
  • සාමාන්‍ය කිරි
  • කෝප්ප 1/2ක්
  • දෙහි යුෂ (අවශ්‍ය නම්)
  • අයිස් කැට 3-4ක් පමණ
  • මී පැණි අවශ්‍ය ප්‍රමාණයට)

සාදන විදිහ –

ඩ්‍රැගන් ෆෘට් මද අරගෙන එයට කෙසෙල් ගෙඩියක්, යෝගට් කෝප්ප බාගයක්, පොල් කිරි හෝ සාමාන්‍ය කිරි කෝප්ප භාගයක් ගෙන මෙය හොඳින් මිශ්‍ර (බ්ලෙන්ඩර්) කර ගන්න. පසුව එය වීදුරුවකට දමාගෙන අයිස් කැට, මී පැණි එකතු කරන්න.

අවසානයට මින්චි කොළ, දෙහි පෙත්තක් ගෙන එම වීදුරුව අලංකාරව සරසාගෙන පිළිගන්වන්න. මේ ආකාරයට ඉතා පහසුවෙන් දිනපතාම පෝෂ්‍යදායී ඩ්‍රැගන් ෆෘට් ස්මූති එකක් රස විඳින්න.

ඩ්‍රැගන් ෆෘට්වලින් රසවත් කේක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ඩ්‍රැගන් ෆෘට් මද 1/2ක් කෝප්ප
  • බිත්තර 05
  • පාන් පිටි ග්‍රෑම් 250ක්
  • සීනි ග්‍රෑම් 250ක් 
  • බටර් ග්‍රෑම් 200ක්
  • වැනිලා තේ හැඳි 02ක්
  • ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
  • බේකිං පවුඩර් තේ හැඳි 01ක්

සාදන ආකාරය –

ඩ්‍රැගන් ෆෘට් මද ටික මුලින්ම හොඳට මිශ්‍ර කර ගන්න.

පසුව වෙනම භාජනයක් ගෙන මෙයට බටර් ග්‍රෑම් 200 හා සීනි ග්‍රෑම් 250 දමා මිනිත්තු 2-3 හොඳට මිශ්‍ර කරන්න. තවත් භාජනයක් ගෙන එයට බිත්තර 05 සහ වැනිලා තේ හැඳි 02 දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

තවත් භාජනයක් ගෙන පාන් පිටි ග්‍රෑම් 250කට බේකිං පවුඩර් තේ හැඳි 01ක් දමා, පෙනේරයක් ආධාරයෙන් හලාගන්න.ඉන්පසු බටර් සහ සීනි දමා මිශ්‍ර කරගත් භාජනයටම පාන් පිටි සහ බේකිං පවුඩර් දමා මිශ්‍රකරගත් මිශ්‍රණයත්, බිත්තර 05 සහ වැනිලා 02 තේ හැඳි එක්කරගත් මිශ්‍රණයත් දමා එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඉන්පසු මෙය හොඳට මිශ්‍ර (beat) කරගන්න. එයටම මිශ්‍ර කරගත් ඩ්‍රැගන් ෆෘට් මද ටික දමා නැවත හොඳින් මේ සියල්ලම මිශ්‍ර කරගන්න. එවිට රෝස පැහැයට හුරු වර්ණයක් හෝ සුදු පාටට හුරු සාමාන්‍ය වර්ණයේ වෙනසක් සිදු වී එය වර්ණවත් වෙයි. එහිදී රසය ද වෙනස් වේ.

මෙය අවන් එකට දමා සෙල්සියස් අංශක 180වේ උෂ්ණත්වයට මිනිත්තු 35 පමණ පුලුස්සා (බේක් කර) ගන්න.

අවසානයේ එය අවන් එකෙන් පිටතට ගෙන සිසිල් වීමට ඉඩ හැර අලංකරණය කර ගැනීමට අයිසිං හෝ ඩ්‍රැගන් ෆෘට් කැබිලි උඩින් තබා අලංකාරව කේක් එක සරසාගෙන පිළිගන්වන්න.

TEXT – ප්‍රියංගිකා ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?