Friday, February 6, 2026
Epaper
Home Highlightsවටිනාකමින් ඉහළ අපේ කොකෝවා

වටිනාකමින් ඉහළ අපේ කොකෝවා

by Shanaka Lakehouse

කොකෝවා ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ

  • හෘද සෞඛ්‍යයට සහාය වීම
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම
  • පෝෂ්‍ය පදාර්ථ සහ ඛනිජ ලවණ සැපයීම
  • පෝෂ්‍ය පදාර්ථ සහ ඛනිජ ලවණ සැපයීම
  • දියවැඩියාව පාලනයට සහාය වීම

මෙම සියලු ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, ඔබ කොකෝවා ආහාරයට ගත යුත්තේ අවම වශයෙන් 70%ක් හෝ ඊට වැඩි කොකෝවා ප්‍රතිශතයක් අඩංගු ඩාර්ක් චොකලට් හෝ සීනි රහිත කොකෝවා කුඩු ආකාරයෙන්ය. කිරි චොකලට් හෝ සුදු චොකලට්වල වැඩිපුර සීනි සහ සංතෘප්ත මේද අඩංගු වන බැවින් එමඟින් සෞඛ්‍ය ප්‍රතිලාභවලට වඩා අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එමෙන්ම, ඕනෑම ආහාරයක් මෙන්ම, කොකෝවා ද මධ්‍යස්ථව පරිභෝජනය කිරීම වැදගත් වේ.

ලොව පුරා රසකැවිලි අතර රජු ලෙස සැලකෙන චොකලට්වල ප්‍රධානතම අමුද්‍රව්‍යය වන්නේ කොකෝවා ය. ” දේවතාවුන්ගේ ආහාරය ” ලෙසද හැඳින්වෙන මෙම වගාව ශ්‍රී ලංකාවේ ද ඓතිහාසික පසුබිමක් සහිත වගාවකි. 1819 දී පමණ බ්‍රිතාන්‍යයන් විසින් මාතලේ නාලන්ද ප්‍රදේශයේ කොකෝවා වගාව ආරම්භ කර ඇත. වරක් අක්කර 30,000ක් පමණ ව්‍යාප්ත වී තිබූ මෙම වගාව, වර්තමානයේ හෙක්ටයාර 1800කට (අක්කර 5000 කට) පමණ සීමා වී ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ කොකෝවාවල ගුණාත්මකභාවය ලෝකයේ හොඳම කොකෝවා වර්ග අතරට එක්වන බව විශේෂඥ මතයයි.

ශ්‍රී ලංකාවේ කොකෝවා සංයුතිය 50% ඉක්මවයි. මෙය වෙනත් බොහෝ රටවල කොකෝවාවලට වඩා ඉහළ අගයකි. රටේ නිවර්තන දේශගුණය, විශේෂයෙන්ම මහනුවර. මාතලේ, බදුල්ල, කුරුණෑගල සහ මොණරාගල වැනි දිස්ත්‍රික්කවල කොකෝවා වගාවට ඉතා යෝග්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කොකෝවා වගාවේ ඇති ඉහළ ගුණාත්මකභාවය නිසා ලෝක වෙ‍ෙළඳපොළේ හොඳ ඉල්ලුමක් සහ ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව ඇත. එහෙත්, මෙරට දේශීය චොකලට් නිෂ්පාදන අවශ්‍යතාවය සඳහා පවා ප්‍රමාණවත් කොකෝවා නිෂ්පාදනයක් නොමැත. මේ නිසා වාර්ෂිකව විශාල කොකෝවා තොගයක් විදේශ රට වලින් ආනයනය කිරීමට සිදු වී තිබේ.

මෙම අභියෝගය ජය ගැනීමට නම්, කොකෝවා වගාව සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. පොල්, රබර් වැනි ප්‍රධාන වගාවන් අතර අතුරු භෝගයක් ලෙස කොකෝවා වගා කිරීම, ගොවීන් හට අමතර ආදායම් මාර්ගයක් සලසා දීමටත්, දේශීය නිෂ්පාදනය වැඩි කිරීමටත් උපකාරි වේ. කොකෝවා වගාවට අඩු ශ්‍රමයක් අවශ්‍ය වීම සහ වසර 3කින් පමණ ඵලදාව ලබාගත හැකිවීම ගොවීන්ට වාසිදායක වේ.

චොකලට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි (Fresh Milk හෝ Milk Powder මිශ්‍රණය) – කෝප්ප 2ක් (මි.ලි. 500)
  • කොකෝවා කුඩු – මේස හැඳි 3ක්
  • සීනි – මේස හැඳි 4ක් (රස අනුව අඩු වැඩි කර ගත හැක)
  • කෝන් පිටි (Corn Flour) – මේස හැඳි 3 ක්
  • වැනිලා රසකාරක – තේ හැඳි 1ක්
  • කැඩුණු ඩාර්ක් චොකලට් – ග්‍රෑම් 50ක් (වැඩි චොකලට් රසක් සඳහා)

සාදන ක්‍රමය

කුඩා භාජනයක් ගෙන එයට කොකෝවා කුඩු, සීනි සහ කෝන් පිටි දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙයට කිරි ටිකක් (කෝප්ප 1/4ක් පමණ) එකතු කර ගැටිති නැති වන තුරු හොඳින් දිය කර ගන්න. ඉතිරි කිරි ප්‍රමාණය ළිප මත තැබූ භාජනයකට දමා රත් කරන්න. කිරි රත් වන විට, සාදාගත් කොකෝවා මිශ්‍රණය එයට එකතු කරන්න. මිශ්‍රණය ළිපේ තබා, නොනවත්වා හැඳි ගාන්න. විනාඩි 5-10ක් ඇතුළත එය ඝන වීමට පටන් ගනී. (ඝනකම වැඩි වීමට පටන් ගත් විට, ගින්දර අඩු කරන්න).

පුඩිං මිශ්‍රණය හොඳින් ඝන වූ පසු, ළිපෙන් ඉවත් කර වැනිලා එකතු කරන්න. ඔබ චොකලට් එකතු කරන්නේ නම්, මේ අවස්ථාවේදී එය දමා මිශ්‍ර කරන්න (චොකලට් උණු වී පුඩිං එකට මිශ්‍ර වේ). පුඩින් මිශ්‍රණය පිළිගන්වන භාජනවලට හෝ පුඩිං තැටියකට දමා, කාමර උෂ්ණත්වයට පැමිණි පසු පැය 2-3ක් ශීතකරණයේ තබා හොඳින් සෙට් වීමට ඉඩ හරින්න. ශීත කළ පසු, විපින් ක්‍රීම්, චොකලට් චිප්ස් හෝ කැඩුණු නට්ස්වලින් සරසා පිළිගන්වන්න.

චොකලට් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොකෝවා කුඩු – මේස හැඳි 3 ක්
  • සීනි – මේස හැඳි 4 -5 ක් (රස අනුව)
  • ජලය – කෝප්ප 1/2 ක් (මි.ලි. 120)
  • බටර් – තේ හැඳි 1 ක්
  • වැනිලා රසකාරක – තේ හැඳි 1/2 ක්
  • ලුණු – ඉතා ස්වල්පයක් (රස වැඩි කිරීමට)

සාදන ක්‍රමය

කුඩා සාස්පානක් ගෙන එයට කොකෝවා කුඩු, සීනි සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට ජලය ටිකෙන් ටික එකතු කර ගැටිති නැති වන තුරු හොඳින් හැඳි ගාන්න. සාස්පාන මධ්‍යස්ථ ගින්දරේ ලිප තබා නිරන්තරයෙන් හැඳි ගාමින් උණු කරන්න. මිශ්‍රණය නටන්නට පටන් ගත් පසු.

එය තවත් විනාඩි 1-2 ක් උකු වනතුරු හැඳි ගාන්න. මිශ්‍රණය ළිපෙන් ඉවත් කර, එයට බටර් සහ වැනිලා රසකාරක එකතු කරන්න. බටර් දිය වී සෝස් එකට හොඳින් මිශ්‍ර වන තුරු කලවම් කරන්න. උණුසුම්ව හෝ කාමර උෂ්ණත්වයේ දී භාවිතා කළ හැකිය. සීතල වූ පසු මෙය තවදුරටත් ඝන වේ.

 

TEXT – අසිංසලා වීරහිංගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?