සීතල තුහිනයෙන් පිරි කඳු වළල්ල වසාගෙන හිරු සෙමෙන් සෙමෙන් එබිකම් කරයි…. කඳු වලාව පිරි මිහිඳුම නිසාම හිරු උදාවෙන්නට තවත් හෝරා කීපයක් ප්‍රමාද වෙතැයි අපට සිතෙයි. විඩාබර වූ ජීවිතයට ගෙන එන්නේ අමුතුම ප්‍රබෝධයකි. කොන්ක්‍රීට් වනාන්තරයෙන් ඈතව ගෙවෙන මේ සුන්දර දිනයේ අපට පෙනෙන්නේ මීදුමෙන් පිරී ගිය කඳු වළල්ලකි.
මේ කඳු අතරින් කුහුඹු පෙළක් සේ පෙනෙන දසුන දෙස අප මොහොතක් බලා සිටියේ පුදුමයෙනි. ඈත මානය පෙනෙන මේ දසුන හිරිකඩින් පිපෙන සීතලේ දලු නෙළන්නට යන ලියන්ගේ දර්ශනයකි. අප මේ පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ ඉහළම වූ වතු යායක සුන්දරත්වය අත්විඳින්නටයි. අප මේ ඔබව කැඳවාගෙන යන්නේ මුහුදු මට්ටමේ සිට අඩි පන්දහසක් (5000ක්) ඉහළින් වූ අපූර්වතම පරිසර චාරිකාවකයි.
බලංගොඩ ප්‍රදේශයට ආසන්නව මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසින් නන්පේරියල් නමැති මිහිපිට දිව්‍යලෝකය පිහිටා ඇත.”කලුපහන හන්දියෙන්” නන්පේරියල් වෙත ඇතුළුවන මාර්ග ආරම්භ වන අතර එහිදී සෆාරි සේවාවන් ද මිලදී ගත හැකිය. එමෙන්ම කඳු නඟින්නන්ට නන්පේරියල් වෙත ළඟා වීමට කෙටි මාර්ගයක් ද ඇත.
දවසේ වැඩි වේලාවක් මෙම පෙදෙස මීදුමෙන් වෙළී පවතියි.එය මනසට සුව එළවන ඉතාමත් රමණීය දර්ශනයකි. ගමන අතරමග හමුවන ඈතින් බලා සිටින කලුපහන, බලතුඩුව, වංගෙඩිගල යනාදී කඳුපන්ති තවත් ඉදිරියට ඇදී යාමට අභිරුචිය ඇතිකරවයි.
ගමනාන්තයට පෙර අතරමගදී ගල්තලාවන් හා කඳු පන්ති අතරින් සේද සළු මෙන් ගලා හැළෙන දිය ඇළි ඔබගේ විඩාව සන්සිඳුවන ඖෂධයකි. රාත්‍රී කාලයෙහි මනස්කාන්ත අත්දැකීමක් ලබා ගැනීම සඳහා ඔබට එහි ආරක්ෂිතව කඳවුරු බැඳීමට ද හැකිය.
නන්පේරියල් නැරඹීමට පැමිණෙන ඔබ අමතක නොකළ යුතුම ස්ථානය වන්නේ “බේකස් බෙන්”ය. මුහුදු මට්ටමේ සිට මීටර් 1530ක් උසින් පිහිටි බේකස් බෙන්හි බැලු බැලු අත නිල්ල ගැසුණු රමණීය පරිසරයයි.එහිදී අවටින් ඇසෙන කුරුලු ගීතවලට සහ නොනවතින සුළඟට සාවදානව ඔබට ඔබේ ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් අත්විඳිය හැකියි.
එමෙන්ම ගමනෙහි අතරමඟ හමුවන ගව මිතුරන්, එළු මිතුරන්, සුනඛ මිතුරන් හා අනෙකුත් විවිධාකාරයේ මිතුරන් සමඟ වින්දනීය අවස්ථා විඳගැනීමට අමතක නොකරන්න. එය ඔබේ පුංචි දුවළට පුතාළට වෙනස්ම අත්දැකීමක් එක්කරාවි.
වර්තමානයේ පීඩාකාරී, ජීවන රටාවෙන් අත්මිදී මෙවැනි දිව්‍ය ලෝකයක අතරමං වීම ඔබේ මනසට ලැබෙන අමිල ඖෂධයකි. එයින් ඔබේ මානසික ආතතිය මුලිනුපුටා දැමීමට හැකිය. එනම් ඔබත් ඔබේ ප්‍රියයන් සමඟ මෙවැනි දිව්‍ය ලෝකයක අතරමං වී පීඩාකාරී දිවිපෙවෙතට එක් දිනකට හෝ සමු දීමට උත්සාහ කරන්න.
TEXT – ටිරුණි ඉමායා වීරසිංහ
