Monday, December 1, 2025
Epaper
Home Beautyඔබට උපතින්ම හිමි වූ දිව්‍යමය දායාදය රැකගන්න

ඔබට උපතින්ම හිමි වූ දිව්‍යමය දායාදය රැකගන්න

by Shanaka Lakehouse

ඔබේ උපත සමඟම ලබා දී ඇති අමිල දායාදයක් වන්නේ සමේ පැහැයයි. තලෙළු වර්ණය ඝර්ම කලාපීය රටවල යුවතියන්ට පමණක් උරුම වූ විශේෂිත හා සැබෑවේම වටිනා පැහැයක් වෙයි. අද නව යොවුන් වියේ පසුවන තරුණියන් අතර මෙම ස්වභාවික පැහැය පිළිබඳ දක්නට ලැබෙන අප්‍රසන්න බවත්, සුදු වීමට ඇති ආශාවත් අපි බොහෝ දුරට දකින්නෙමු. මෙම තත්ත්වය ඔවුන් තුළ ඇතිවන ආත්ම විශ්වාසයේ අඩුවීමක් හා සමාජීය පීඩනයක ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට ඇත.

නව යොවුන් විය යනු ළදරු අවධියෙන් වැඩිහිටි අවධියට යන සංක්‍රමණික කාලයකි. මෙම අවධියේදී තරුණියන් තුළ ඇතිවන ශාරීරික හා මානසික වෙනස්කම්, සමාජීය පිළිගැනීමට ඇති අවශ්‍යතාව වැනි සරල ආකල්ප නිසා ඔවුන් සුදුවීමට දැඩි උනන්දු කරවයි. මාධ්‍ය හරහා ඇති කරන පෙලඹවීම, සමකාලීන සුන්දරත්ව පිළිබඳ ප්‍රමිති සහ සමාජ ජාලවලින් ප්‍රචාරණය කරනු ලබන සුදු පැහැති සුන්දරියන්ගේ ප්‍රතිමූර්තිය මඟින් තරුණ මනසට සුන්දරවීම යන සංකල්පය පිළිබඳ වැරදි ආකල්පයක් ඇති කරනු ලබයි. මෙමඟින් ඔවුන්ගේ ස්වභාවික පැහැය පිළිබඳ අසහනයක් ඇති කරමින් අනවශ්‍ය සුන්දරත්ව ප්‍රමිති සමඟ තමන්ගේ පෙනුම සංසන්දනය කිරීමට ඔවුන්ව පොලඹවයි.

අපේ සමාජයේ “සුදුවීම” පිළිබඳ ඇති දැඩි කැමැත්ත සහ සම සුදු කිරීමේ ආශාව සරල රූපලාවණ්‍ය තේරීමකට වඩා සංකීර්ණ ඓතිහාසික පසුබිමක් ඇත. අතීතයේදී බොහෝ ආසියානු සංස්කෘතීන් තුළ සුදු පැහැති සම ඉහළ සමාජ තත්ත්වය, වංශවත් බව සහ සැපපහසු ජීවිතයේ සංකේතයක් විය. මෙය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයේ නිරත වූ අයට වඩා ගෘහස්ථව විසූ ඉහළ වර්ගයේ පුද්ගලයින් හඳුනාගැනීමේ සලකුණක් විය. මෙම සංස්කෘතික ආභාසය අදටත් අපගේ මනසට බලපාමින් සම සුදු කිරීමේ ප්‍රවණතාවට තරුණියන් යොමු වීමට හේතු වී ඇත. තවද පරම්පරාගතව ලැබුණු මෙම අදහස් අද වන විට මාධ්‍ය හා වෙ‍ෙළඳ ප්‍රචාරණ මඟින් තවත් ශක්තිමත් කර ඇත.

ක්ෂණික විසඳුම්වල භයානක බව

මෙම සමාජ පීඩනය හමුවේ ක්ෂණික විසඳුම් සොයන තරුණියන් බොහෝ දෙනෙක් සමේ පැහැය සුදු කර ගැනීම සඳහා අධික රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිත කිරීමට පෙලඹෙති. Hydroquinone, Mercury සහ ඉහළ මාත්‍රාවල Corticosteroid වැනි ද්‍රව්‍ය අන්තර්ගත ආලේපන මඟින් සමේ වර්ණකය වන මෙලනින් නිපදවන සෛලවල ක්‍රියාකාරීත්වය ක්ෂණිකව අඩාළ කරන නමුත් දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් සමේ ස්ථිර වර්ණ වෙනස්කම්, පිළිකා අවදානම, රෝග ප්‍රතිරෝධක ශක්තිය දුර්වල වීම, සහ සමේ ස්වාභාවික ආරක්ෂක ගතිකත්වය නැති වීම වැනි බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මෙමඟින් සමේ ස්වාභාවික සෞන්දර්යය විනාශ වන අතර එය පසුව කිසිදු ඖෂධීය ප්‍රතිකාරයකින් සුව කර ගත නොහැකිය. තවද මෙම රසායනික ද්‍රව්‍ය රුධිරයට අවශෝෂණය වී ශරීරයේ අවයව ක්‍රියාකාරිත්වයටද බලපෑම් ඇති කිරීමේ අන්තරායක් පවතී.

සමේ ස්වාභාවික ආරක්ෂාව

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ අපේ සම අඳුරු වීමට ප්‍රධාන හේතුව හිරු කිරණයි. මෙලනින් යනු හිරු කිරණවලින් සම ආරක්ෂා කිරීම සඳහා ශරීරය ස්වාභාවිකව නිපදවන වර්ණකයකි. ඔබේ තලෙළු වර්ණය යනු ඔබේ ශරීරය හිරු හානිවලින් සහ පිළිකා අවදානමෙන් ආරක්ෂා වීමට ඇති ස්වාභාවික ආරක්ෂක යන්ත්‍රණයකි. මෙලනින් ස්තරය සූර්යාලෝකය අවශෝෂණය කර සමට සිදුවන හානි සුව කිරීමේ හැකියාවක් දරයි. එබැවින් අප කළ යුත්තේ සමේ පැහැය වෙනස් කිරීමට උත්සාහ කිරීම නොව එහි පවතින ස්වාභාවික පැහැය සෞඛ්‍යසම්පන්නව දීප්තිමත් කර ගැනීමයි. තලෙළු වර්ණය යනු ඔබේ ශරීරයේ ස්වාභාවික බුද්ධිමත් ආරක්ෂක ප්‍රතිචාරයක් ලෙස වටහා ගත යුතුය.

සෞඛ්‍යසම්පන්න දීප්තිය සඳහා මූලික උපදෙස් ලෙස දිනපතා ප්‍රමාණවත් ජලය පානය කිරීම සහ විටමින් C වැනි ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ගැනීම, සම සෞඛ්‍යසම්පන්නව තබා ගැනීමට අත්‍යවශ්‍ය වේ. ජලය සමේ තෙතමනය පවත්වා ගන්නා අතර විටමින් C මෙලනින් නිෂ්පාදනය සමතුලිත කිරීමට උපකාරී වේ. සෑම දි‍ෙනකම ගෙදරින් පිටතට යන විට SPF 30 හෝ ඊට වැඩි හිරු ආවරණයක් භාවිත කිරීම අනිවාර්ය වේ. මෙය හිරු කිරණ මඟින් සමට වන හානිය වළක්වා මෙලනින් අධික ලෙස නිපදවීම පාලනය කරයි. දිනකට දෙවරක් සමේ වර්ගයට ගැළපෙන මෘදු ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසුදු කිරීම සහ තෙල් රහිත මොයිස්චරයිසර් එකක් භාවිත කිරීම මඟින් සම සෞඛ්‍යසම්පන්නව පවත්වා ගත හැකිය. මෙම මූලික පියවර අනුගමනය කිරීම ඔබේ සමේ ස්වාභාවික දීප්තිය වැඩි කිරීමට ප්‍රමාණවත්ය.

ස්වාභාවික ආයුර්වේද සත්කාරය

ස්වභාවික දීප්තිය සඳහා ආයුර්වේද හා නව සත්කාරයක් ලෙස ත්‍රිපලා-යෝගට් මාස්ක් භාවිත කළ හැකිය. ත්‍රිපලා කුඩු, කඩල පිටි සහ මී පැණි මිශ්‍ර ස්ක්‍රබ් එකක් මඟින් සමෙහි විෂ ඉවත් කර මියගිය සෛල ඉවත් කර ගත හැකිය. ඉන්පසු යෝගට් සහ පැපොල් යුෂ මිශ්‍ර මාස්ක් එකක් ආලේප කිරීමෙන් සම දීප්තිමත් කර ගත හැකිය. යෝගට්වල අඩංගු ලැක්ටික් අම්ලය සහ පැපොල් යුෂවල ඇති එන්සයිම සමේ මෘදු ස්වාභාවයක් ඇති කරයි. රාත්‍රියේ නින්දට පෙර නවරත්න තෛලය සම්බාහනය කිරීම සමට පෝෂණය ලබා දී රුධිර සංසරණය වැඩි කරයි. උදෑසන පිරිසුදු කළ සම මත විටමින් C සීරම් එකක් භාවිත කිරීම මෙලනින් නිෂ්පාදනය පාලනය කර සමේ පැහැය දීප්තිමත් කිරීමට උපකාරී වේ. රාත්‍රියේදී නැවුම් කෝමාරිකා ජෙල් කළු ලප ඇති ස්ථානවල ආලේප කිරීම සහ නියාසිනමයිඩ් (විටමින් B3) අඩංගු සීරම් එකක් භාවිත කිරීමෙන් කළු ලප මැකී යාමට උපකාරී වේ. මෙම ස්වාභාවික ක්‍රම නිතිපතා අනුගමනය කිරීමෙන් ඔබේ ස්වාභාවික පැහැය දීප්තිමත් කිරීමට හැකිය.

ස්වාභාවිකත්වයේ අගය

ඔබේ සමේ ස්වාභාවික පැහැය කුමක් වුවත් ඔබ ලස්සනයි. සැබෑ සුන්දරත්වය පවතින්නේ ඔබේ සමේ පැහැයේ නොව, එහි නිරෝගී දීප්තියේ සහ ඔබේ ආත්ම විශ්වාසයේය. ක්ෂණික විසඳුම් පසුපස හඹා නොගොස්, විද්‍යාත්මකව සහ ආයුර්වේදයෙන් තහවුරු වූ සෞඛ්‍යසම්පන්න ක්‍රම අනුගමනය කරන්න. ඔබ උපතින්ම ලබාගත් තලෙළු වර්ණයේ දායාදය අගය කරන්න. ඔබ නිරෝගී නම් සැමවිටම බැබළෙනු ඇත. සුන්දරත්වය ඔබේ පැවැත්මේම ස්වාභාවික අංගයක් බව සැමවිටම සිහියේ තබා ගන්න. තලෙළු වර්ණය ඔබේ උරුමයේ කොටසක් වන අතර එය ඔබේ අනන්‍යතාවයේ අංගයක් ලෙස ආදරය කිරීමට ඉගෙන ගන්න. ඔබේ ස්වාභාවික පැහැය යනු ඔබටම ආවේණික වූ අනන්‍යතාවයක් බව වටහා ගෙන එයට ආදරය කිරීමට ඉගෙන ගන්න.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?