‘ජීවිතයේ සයුරක් වගේ අපි යා යුතුයි දියඹේ’ ලාංකික සිනමා ඉතිහාසය තුළ සම්පූර්ණයෙන්ම මහ සයුරේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය මාරියා යි. මේ දිනවල LFD මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වන මාරියා, නිකිණි වැස්ස, ඩාන්සින් ස්ටාර්, 97 ලව් ස්ටෝරි, හැපි බර්ත් ඩේ’ වැනි චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය යි. මාරියා (The Ocen Angel) තිරගතවීම නිමිත්තෙන් එහි රගන න්ළුවන් කිහිප දෙනකු සමඟ කරන ලද සංවාද සටහනකි, මේ. මුලින්ම අප හමු වුෙණ් ‘මාරියා‘ හි කැප්ටන් විලීය. කලා ලොවේ අපෙ කාගේත් ආදරය දිනූ ලොකු අයියා ය.
ජොලියේ හිටපු ගෝලයෝ ටික ‘ඩෝල්‘ නිසා වෙනස් වුණා.
මහේන්ද්‍ර පෙරේරා
මාරියා හි කැප්ටන් විලී වුණු ඔබට…
හොඳට රඟපාන්න ලැබුණා. ට්‍රෝලර් යාත්‍රාව ටිකක් ගෙනියන්න පුළුවන් වුණු එකට ඔරිජිනල් කැප්ටන් ‘නිලූ’ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ෂූට් එකට හරියන විදිහට වැඩේ කරගන්න පුළුවන් වුණේ ඔහු නිසයි. මේක සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක්. එක ලෝකේෂන් එකක කරපු වැඩක් නිසා වෙනස්ම ස්වරූපයක් ගන්නවා.
ගෝලයෝ ටික වෙනස් වුණාට පස්සේ…
වැඩේ අමාරු වුණා අප්‍රාණික වස්තුවකට ලව් කරන්න පටන් අරන් ගෝලයෝ ටික වෙනස් වුණා. ඊට කලින් ජොලියේ හිටියා. සමගිය නැති වුණා. ඉතින් ඒක ලොකු කතාවක්. මාස ගාණක් එක දිගට තනිවෙලා ඉන්නකොට ඒ විෂය කාටත් බලපානවා. ඒක රසවත් විදිහට ලියලා තිබුණ නිසා ඒ කතාව ලස්සනයි. සෙක්ස් ඩෝල් එකක් කියන්නේ අපිට අලුත් අත්දැකීමක්.
සිනමාව එක්ක තියෙන ගනුදෙනුව…
සිනමාව එක්ක තමයි මගේ ලොකුම ගනුදෙනුව තියෙන්නේ. ඒක හොඳින් කරගෙන යනවා. ඒ ගැන සතුටුයි. පැරඩයිස් චිත්‍රපටයෙන් පස්සේ මට ඉන්දියානු සිනමාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. මුම්බායිවලදි හොඳම සහාය නළුවා වුණා පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙන්. එහිදී විවිධ සිනමාකරුවන් හමුවුණා. ඉන්දියාවෙන් මට ඇරයුම් ලැබුණා චිත්‍රපට දෙක තුනක් සඳහා. ප්‍රියන්ත විතානගේට ගෞරවනීයව ස්තූති කරනවා. ඒ කඩුල්ල පනින්න පැරඩයිස් චිත්‍රපටයට මාව තෝරා ගත්තට.
මාරියා පිරිස සමඟ ගත කළ කාලය…
හරිම සුන්දරව ගත වුණා. ඒත් දර්ශනව මතක් වෙනකොට ලොකු වේදනාවක් එනවා. ඔහු ඉතාම හොඳ දක්ෂ නළුවෙක්. ඔහුට ඉන්දියාව ආක්‍රමණය කරන්න පුළුවන්කම තිබුණා. ෆිල්ම් එක බලන්නත් ඔහු ආශාවෙන් හිටියා. මාරියා රූගත කිරීමේ කටයුත්තේදී හැමෝටම මහන්සි වෙන්න සිද්ධ වුණා. චන්න දේශප්‍රිය ඇතුළු කැමරා යුනිට් එකේ හැමෝමත් ඒ දුක වින්දා. ටයිටැනික් චිත්‍රපටය කළා වගේ ටැංකියක් හදලා කරන්න අපිට බැහැනේ. නමුත් හැමදෙනාගේම කැපවීම නිසා හොඳ චිත්‍රපටයක් නිර්මාණ වෙලා තියෙනවා.
මුහුදත් එක්ක ජීවත් වෙද්දී…
මම නම් වතුරට බයයි. මම මුහුද දිහා බැලුවේ නැහැ. යන්තම් බලනකොටත් අමාරුයි. රාත්‍රි කාලයට නම් හරිම සුන්දරයි. ඉර බහිනකොට ඉර නඟිනකොට දකින ඒ දර්ශන හොඳටම රස වින්දා. ඒවා දැක්කම මහන්සිය නැතුව යනවා. ලුමිනස් වගේ දිලිසෙන මාළු දැක්කම ආශා හිතෙනවා. ඒ වුණත් ප්ලාස්ටික් දකිනකොට එපා වෙනවා. ප්ලාස්ටික් ගුළියක් බෝට්ටුවේ හිරවෙලා බොහොම අමාරුවෙන් ඒක අයින් කරගත්තා. කුණාටුවකට මූණ දෙන්නත් අපිට සිද්ධ වුණා.
මාරියා චිත්‍රපටය ඔබ දකින්නේ…
අධ්‍යක්ෂවරයා කතාව ක්‍රමානුකූලව ගොඩනඟාගෙන තියෙන නිසා ඕනෑම කෙනකුට ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්. අරුණ ජයවර්ධන පිටපත ලියනකොටම චරිත ගොඩනඟලා. ඒවට යම්කිසි සාධාරණයක් වෙන විදිහට ලස්සනට පිළිවෙළට ඒ කටයුතු නිම කරලා තියෙනවා.
අද සිනමාව තියෙන තැන…
ලස්සන තැනක තියෙනවා. හොඳට රස විඳින්න පුළුවන් චිත්‍රපට හදන්න ඕනෑ. අලුත් අදහස්වලින් කතා කරන්න නිර්මාණවලට ප්‍රේක්ෂකයෝ කැමැති. මම ප්‍රේෂ්කයින්ට කියන්නේ චිත්‍රපට බලන්න. අපිටත් පණ ගහගෙන ඉන්න පුළුවන් වෙන්න නම් කර්මාන්තයක්, කලාවක්, අධ්‍යාපනයක් හැටියට සිනමාව තියෙන්න ඕනේ. ප්‍රේක්ෂක සහභාගිත්වය අත්‍යවශ්‍යයි. ප්‍රේක්ෂකයෝ නැතිව අපි කාට රඟපාන්නද?
මුහුද මට පිස්සුවක්
දසුන් පතිරණ
‘මාරියා’හි මාලන් වූ ඔබ?
ටෙලිනාට්‍ය කිහිපයක මුහුදට සම්බන්ධ චරිත කළාට මේ වගේ ගැඹුරු මුහුදේ ඒ වගේ චරිතයක් කවදාවත් කරලා නැහැ. මාලන් කියන්නේ ඔස්ට්‍රේලියාවට පනින්න හදන තරුණයෙක්. ඔහු හොඳ ආදරවන්තයෙක්.
මුහුදත් එක්ක කටයුතු කරද්දී?
මුහුදේ ගැඹුරටම අපි ගියා. ඒ වගේ අවස්ථාවල විවිධ අපහසුතා ඇති වුණා. මුහුදේ ගිලෙන්න ගිය අවස්ථා තිබුණා. ලංකාව වගේ රටක තියෙන අපහසුකම් මැද්දෙ ‘ටබ්’ එකක රූපගත කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකේ කොහෙවත් අපි වගේ අවදානමක් අරගෙන මුහුද මැදට ගිහිල්ලා ෆිල්ම් එකක් කරලා නැතුව ඇති. අපිට රක්ෂණයක්වත් තිබුණෙ නෑ. ඒක බිහිසුණු අත්දැකීමක්.
මුහුදට කැමැතිද?
මම මුහුදට කැමැතියි. මට පීනන්න පුළුවන්. කොහොමත් මුහුද මට පිස්සුවක් වගේ. මම ආයෙමත් ධීවරයෝ එක්ක මුහුදට යනවා. ධීවර රැකියාව කියන්නේ ලෝකෙ තියෙන අමාරුම අනතුරුදායක රැකියාවක්. අපේ ලංකාවෙ මිනිසුන් පීනන්න දන්නේ නැහැ. හතර වටේම මුහුද, ගංගා, ඇළ දොළ තියෙනවා. ඒත් පීනන්න දන්නෙ නැතුව ගිලිලා මැරෙනවා. අපේ අම්මා මං පොඩි කාලේ මාවත් බය කළා. මගේ ඔළුවේ සුලියක් තියෙනවා. පීනන්න යන්න එපා කියලා.
අධ්‍යක්ෂවරයා ගැන?
අරුණ ජයවර්ධන අපට ඉන්න හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට මේ චරිතය කරන්න කතා කළාම මගේ ඉහේ මලක් පිපුණා වගේ දැනුණා. ඒ වගේ ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම කොයිතරම් දෙයක්ද? හේමාල් හා අශාන් එක්ක මට මීට කලින් වැඩ කරන්න ලැබිලා තිබුණේ නැහැ.
චිත්‍රපටයේ විශේෂත්වයක් තිබුණාද?
ඔව් ඉතින් නිළියෝ කවුරුවත් හිටියේ නැහැ. ඒ වෙනුවට සෙක්ස් ඩෝල් එකක්නෙ තිබුණේ. ඒක සංකේතයක්. අපි එයාව චිත්‍රපටය ඇතුළේ ලස්සනට තියලා තිබ්බා. ඒක කිලෝ 50ක් විතර බරයි අඩි පහක් විතර උසයි. මට තමයි හැමදේම කරන්න සිද්ධවෙලා තිබුණේ. ලංකාවේ මිනිස්සුන්ට ඒක අලුත් අත්දැකීමක් වෙයි. දැන් ඉන්න ප්‍රේක්ෂකයෝ දියුණුයි. අලුත් පරම්පරාව හැම වෙලාවම අප්ඩේට් වෙනවා. ඒක අපේ සිනමා කර්මාන්තයට හොඳයි.
ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ?
ප්‍රේක්ෂකයින්ට පුළුවන් චිත්‍රපටයේ මාලන්ගේ චරිතය ගැන අදහසක් දෙන්න. ඒ දෙන අදහස මට වැදගත්. සම්මාන කියන්නේ වෙනමම කාරණයක්. පසුගිය කාලේ එකකට එකක් වෙනස් හොඳ ෆිල්ම් හුඟාක් තිබුණා. ඒවාට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබුණා. අපිට ෆිල්ම් එකක් දුවවන්න ඕනේ නැහැ. ඒක අරන් දුවන්න කටකතාව තමයි වැදගත් වෙන්නේ. මේ අලුත් අත්දැකීම මාරියා විඳගන්න එන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.
ඔහු ආරක්ෂා කරගත යුතු අධ්‍යක්ෂවරයෙක්.
ප්‍රියන්ත සිරිකුමාර
මාරියා චිත්‍රපටය ඔබට දැනුණේ?
සාමාන්‍යයෙන් අනෙක් චිත්‍රපට එක්ක බලද්දි නිතරම හමුවන වර්ගයේ චිත්‍රපටයක් නොවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. මුහුද හා ධීවර ජීවිතත් එක්ක සම්බන්ධ වුණු කතා පුවතක්. පෞද්ගලිකව මමත් එහෙම චරිතයක් කරලා තිබුණේ නැහැ.
අජීවී කාන්තාවක් පිළිබඳ?
නිර්මාණයක් ගත්තම අපිට ඒ වෙලාවේ ශරීරයක් හැටියට කාන්තාවක් ඒ තුළ නැති වෙන්න පුළුවන්. ඒ රැකියාව පිරිමි සමූහයක් එකතු වෙලා කරන රැකියාවක් නිසා. ඒ රැකියාව කරද්දී ශාරීරිකව, මානසිකව අඹුදරුවන්ගෙන් ඈත්වෙලා විශේෂ අවදානමක් අරගෙන කරන කටයුත්තක් බෝට්ටුවක් ඇතුළේ. අපිට එහෙම කාන්තාවක් පෙනුණේ නැති වුණත් ඒ හැම කෙනකුටම මවක්, බිරියක්, දියණියක්, සහෝදරියක් ආදී වශයෙන් හැම ආකාරයටම කාන්තාව නියෝජනය වෙනවා. ගොඩබිමට වඩා මුහුදු ජීවිතය ඇතුළේ ගැහැනිය ප්‍රබල විදියට පිරිමින්ගේ මනස තුළ ජීවත් වෙනවා. චිත්‍රපටය පුරාමත් අපට ඒක පෙන්නුම් කරනවා.
ඔබ රඟපෑ චිත්‍රපට කිහිපයක් සාර්ථක ලෙස තිරගත වුණා?
ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා. රංගන ශිල්පියෙක් හැටියට රංගනය ගැන වුවමනාවක් ඇති පුද්ගලයෙක් හැටියට උත්කර්ෂයට නංවන්න පුළුවන් චරිත තියෙන චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ චිත්‍රපට මීට වසර කිහිපයකට කළින් නිර්මාණය වුණු ඒවා. හොඳ දේවල් ප්‍රේක්ෂකාගාරය වෙත දිය යුතුයි කියන බලාපොරොත්තුව ඇතුව කළ නිර්මාණය හැටියට ඒවා හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයින් ඒවාට හොඳ යහපත් ප්‍රතිචාර දැක්වීම මේ වෙලාවේ සතුටට කාරණයක්. මාරියා චිත්‍රපටයටත් එහෙම කරාවි කියන බලාපොරොත්තුව තියෙනවා.
මාරියා චිත්‍රපටයේ කණ්ඩායම?
ඒක ලොකු අත්දැකීමක් මහේන්ද්‍ර, හේමාල්, දසුන්, අෂාන්, සුරන් සහ අද අප අතර නැති දර්ශන් ධර්මරාජ්වත් සිහිපත් කරන්න ඕනෑ. අපි හැමෝටම ලැබුණු විරල අවස්ථාවක් මාරියා චිත්‍රපටය. අපි අතර හොඳ එකමුතුකමක් ගොඩනැඟුණා. අපේ රංගන ශිල්පීන් පෞද්ගලිකව තමන්ගේ ජීවිතය ගැන නොසිතා කටයුතු කළා. රංගන කාර්ය වෙනුෙවන් ඔවුන් කළ ඒ කැපකිරීම මට විශාල හැඟීමක් ඇතිවුණා. අනෙකුත් කාර්මික ශිල්පිනුත් තමන්ගේ කාර්යය වගකීමකින් කළා. මාරියා අධ්‍යක්ෂවරයා හැටියට අරුණ ජයවර්ධන ගැන කලින් සිටම මම විශ්වාසය තබා තිබුණා. ඔහු පළමු චිත්‍රපටයේ සිට ඔහුට තියෙන නිර්මාණාත්මක හැකියාව අවබෝධ වුණා. ඔහු ආරක්ෂා කරගත යුතු අධ්‍යක්ෂවරයෙක්.
ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදකවරයා
අපට හමුවුණු ගැළපෙන නිෂ්පාදකවරයෙක්. ඔහු මුදල් යොදවා නිකම් බලා සිටින්නේ පුද්ගලයෙක් වුණේ නැහැ. ඉන්ද්‍රජිත් සිල්වා කියන්නේ වෙනත් විෂය ක්ෂේත්‍රයක ව්‍යවසායකයෙක් හැටියට පරිණත ඔහුගේ ව්‍යාපාරික අත්දැකීම් ආදී හැම දෙයක්ම යොදාගෙන ඔහු චිත්‍රපටය තුළ සිටියා. ඒ දායකත්වය හුඟක් වටිනවා. අනාගතය සඳහා අපි ඔහුව ආරක්‍ෂා කරගත යුතුයි. මාරියා චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගමන් කිරීම අපට වගේම ඔහුටත් හුඟක් වටිනවා.
දියඹ හා බැඳි හාද ‘මාරියා‘ මා එක් කළා.
සුරන් දසනායක
කලාවට සම්බන්ධ වුණේ?
කලාවට එකතු වුණේ අහම්බෙන්. පාසල් කාලයේ ධීවරයෙක් වගේ සැරසිලා නාට්‍යයක පෙනී හිටියා. ඒක විතරමයි කරලා තියෙන්නේ. ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. මම විදේශගත වෙලා හිටිය කාලේ පබා ටෙලි නාට්‍ය හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. අපි හරි ආසාවෙන් ඒක බැලුවා. මට රඟපාන්න කැමැත්තක් ඇතිවුණා. පබා ටෙලි නාට්‍ය සමගිපුර වසන්තගේ හැටියට සුළු රඟපෑමක් කළා. ශාන්ත සොයිසාගේ පිනි නාට්‍යයේ චරිතයක් ලැබුණා. කුඩා චරිත කරමින් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ආවා. ප්‍රධාන චරිතයක් කළේ “97 ලව් ස්ටෝරි“ අරුණ ජයවර්ධනගේ චිත්‍රපටයේ. අනුරුද්ධ ජයසිංහගේ “ධාරා” චිත්‍රපටයෙත් චිත්‍රපට කිහිපයත් හොඳ චරිත කරලා තියෙනවා. ජගත් ආනන්දගේ “යකඩ මනමාලි” ඉදිරියට එන්න තියෙනවා.
මාරියා චිත්‍රපටය අවස්ථාව ලැබෙන්නේ?
මගේ මුහුදත් එක්ක තියෙන සම්බන්ධය නිසා. මම ජීවත්වෙන්නේ මීගමුවේ මුහුද ආශ්‍රිත පරිසරයක. සති දෙකක් විතර මුහුදු ගිහින් තියෙනවා. මාරියා අධ්‍යක්ෂක වන අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් හිරු ටීවී එකේ එකේ මුහුද හා ධීවරයෝ සම්බන්ධ වාර්තා වැඩසටහන් කරද්දී මමත් ඒවාට සම්බන්ධ වුණා. ඒ කාලවලදී ධීවරයෝ මුණගැහුණු නිසා ඔවුන්ගේ කටයුතු ගැන දන්නවා. මේ හැම දෙයක්ම මාරියා චිත්‍රපටියට සම්බන්ධ වෙන්න හේතු වුණා.
මාරියා ඔබේ රංගන ජීවිතයට බලපෑවේ
මාරියා කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට හඳුන්වන්න පුළුවන්. අපිට සම්මාන ලැබුණා. ඉන්දියාවේ ජායීපූර් අන්තර්ජාතික සිනමා උලෙළෙට යන්න ලැබුණු එකත් මට ලැබුණු වටිනා අවස්ථාවක්.
ප්‍රවීණයෝ විශාල පිරිසක් මැද ඔබ?
මම හරිම වාසනාවන්තයි. ඒ වගේ පිරිසක් එක්ක එකට ඉන්න ලැබීමත් විශාල සතුට සතුටක්. මම අලුත් කියලා කවුරුවත් හිතුවේ නැහැ. ඔක්කොම ප්‍රවීණ අය මම විතරයි අලුත්. ඒත් ක මට දැනෙන්න දුන්නේ නැහැ. අපේ අධ්‍යක්ෂතුමා අපිට පුදුම නිදහසක් දුන්නා. ඔහු දේවල් කරන්න කියන්නේ නැහැ. අපි මෙහෙම කරමු නේද කියලා අහනවා. ප්‍රවීණයෝ හැමෝම දුන්නු උපදෙස් මට හුඟාක් වටිනවා.
මාරියා ඔබට නැවුම් අත්දැකිමක් වේවි
අධ්‍යක්ෂ – අරුණ ජයවර්ධන
ශිල්පීය දායකත්වය කොහොමද?
මාරියා චිත්‍රපටයට ලංකාවේ සිටින විශිෂ්ටතම රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ වුණා. මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ, හේමාල් රණසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, අෂාන් ඩයස්, සුරන් දිසානායක ඒ වගේම දක්ෂ කාර්මික ශිල්පීන් පිරිසකුත් සහභාගි වුණා. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දියයට රූපගත කීරිම්, මැක්ලේන් ඇකඩමිස්, සංස්කරණය ඩිලන්ත පෙරේරා, කලා අධ්‍යක්‍ෂණය සුනිල් ප්‍රේමරත්න, නිෂ්පාදන සැලසුම්කරණය සහ ගීත රචනය අංජලී බුදවත්ත ජයවර්ධන ඇතුළු සියලුම ශිල්පීන්ගේ නොමසුරු දායකත්වය චිත්‍රපටය වෙනුවෙන් ලැබුණා. මේ නිර්මාණ කටයුත්ත වෙනස්ම අත්දැකීමක්. අනතුරුදායක දේවල් සිද්ධ වුණා. නමුත් වාසනාවට අපට විශාල කරදරයක් ඇතිවුණේ නැහැ. චරිත නිරූපණය කරපු ශිල්පීන් හැමෝටම තම තමන්ගේ චරිතය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිසා අපහසුතා මැද වුණත් කතාබහ කළ හැකි මට්ටමේ නිර්මාණයක් කරන්න පුළුවන් වුණා කියලා හිෙතනවා.
නිෂ්පාදන කාර්යය සිද්ධ වුණේ?
මහා මුහුද මැදට ගිහින් විශාල අවදානමක් අරගෙන රූපගත කරන්න සිද්ධ වුණේ. මේ ක්ෂේත්‍රය තුළ අපට තියෙන අඩු පහසුකම් නිසයි සමහරු අපට කැමරා දෙන්නත් අකැමැති වුණා. මීගමුව ප්‍රදේශයේ ධීවර යාත්‍රාවන්, ජීවිත ආරක්ෂකයින්, නාවික හමුදාව අපට සහයෝගය දුන්නා. අපේ නිෂ්පාදකවරයා ඉන්ද්‍රජිත් සිල්වා අපට කිසිම අඩුපාඩුවක් ඇති නොවෙන්න කටයුතු කළා. ඔහු මුහුද මැද නතර වී සිටීමට ‘යොට්’ එකක් ලබා දී තිබුණු නිසා අපේ කටයුතු පහසු වුණා.
මාරියා චිත්‍රපටයට ලැබුණු සම්මාන පිළිබඳවත්…
වියට්නාමයේ හැනෝයි නුවරදි පැවතුණු 6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශය නියෝජනය කරමින් මාරියා චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානයට ඒ රඟපෑ ශිල්පීන් 07දෙනාම හොඳම නළුවන් බවට පත්වුණා. රුසියාවේ යල්ටා අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමිවන සම්මානයත්, ඉන්දියාවේ ජායිජූල් අන්තර්ජාතික සිනමා උලෙළේ ග්‍රීන්රෝස් සම්මානයත් ලැබුණා.
මාරියා තිරගත වෙන්නේ…
ලංකාවේ චිත්‍රපට කර්මාන්තය තුළ හොඳ පිබිදීමක් තිබෙන පසුබිමක හොඳ චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ පෙළගැහෙන මේ අවස්ථාවේ මාරියා තිරගත කරන්න ලැබීමත් සතුටට කාරණයක්. මාරියා චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ තිරගත වුණා. ලංකාවේ තිරගත වීමට සමගාමිව අමෙරිකාවේ, කැනඩාව, එංගලන්තය වැනි රටවලත් තිරගත වෙනවා. මාරියා ඔබට නැවුම් අත්දැකීමක් ගෙන එන බව නිසැකයි.
TEXT – ෂෙරීන් පීරිස්
