Tuesday, December 9, 2025
Epaper
Home කෙටි කතාවකැපවීම

කැපවීම

by Shanaka Lakehouse

පුහුණුව සඳහා මා ගුරු විදුහලට කැඳවනු ලැබුවේ පොඩි පුතාගේ වයස මාස අටක් වෙද්දීය. නේවාසිකාගාරයේ සිට සතියකට වතාවක් ගෙදර ඒමට අවස්ථාව තිබුණද, මට මහා කැලඹිලි ගතියක් දැනිණි. කිසිවක් නොතේරෙන සිඟිත්තාට මවු උණුසුම අවශ්‍යම මොහොතක වෙන්වීම මෙන්ම, යන්තම් බහ තෝරන වියේ සිටි ලොකු පුතා දමා යාම ද සිත තදින් පාරවන්නකි.

” ඔය අවුරුදු දෙක එහෙ බලල මෙහෙ බලනකොට ගෙවිල යයි……. ”

අපේ අම්මා කීවේ, දරුවන්ගේ ද වගකීම පවරා ගනිමිනි.

මා උසස් පෙළ සඳහා ඉගෙන ගත්තේ විද්‍යා විෂයයන්ය. පුහුණුව සඳහා තෝරාගනු ලැබුවේ ගණිත අංශයටය. එය මා කිසි විටෙක බලාපොරොත්තු නොවූවකි.

විද්‍යාගාරයේ දී දැනුණු කැනඩා බෝල්සම් සුවඳ මට යළි යළිත් දැනෙන්නාක් මෙන් විය.

පාඨමාලාව වෙනස් කරගැනීම උදෙසා අමාත්‍යාංශයට ගිය කල දක්නට ලැබුණේත්, අසන්නට ලැබුණේත්, තෝරාගනු ලැබූ වැඩි දෙනෙකු විද්‍යා විෂයයන් ඉගැන්වීමේ පාඨමාලාවට යොමු වීමේ අපේක්ෂාවෙන් පැමිණ සිටි බව ය. කෙසේ වුවද ලද දෙයින් සතුටු වීමට අපට සිදු විය. නැතහොත් පුහුණුව සඳහා තවත් කාලයක් බලා සිටිය යුතුව තිබුණි.

හැම නේවාසිකාගාරයකම වාගේ මා මෙන්ම සිඟිති දරුවන් සිටි තරුණ වියේ මවුවරුන් වී, පවුලෙන් දුරස් වීමත්, විද්‍යා විෂයම පතාගෙන සිට ගණිත අංශයට මාරු වී වැඩි දෙනකු පැමිණ සිටීමත් හේතුවෙන් අපට තිබුණේ පොදු ගැටලුය. බාලිකා නිවාසයක මෙන් නැවුම් බවක් නොතිබුණත් ඊට වැඩි නිදහසක් ද අපට තිබුණි. ඒත් ඒ නිදහස රිසි සේ භුක්ති විඳීමට නොලැබුණේ අප තවත් බැමිවලින් බැඳී හුන් බැවිනි.

අවිවාහක සොහොයුරියන් සති අන්තය එනතුරු බලා උන්නේ සිත් සේ විනෝද චාරිකාවල නියැළීමටය. මා හැම සති අන්තයකම ගෙදර පැමිණියත් දුර පළාත්වල සිට පැමිණි සොහොයුරියන් ගෙදර ගියේ මසකට වරකි.

සති අන්තයේ ගෙදර පැමිණ ආපසු ගියේ දෑසින්, මුවින් පිට නොකළ දුක සිතේ දරාගෙන, බසයෙන් බසයට මාරු වෙමින් ලොකු සටනක යෙදෙමින් වෙහෙසට පත්වෙමිනි. බොහෝ දිනවල ඇඳිරි වැටීගෙන එද්දී, මිතුරියක හමු නොවුණහොත් අන්තිම බසයෙන් බැස ගුරු විදුහල් පාරේ කන්ද නඟින කල මට හැඟුණේ, අතේ එල්ලාගෙන ගිය ඇඳුම් බෑගය පසෙක තබා, බෝක්කුවක් මත හෝ ටික වේලාවක් විවේක ගන්නට ඇත්නම් කෙතරම් පහසුවක් දැනේදැයි කියාය. පාරේ එහා මෙහා රස්තියාදු වෙන්නන් නොසිටියා නම්, ඒ නාන්නාඳුනන පරිසරයේ මා හිතේ හැටියට විවේක ගන්නවා සිකුරුය.

රෑ බෝවී තිබූ හැම දවසකම අන්තිම බසයෙන් බැසීමට ළං වෙද්දී මා විපරම්කර බැලුවේ මා සමඟ බසයෙන් බැස ගුරු විදුහල් පාරේ යාමට සුදුසු කිසිවෙකු සිටිනවා ද කියාය. ඒ හැමදාමත් මිතුරියක හෝ වැඩිහිටියකු සිටීම මා සතුව තිබූ භාග්‍යයක් යැයි අදටත් හැඟේ. එවැන්නකු නොසිටියහොත්, ප්‍රධාන පාර අයිනේ වූ අපේ විදුහල්පතිතුමියගේ නි‍ෙවසේ රැය ගෙවා දැමීම මගේ ඒ ගමනාන්තයේ අවසන් බලාපොරොත්තුව විය. රෑ බෝවී පැමිණෙන සිසුවියකට, ඇගෙන් එවැනි සමාවක් ලැබෙන්නේ එකම එක වතාවක් පමණක් බව, ඇය අපේ පුහුණුව පටන් ගත් මුලදීම දන්වා තිබුණි. ඇනුම් බැණුම් මැද වුවද අපට තිබුණු සුරක්ෂිතම තැන එතැනය.

එහෙත් ඇගෙන් එවැනි පිහිටක් පැතීමට සිදු නොවීම ද වාසනාවකි.

වරක් එවැනි රැයක මට හමු වූයේ, නගරයේ රෝහලේ වැඩ මුරය අවසන් කර යන මැදිවියේ යුවළකි.

“මාව අපේ ගේට්ටුව ළඟ එළිය පෙනෙන තැනට ඇරලවන්න පුළුවන්ද ? ”

බසයෙන් බැස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි.

“හරි හරි දරුවෝ අපි යන්නෙත් ඒ කිට්ටුවටම තමයි……….” ඒ මවත්, පියාත් දෙඩුවේ මා කෙරෙහි උපන් දයාවෙනි.

මා ගේට්ටුවෙන් ඇතුළුවන තෙක් ඔවුන් බලා සිටිනු දුටුවේ ආපසු හැරී බලන කලය. විදුලි එළිය හැම තැනකම හොඳින් පැතිර තිබුණි. අපේ නේවාසිකාගාරය තිබුණේ කන්ද මුදුනේමය. අතරින් පතර තිබූ අලිගැට පේර ගස් මැදින් වෙනත් ලොකු ගස් වර්ග ද ඉහළට විහිද තිබුණි. අතු දමමින් ඉහළටම වැඩෙන ලොකුම ලොකු කොස් ගස අසල වඩාත් තද එළියක් දෙන විදුලි පහනක් දැල් වුණත් එය යටින් තනිව ගිය හැම රැයකම මගේ සිත සසල වූ බව මතකය. වසර ගණනාවකට පෙර, ඒ ගසේ අත්තක එල්ලී සියදිවි හානිකරගත් ගුරු සිසුවිය පිළිබඳ පුවත, ඒ හැමදාමත් මට සිහිවිය. දරුවන් බිහි කිරීමට සිටීම හේතුවෙන් ඇයට දෙවරක්ම ගුරු පුහුණුව අතහැර යාමට සිදු වී ඇත. තෙවැනි වතාවේ පැමිණි කල ද දරුවකු ලැබීමට සිටින බව දැනගත් විට ඇය මෙම කොස් ගසේ අත්තක එල්ලී දිවිනසාගෙන ඇත.

“ආන්න විපුලි එනවා……….. ” මගේ පාවහන් පැරණි තරප්පුව මත ගැටෙන හඬ හඳුනාගෙන කෑ ගසන, අපේ කාමරයේ සොහොයුරියන්ගේ ඝෝෂාව ඇසෙන තෙක්ම, අනන්ත වූ කටුක සිතුවිලි මැද රිදුම් දුන් සිත, හදිසි භාග්‍යයක් පහළ වූවා සේ පිනා යන්නේ නව ජීවයකිනි.

කවුරුන් වුවද ගෙදර ගොස් ආපසු එද්දී රසකැවිල්ලක් හෝ පලතුරු ටිකක් හෝ රැගෙන ඒම සිරිතක්ව තිබුණි. වෙරළු ගෙඩිය බෙදාගෙන කෑවාක් මෙන් අපි ඒවා බෙදාගෙන කෑවෙමු. අම්මා හදා දුන් රස කැවිල්ලක්, එහෙමත් නැත්නම් කඩයකින් මිලදී ගත් දෙයක්වත් ගෙනයාම මගේ ද සිරිත වී තිබුණි. ඒවා භුක්ති විඳින අතරේ, ගෙවල්වල දුක සැපත්, මඟදී විඳි ගැහැටත් විමසීම හැමදාකම සිදු වූයේ විහිළු තහළු සමඟ ය.

එදා මා ගෙන ගිය පාර්සලය ඔවුන් භුක්ති වින්දේ වැඩි කතාබහකින් තොරවය.

මගේ හොඳම මිතුරිය වූ රංජනී කොහොමත් මා දුටු විගස උඩ පනින්නේ නැති ටික විතරය. එදා ඇගේ මුහුණ ද අමුතු ය. ඇඳුම් මාරු කරන අතරේ මා වටපිට බැලුවේ රංජනී කෙසේ වෙතත්, පියගැට පෙළ නඟිද්දි අපේ කාමරයෙන් නැඟුණු ඝෝෂාව නැති වී හැම දෙනාගේම නිහඬතාවය ගැන විමසිලිමත් වෙමිනි. පොත් පෙරළාගෙන සිටියේ කොයි කවුරුත් පාඩම් වැඩවල යෙදෙන බවක් අඟවමිනි.

“බෝතලේ තේ තියෙනව බීපං….”,

රංජනී කතා කළේ ද මා ඇඳුම් මාරු කළාටත් පසුව අමුතුවට ය.

” මොකද? අද මේ කවුරු කවුරුත් පොතටම ඇලුන වගේ ඉන්නෙ? මං එනකොට නම් ඇහුණේ වෙනද වගේම සද්දෙ දාගෙන ඉන්නවා.මොකද්ද සිද්ධ වුණේ? ”

මා ඇසුවේ තේ කෝප්පය තොල ගාන අතරේය.

“මං උඹට බත් එක අරන් තියලයි තියෙන්නෙ” ඇය මගේ ප්‍රශ්නය මඟහරින්නට මෙන් කීවා ය.

මා රෑබෝ වී එන විට, ඇය කෑම ශාලාවෙන් මගේ කෑම පිඟාන රැගෙන එන බව මම කවදත් දැන සිටියෙමි. ඒ ගැන අමුතුවෙන් කීමේ වුවමනාවක් තිබුණේ නැත.

“බත් කන්න පස්සෙ බැරියැ. මොනවද උඹලට සිද්ධ වෙලා තියෙන්නෙ.” මා ඇසුවේ උස් හඬිනි.

”කෑගහන්න එපා. අපි ඔක්කොම බයවෙලා හිටියෙ උඹ එන්න රෑ වෙනකොට ”.

“මොන එහෙකට බය වෙන්නද? අද රෑ නැත්නම් මම හෙට උදේ හරි එනව නේ ”

“උඹ දන්නෙ නෑනෙ මෙහෙ වුණේ මොකක්ද කියල. උඹ එද්දි ගේට්ටුව ළඟදි සෙකියුරිටි එකෙන් මොකුත් කිව්වෙම නැද්ද? ” ඇය ඇසුවේ පුදුමයකින් මෙන් ඇසුත් ලොකු කරගෙන ය.

“වෙනදටත් ඔය ඒවා මේව කියවනවා නම් ඇහිල තියෙනවා. කොස් ගහ දිහාව බලාගෙන වේගෙන් එනවා මිසක කවදත් මං ඒ කතා ගැන හිතුවෙ නෑ. අදත් මුකුත් කිව්වද කියල ඇහුණද නැද්ද කියන එක මට මතකත් නෑ…..”

“උඹ එන්න පැය දෙකකට විතර ඉස්සෙල්ල අමරා ඇවිත් තියෙනවා.”

”ඔව්. මටත් සමහරදාට අමරාව හම්බවෙනවනෙ.”

“අමරා කොස් ගහ යටදි බයවෙලා. ”

“හොල්මනක් වගේ දෙයක් දැකලද?”

“එයා දැකල තියෙනවා. සුදු ඔසරියක් ඇඳගත්ත ලේඩි කෙනෙක් ඉස්සරහට

ඇවිත්….”

“ඉතින් එයා බයවෙලා කෑ ගහලද? ”

“කෑගහල විතරක් නෙමේ. වැටිලා එතැන තිබුණු මොකක්දෝ වෙනත් ගහක ඔළුව වැදිල සිහියත් නැතුව ගිහින්. ”

”සිහිය ආවමද සිද්ධ වෙච්ච දේ ගැන කියලා තියෙන්නෙ? ”

“ඔව්. ඒත් එයාව හොස්පිට්ල් එකට ගෙනිහින් … තුවාලෙන් ලේ හුඟක් ගිය හින්ද. එයාට හොඳටම අමාරුයිලු…. මීට පස්සෙ රෑ වෙලා එන්ඩ එපා….. අපි හරි බයෙන් හිටියෙ….”

‘මටත් අරයව හම්බවෙයි කියලද ? ”

“විහිළුවක් නෙමෙයි……..හෙට උඹට අනික් අයත් කියයි. මේට්‍රන් හෙමත් කියයි.

ප්‍රින්සිපල් හෙමත්…”, රංජනී දිගටම කියාගෙන ගියේ බැරෑරුම් ලෙසය.

දිවි නසාගත් සොයුරිය ගැන ඇත්තටම මා තුළ වූයේ අනුකම්පාවකි. ඇය ගෙන තිබූ තීරණය නිවැරැදි යයි මා කොහෙත්ම පිළිගන්නේ නැත. එහෙත් ඇයට තමා ඉදිරියේ පැනනැඟුණු ගැටලු දරාගැනීමේ සීමාව ඉක්මවා යන්න ඇත. සිඟිත්තන් දෙදෙනකුත් ඇතුළු සිය කැදැල්ල සෝ සයුරක ගිල්වමින්, නූපන් දරුවකුත් සමඟ අවසන් ගමන යාම මහා පාපයක් බව අපි හොඳින් දනිමු.

කෙසේ වෙතත් ඒ තීරණය අපේ මුළු මහත් පුහුණුවන කාන්තා ගුරු පරපුරටම නීති රීති ලිහිල් කිරීමට සමත් විය!

මෙවන් තත්ත්වයක් මෙහි ඇතිවී තිබුණු බව දන්නවා නම්, මගේ මවුපියන් හා සැමියා ද, මේ රෑ බෝවන ගමනට අනුබලයක් හෝ අවසරයක් හෝ මට දෙන්නේ නැත.

ඊළඟ වතාවේ පටන් ගෙදරින් එද්දී, උදේ වරුවක පිටත් වී ආ යුතු යැයි මම තරයේ සිතට ගතිමි.

 

නිමි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?