Monday, December 8, 2025
Epaper
Home Beautyසොබාදහමේ රුව වඩන රහස්

සොබාදහමේ රුව වඩන රහස්

by Shanaka Lakehouse

කුංකුම

සැෆ්රන් හෙවත් කුංකුම යනු Crocus sativus නම් මලෙන් ලබාගන්නා ලෝකයේ අතිශයින්ම වටිනා සහ මිල අධිකම කුළුබඩුවක් ලෙස සැලකේ . එය සාමාන්‍යයෙන් “සැෆ්රන් ක්‍රොකස්” (saffron crocus) ලෙස හැඳින්වේ. මෙම මලේ ගැඹුරු රතු පැහැති ස්ටිග්මා හා ෆයිල් (threads) එකතු කර වියළා පසුව ආහාර සුවඳවත් කිරීමට සහ වර්ණ ගැන්වීමට භාවිත කරයි. “සැෆ්රන්” යන ඉංග්‍රීසි වචනය පරණ ප්‍රංශ භාෂාවේ safran යන වචනයෙන් උත්පන්නව ඇත.

කුංකුමවලින් එන විශේෂ රසය සහ විශේෂ සුවඳ, picrocrocin සහ safranal නම් ශාක රසායනික ද්‍රව්‍ය දෙක නිසා සිදුවේ.කුංකුමවල ගුණාත්මකත්වය තීරණය වන්නේ රතු ස්ටිග්මා හා කළු ෆයිල් ප්‍රමාණය අනුවය. එය ප්‍රදේශ අනුව වෙනස් වන අතර, ශක්තිය හා වටිනාකමද ඒ අනුව වෙනස් වේ. 2024 වන විට ලෝක කුංකුම නිෂ්පාදනයේ සම්පූර්ණ ප්‍රමාණයෙන් 90%ක් පමණ ඉරානය විසින් නිෂ්පාදනය කරනු ලැබීය. එහි එක් කිලෝග්‍රෑමයක් සඳහා අමෙරිකානු ඩොලර් 5,000ක් හෝ ඊට වැඩි මිලක් නියම වේ.

සූර්‍යාලෝකය හොඳින් ලැබෙන කාලවලදී කුංකුම වගාකරනු ලබයි. කුළුබඩුවක් ලෙස මෙන්ම රුව වඩවන ස්වාභාවික ඖෂධයක් ලෙසින් ද කුංකුම සැලකිය හැකිය. විශේෂයෙන්ම අරාබිය, ඩුබායි වැනි මැදපෙරදිග රටවල්වල සහ ඉන්දියාව වැනි රටවල්වල කාන්තාවන් විසින් එය රූපලාවණ්‍ය ඖෂධයක් ලෙසින් භාවිත කරනු ලබයි.

කුංකුම පානය

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි කෝප්ප 1ක් (පිටිකිරි හෝ නැවුම් එළකිරි)

කුංකුම කෙඳි 5ක් හෝ 6ක් පමණ

සීනි තේ හැඳි 1ක් (අවශ්‍ය නම්)

පිළියෙල කරගන්නා ආකාරය

භාජනයක් සූදානම් කරගෙන එය මද ගින්නේ තබා කිරි එක්කර ගන්න.

එයට සීනි එක්කර ගන්න.

දැන් කුංකුම කෙඳි එක්කර ගන්න.(මඳවේලාවකින් කුංකුමවල වර්ණය කිරිවලට එක් වී කහ පැහැයක් ගනී.)

සම්පූර්ණයෙන්ම කහ වර්ණය මිශ්‍ර වූ පසු ළිපෙන් ඉවත් කරගන්න.

මීට අමතරව කුංකුම මඟින් අධිරුධිර පීඩනය පාලනය කරන අතර සුවදායි නින්දක් ලබා දීමද සිදු කරයි. එමෙන්ම එමඟින් මතක ශක්තිය ද වර්ධනය කරයි.

වෙනිවැල් ගැට

සොබා දහමේ රුව වඩන රහස් අතර තවත් එක් සුවිශේෂී ඖෂධයක් වන්නේ වෙනිවැල්ය. සිනිඳු පොත්තක් සහිතව විශාලව වැඩෙන කාෂ්ඨමය වැලක් වෙනිවැල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය coscinium Fenestratum (Gaertn) Colebr වේ. මෙය Menisrermaceae (ගුඩුචි) නම් කුලයට අයත් වෙයි. මී හරක් දිගේලි කිරීමට හා ඇදීමට ගන්නා නිසා බාන්වැල් නමින් ද, කහපාට නිසා කහවැල් නමින් ද හඳුන්වන මේ වැල් වර්ගය ඖෂධ වශයෙන් ගනු ලබන්නේ “දාරුහරිදා” නමැති ඉන්දියානු ගස් වර්ගය වෙනුවටයි. වෙනිවැල්, වනුවැල් යනුවෙන් පැරැන්නෝ අතර ප්‍රචලිත මේ බාන්වැල්, මිනිසාගේ පයට පෑගීීමෙන්ද මෙහි ඖෂධ ගුණ ලැබෙන බව නොරහසකි. මෙහි ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවතී. සෙ. මී. 10 – සෙ. මී 20ක් පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය. අග්‍රය දෙසට තියුණු ලෙස සිහින් වේ. පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳුය. පහළ කොටස් කහ පැහැ බූවකින් ද වැසී පවතී. කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද, කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක් ද මේ පත්‍ර සතුය. මෙය ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයේ වනාන්තරවල මෙන්ම, අතරමැදි කලාපයේ ද වැවේ. ඖෂධ වටිනාකම බෙහෙවින් ඉහළ වෙනිවැල්, ඈත අතීතයේ පටන් අද දක්වා රූප සම්පත්තිය වැඩි කිරීම සඳහා ශරීරයේ ගැල්වීමට කාන්තාවන් ප්‍රයෝජනයට ගනී. වෙ‍ෙළඳපොළේ අධික මිල ගණන් යටතේ තිබෙන කෘත්‍රිම නිෂ්පාදන භාවිත නොකර වෙනිවැල් ගැට භාවිත කරගනිමින් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව පැහැපත් සහ නීරෝගි සමක් ලබාගත හැකිය. ආයුර්වේද ඖෂධහල්වලින් වෙනිවැල් ගැට කුඩු ආදිය ද ලබා ගත හැකිය.

 

වෙනිවැල් ගැට ෆේස් පැක්

අවශ්‍ය ද්‍රව්‍ය

වෙනිවැල් ගැට පවුඩර් (කුඩු)

මී පැණි ස්වල්පයක්

රෝස වතුර

පිළියෙල කරගන්නා ආකාරය

මෙම අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මෘදු ආලේපයක් සාදාගෙන මුහුණේ විනාඩි පහක් පමණ ආලේප කර තබා සෝදාහරින්න.

සුදුහඳුන්

සොබාදහමේ ශාක බොහොමයක් අතර සුවඳ හමන ශාක ඇත්තේ අතළොස්සකි. ඒ අතර සුදුහඳුන් ශාකයට ඖෂධීය මෙන්ම වාණිජමය වටිනාකමක් හිමිවේ. එමෙන්ම සුදුහඳුන් ශාකය පූජනීය ශාකයක් ලෙස ද හඳුන්වයි.එයට හේතුව මේ ශාකයේ අරටුවලින් සුගන්ධ කුටි, කරඬු වැනි පූජනීය දේවල් නිර්මාණය කිරීම. එයටම ආවේණික සුගන්ධවත් බවක් පවතී. වාෂ්පශීලී සුගන්ධවත් තෛලයක් මෙහි පවතී. ආයුර්වේදයට අනුව සුදුහඳුන් ශරීරය සිසිල් කරවන ඔසුවකි. ශරීරයට ඇතුළු වන විස නැසීමේ හැකියාවක් ද සුදු හඳුන් ශාකයට ඇත. ජීර්ණ පද්ධතියේ ඇති වන රෝග, රුධිර අතීසාර, අර්ශස්, කාන්තා රෝග හා ස්නායු රෝගවලටත් ප්‍රතිකාර කිරීම සඳහාත් මෙම ශාකය යොදා ගැනේ. මෙහි පවතින මේ සුවිශේෂී සුගන්ධවත් බව නිසාම ආයුර්වේදයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා ද සුදුහඳුන් ශාකය යොදා ගැනේ.

 

සුදුහඳුන් පැක් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුහඳුන්

විටමින් ඊ

ලෙමන් යුෂ

පිළියෙල කරගන්නා ආකාරය

මෙම අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර වියළුණු පසු සාමාන්‍ය වතුරෙන් මුහුණ තෙත් කර , කවාකාරව ස්ක්‍රබ් කරමින් සෝදා හරින්න.

කහ

විෂබීජ නාශකයක් ලෙසින් හැඳින්වෙන “කහ” දකුණු ආසියාතික රටවල ඉතා බහුලව දක්නට ලැබේ. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කහ ස්වාභාවික සායම් වර්ගයක් ලෙස භාවිතකර තිබේ. මෙය ආසියාතික රටවල් වල ඉවුම් පිහුම් කටයුතු සඳහා බහුලව භාවිතා කරයි. ඒ එහි ඇති පැහැය සුවද හා රසය නිසාය.එමෙන්ම කහවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව, ආතරයිිටීස් පාලනය කිරීම, දියවැඩියාව පාලනය කිරීම, කොලොස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව රූපලාවණ්‍ය කටයුතු සඳහා ද බෙහෙවින් කහ භාවිත කරනු ලැබේ. කහ භාවිත කිරීම තුළින් සමට පැහැපත් බවක් ලබාදීම, කුරුලෑ ඇතිවීම වැළැක්වීම, සම නීරෝගි කරවීම,වියපත් බව වළක්වා ගැනීමට උපකාර කිරීම වැනි රූපලාවණ්‍ය වශයෙන් කහ වල ඇති වැදගත්කම් බොහොමයකි.

කහ ෆේස් පැක්

අවශ්‍ය අමුද්‍රව්‍ය

කුඩු කරගත් අමු කහ තේ හැඳි 1ක්

සුදුහඳුන් කුඩු මේස හැඳි 1ක්

මීපැණි තේ හැඳි 1

වතුර ස්වල්පයක්

පිළියෙල කරගන්නා ආකාරය

මේ සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර පිරිසුදු කර ගත් මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න. විනාඩි දහයක් හෝ පහළොවක් එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසුව මොයිස්චරයිසර් එකක් හෝ ටෝනර් එකක් ආලේප කරන්න.

 

TEXT – වර්ෂා සමරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?