Monday, December 8, 2025
Epaper
Home Highlightsනත්තලට නැතුවම බැරි රසම රස නත්තල් කේක්

නත්තලට නැතුවම බැරි රසම රස නත්තල් කේක්

by Shanaka Lakehouse

අවශ්‍ය ද්‍රව්‍ය

* සුල්තානා ග්‍රෑම් 300ක් (රේසින් හෝ කරන්ට්ස් ගන්න පුළුවන්)

* වියළි ගස්ලබු ග්‍රෑම් 150ක්

* වියළි අන්නාසි ග්‍රෑම් 150ක්

* පුහුල් දෝසි ග්‍රෑම් 200ක්

* චව් චව් ග්‍රෑම් 150ක්

* ඉඟුරු දෝසි ග්‍රෑම් 150ක් (කුඩාවට කැපූ)

* රටඉඳි ග්‍රෑම් 200ක්

* චෙරි (පාට දෙකක්) ග්‍රෑම් 200ක්

* සීට්‍රස් පීල් (දොඩම් හා දෙහි ලෙලි) ග්‍රෑම් 150ක්

* කජු (කුඩාවට කපන්න) ග්‍රෑම් 15ක්

* ලුණු ස්වල්පයක්

* මී පැණි මේස හැඳි 3ක්

* වැනිලා මේස හැඳි 3ක්

* ආමන්ඩ් එසන්ස් මේස හැඳි 2ක්

* රෝස් එසන්ස් මේස හැඳි 2ක්

* බ්‍රැන්ඩි හෝ බ්‍රැන්ඩි එසන්ස් මේස හැඳි 3ක්

* ජෑම් (මිශ්‍ර පලතුරු, අන්නාසි, ස්ට්‍රෝබෙරි)

සුවඳ කුඩු

* කරාබුනැටි 10ක්

* කරදමුංගු 10ක්

* කුරුඳු කැබැල්ලක්

* සාදික්කා ඇට 01ක්

(සියල්ල කබලේ බැද කුඩුකර හොඳින් හලා ගන්න.)

ඉහත සඳහන් සියලු පලතුරු හා සිරප් ටික බඳුනකට දමන්න. (කජු සහ සුවඳ කුඩු එකතු කරන්න එපා.) මෙම මිශ්‍රණය මාසයක් හෝ සතියකට වැඩි කාලයක් ඇතැමුන් තබනා අතර දවස් දෙක තුනකින් හැදුවත් ගැටලුවක් නොවේ. මෙය හොඳින් අනා රැපින් පේපර් එකකින් තදින් වසා තබන්න. ගොඩක් කල් තියෙනවා නම්, එනම් මාසයක් පමණ නම් දින දෙකකට සැරයක් කලවම් කර නැවත වසා තබන්න.

සමහරු මෙම කේක් එක කළු පාටට හදන අතර දැන් ජනප්‍රිය රන්වන් පැහැය හෙවත් ගෝල්ඩන් කලර් නත්තල් කේක් එකයි.

දෙවැනි පියවරට අවශ්‍ය ද්‍රව්‍ය –

* රුලං ග්‍රෑම් 400ක්

* දුඹුරු සීනි ග්‍රෑම් 400ක්

* බටර් හෝ මාගරින් ග්‍රෑම් 400ක්

* බිත්තර 08ක්

සාදන ක්‍රමය –

දැන් අවශ්‍ය දින වනතුරු වසා තැබූ පලතුරු මිශ්‍රණය ළඟට ගන්න. දෙවැනි පියවර විදිහට රුලං ටික මඳක් බැදගන්න. කජු කුඩාවට කපා රන්වන් පාට වනතුරු බැදගන්න. බිත්තර සුදුමද කහමද වෙන් කොට සුදුමදය පුළුන් වෙනතුරු ගසාගන්න. කහමදය පසෙකින් තබා ගන්න. බටර් එකට සීනි ටික එකතු කර හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරගන්න. මෙය ක්‍රීම් වී සීනි ටික සම්පූර්ණයෙන් දිය වූ පසු බිත්තර කහමදය එකතු කරන්න. ෙම් වනවිට සීනි සම්පූර්ණයෙන්ම දිය වී තිබිය යුතුයි. දැන් රුලං ටික ටික හැන්දකින් කලවම් කරගන්න. සමහර දේවල් වෙනස් වුණාට කමක් නෑ. මේ කේක් එක සෑදීමේදී මේ විදිහටම එන්න ඕනි කියලා නීතියක් නෑ. පලතුරුවලටත් සමහරු රුලං එකතු කරනවා. ඒකෙ ගැටලුවක් නෑ.

දැන් ලොකු භාජනයක් ගෙන පලතුරු ටික දමා රන්වන් පාටට බැදගත් කජු ටික දමන්න. සමහරු මේ කජු ටික කේක් එක බේක් වුණහමත් දානවා, කැමැති විදිහකට දාගත හැකියි.

දැන් අර පළමුව සකස් කළ මිශ්‍රණයට දෙවැනියට සකස් කළ රුලං, බටර්, සීනි, බිත්තර මිශ්‍රණය දමා හොඳින් අනන්න. අතින් අනන්න. (ග්ලවුස් එකක් දමා අතින් අනන්න.) මෙම කේක් එක පිපෙන කේක් එකක් නොවන බැවින් මෙයට බිත්තර සුදු මද දමා හොඳින් අනාගන්න.

පිරිසුදු කරගත් ට්‍රේ එක සූදානම් කරගන්න. මෙයට බේකිං ෂීට් ලේයර් පහක් හයක් පමණ දමන්න. එවිට කර නොවේ. ෂීට්වලින් ආවරණය කරගත් ට්‍රේ එකට කේක් මිශ්‍රණය දමා තුනීකර අවන් එකට දමා ගන්න. අඟල් එකහමාරක් පමණ උසට හදාගන්න. ලොකු උසකට දමන්න එපා.

දැන් සෙල්සියස් අංශක 130ත් 140ත් ප්‍රමාණයකට පැය දෙකක් තුනක් බේක් කරගන්න. අවන් එක ප්‍රී හීට් කළත් නොකළත් මෙම වෙලාවම බේක් කරගන්න. ටූත් පික් එකකින් බේක් වෙලා ඇතිද බලන්න.

බේක් වී අවසන් වූ පසුව අවන් එකෙන් පිටතට ගෙන උණුවෙන්ම තිබියදී පින්සලක ආධාරයෙන් බ්‍රැන්ඩි හෝ බ්‍රැන්ඩි සිරප් ටික මතුපිට ගාගන්න. දැන් මේ තත්ත්වයේ තිබියදීයි රිච් කේක් කියන්නේ. එනම් අයිසිං ලේයර් එක දැමීමට පෙර මෙම කේක් මිශ්‍රණය හඳුන්වන්නේ රිච් කේක් නමින්.

දැන් නත්තල් කේක් එක අයිසිං කරන හැටි බලමු.

කේක් එක ලොකු භාජනයක දමා කුඩු කරගන්න. මුලින් කජු, චෙරි එකතු කළේ නැතිනම් මේ වෙලාවේ එකතු කරගන්න. දැන් මේ පොඩි කරගත් කේක්වලට ජෑම් එකතු කරගන්න. කේක් ඔක්කොම එකපාරම අනන්නේ නැතුව ටිකක් පැත්තකින් තියන්න. ජෑම් හෝ මී පැණි වැඩි වුවහොත් එහි පදම සාදා ගැනීමට කේක් ටිකක් ඉතිරි කර තියන්න. මී පැණි ද දමන්න. මෙම කේක් එක තද පාටට ඕනේ නම් ගෝල්ඩන් සිරප් හෝ සීනි කැරමල් දමාගන්න.

දැන් ට්‍රේ එකට රැපින් ක්ලියර් පේපර් දමා එයට මෙම මිශ්‍රණය දමා හොඳින් අතින් තද කරන්න. රැපින් නොමැති නම් ලන්ච් ශීට් දමන්න.

දැන් උඩින් දමන සුදු පාට අයිසිං ලේයර් එක හදමු.

මාසිපන් අයිසිං

අයිසිං සීනි අවශ්‍ය පමණ

ආමන්ඩ් පිටි අවශ්‍ය පමණ

ආමන්ඩ් එසන්ස්

දෙහි බින්දු 2ක්

බිත්තර සුදුමද 1ක්

බිත්තර මදයට ආමන්ඩ් එසන්ස් ටිකක් දමා ආමන්ඩ් පිටි ටිකයි, අයිසිං සීනි ටිකයි එකට එකතු කරමින් හොඳින් අතින් අනාගන්න. අාමන්ඩ් මිලෙන් අධික නිසා ආමන්ඩ් පිටි වෙනුවට කජු කුඩු කර එම පිටි භාවිත කළ හැකිය. පසුව අතේ නොඇලෙන පදමට අනාගන්න. බිත්තර සුදු මදයට අකැමැති නම් සීනි සිරප් දමා අතේ නොඇලෙන්න අනාගන්න. මෙම මිශ්‍රණය සුදු පාටට තිබිය යුතුයි. කහ පාට වෙන්නේ කජු වැඩි වුණහම. කජු අඩුවෙන් දමා අයිසිං සීනි වැඩිපුර දමා වයිට් කලර් ඩ්‍රොප් එකක් සුදු පාට ගැනීමට යොදන්න.

දැන් බේකිං ෂීට් එකක් උඩට මේ අයිසිං දමා මිශ්‍රණය දමා රෝලිං පින් එකකින් තුනී කරගන්න. මතක ඇතිව රෝලිං පින් එකේ අයිසිං ගාගන්න ඇලෙන්නේ නැතිවෙන්න.

දැන් කලින් කේක් මිශ්‍රණය තියෙන තැටියට උඩින් මේ ලේයර් එක දමාගන්න. දැන් අනිත් පැත්ත හරවා කේක් එක පැත්තෙන් කපා ගන්න. මාසිපන් අයිසිං එක යටට තිබිය යුතුයි. එවිට ලස්සනට කෑලි කපා ගත හැකියි. දැන් කපා අවසානයේ උඩු අතට හරවන්න. ලස්සනට කැපී තිබෙන අයුරු ඔබට පෙනේවි. මෙම ප්‍රමාණවලින් කේක් කැබලි සීයක් කපාගත හැකියි. අවශ්‍ය නම් මේ රෙසිපිය දෙකට බෙදා ගත හැකියි. ඉතින් නත්තලේ මිහිරිම අත්දැකීම නත්තල් කේක් ඔබත් රස විඳින්න. විවාහ මංගල්‍යයකදී ඔබ වෙඩින් කේක් ලෙස රස බලන්නේද මේ කේක් මිශ්‍රණයමයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?