Saturday, December 20, 2025
Epaper
Home කලා ලොව‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ සමඟින් ශ්‍රියානි අමරසේන වේදිකාවට

‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ සමඟින් ශ්‍රියානි අමරසේන වේදිකාවට

by Shanaka Lakehouse

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනයන් මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ ඇය විසින් තිරපිටපත ලියා, අධ්‍යක්ෂණය කරමින් හා නිෂ්පාදනය කරමින් වේදිකාවට ගෙන එන ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යයේ රංගනය සඳහා වන පුහුණුවීම් කටයුතු වෙනුවෙනි.

මෙහි මංගල දර්ශනය මේ මස 05දා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී වේදිකාගත වූ අතර මේ මස 14දා බොරැල්ල YMBA ශාලාවේදී ද වේදිකාගත විය.

මෙහි ප්‍රධාන චරිතය වන නන්දිතා දේවි ලෙස ශ්‍රියානි අමරසේනයන් රඟන අතර රත්නාලාලිනි ජයකොඩි, රොෂාන් පිලපිටිය, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, කීත් රංග, යශෝදරා මාලගේ ඇතුළු පිරිස රංගනයෙන් එක්වේ.

වසර 2ක් තිස්සේ කළ වෙහෙස මහන්සියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රියානි අමරසේනයන් අතින් ‘සෙලියුලොයිඩ් ප්‍රේම⁣යක්’ හි තිරපිටපත ලියැවෙයි. ඒ සඳහා ඇයට රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ සහාය ද ලැබෙයි.

රිදී තිරයේ අහිංසකාවිය ලෙසින් විරුදාවලි ලත් ඇය සිය රංගන දිවිය අරඹන්නේ වේදිකා නාට්‍ය ඔස්සේය. ඒ පාසල් යන දැරිවියකව සිටින කාලයේ පටන් ය.

එදා දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑනා’ හි ගම දුව ලෙස රඟපෑ ඇය ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ සමඟින් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට මෙලෙස පා තබන්නීය. වේදිකා නාට්‍ය රංගනයට ඇය එක්වන්නේ ද කලකට පසුවය. එහෙත් වේදිකා නාට්‍ය රංගනය ඇයට නුහුරු නුපුරුදු එකක් නොවේ.

තරුණ කාලයේ ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පිනියක් වන නන්දිතා දේවී පසුකලෙක රංගන දිවියෙන් සමුගනියි. කඳුකරයේ බංගලාවකට වී ඇය ගත කරන ජීවිතය පිළිබඳ නොයෙකුත් සිද්ධි දාමයන් රැගත් කතාවක් ලෙසට ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ දිව යයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?