මනස සුවපත් කිරීම සඳහා කලාව යොදා ගැනීම නව ප්‍රවණතාවකි. මේ සඳහා බහුලවම යොදා ගන්නේ සංගීතයයි. අපගේ දේශීය වෛද්‍ය විද්‍යාව සහ ගුප්ත විද්‍යාවේ අතීත උරුමය වූ බලි තොවිල්, යාග හෝම වැනි ශාන්තිකර්ම තුළ නර්තනයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. එවන් වූ අතීත උරුමයක් හා බැඳුණු නර්තනයේ විරල මානයක් සොයා යන, වත්මන් පරපුරේ දක්ෂ විද්‍යාර්ථියෙක් වන්නේ හෂිනි භාග්‍යායි.
නර්තනයට සහජ කුසලතාවක් දැක්වූ ඇය, අධ්‍යාපනයෙන් ද ඉහළටම පැමිණි තරුණියකි. ශිෂ්‍යත්වය සමත් වී දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ නිමා කළ ඇය, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලබා ගත්තාය. වෛද්‍යවරියක් වීමට සිහින දකින අතරතුර, ඇයට තම නර්තන හැකියාවන් සියල්ල එළිදක්වන්නට පුළුල් අවස්ථාවක් හිමිවිය.
“මම පුංචි කාලේ පටන්ම නර්තනයට පුදුම කැමැත්තක් තිබුණා, මුල්මවරට අපගේ විශ්වවිද්‍යාලයේ නර්තන කණ්ඩායමක් ආරම්භ කරන්න මට හැකිවීම මම ලැබූ විශාල ජයග්‍රහණයක්. මම සම්පූර්ණයෙන්ම පුහුණු කළ ඒ කණ්ඩායම, ලංකාවේ තිබෙන සෞන්දර්ය පීඨ අභිබවමින් ප්‍රථම වරට ජයග්‍රහණයක් හිමි කරගැනීමට හැකිවීම භාග්‍යයක්. මේ සියලු අවස්ථාවන් සඳහා මට පසුබිම සකස් කළේ අපගේ පීඨයේ පීඨාධිපති මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා සර් ඇතුළු ආචාර්ය මණ්ඩලය.”
මෙම දේශීය ජයග්‍රහණයට අමතරව හෂිනි ජාත්‍යන්තර මට්ටමේ සාර්ථකත්වයක් ද ලබා ගත්තාය. මේ වසරේ ඉන්දියාවේ පැවති ‘World Audio Visual and Entertainment Summit’ සඳහා සහභාගි වෙමින්, ‘ගජගා වන්නම’ ඉදිරිපත් කරමින් ඇය විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගත්තාය. එසේම, ජාත්‍යන්තර අන්තර් නර්තන තරගාවලියට සහභාගි වීමට ඇයට අවස්ථාව හිමිවූවාය.
අධ්‍යාපන කටයුතු කිසිවක් අතපසු නොකර, නර්තනයෙන් ජයග්‍රහණ ලබන ඇය වත්මනේ වෛද්‍ය විද්‍යාලයේ හතර වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. ඇය මේ වන විට සුදුකබර සඳහා ආලේපනයක් සකස් කරමින් ඒ සඳහා පර්යේෂණ සිදු කරන්නීය. ඇයගේ බලාපොරොත්තුව වන්නේ පර්යේෂණ සාර්ථක වීමෙන් පසු එම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමටයි.
“මගේ මේ අධ්‍යාපන කටයුතුවලට සහ නර්තන හැකියාව දියුණු කරගැනීමට මඟ පෙන්වන්නේ මගේ ආදරණීය අම්මා යැයි” ඇය කෘතවේදීව සඳහන් කළාය. “ඒ වගේම මගේ අයියා මට විශාල සහයෝගයක් දක්වනවා. මගේ මේ සියලු ජයග්‍රහණවල ගෞරවය මගේ අම්මාට හිමිවිය යුතුමයි.”
ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසින් ඉදිරියට ගමනක් යන්නට මඟ බලා සිටින හෂිනි, නර්තනවේදිනියක් ලෙසින් ද කලා ලෝකය දීප්තිමත් කරනු නොඅනුමානය. ඇයගේ වෘත්තියමය හැකියාව සහ නිර්මාණාත්මක කුසලතාව යොදා ගනිමින්, සෞඛ්‍යයට සහ මානසික සුවයට නර්තනය මුසු කළ අලුත්ම සංකල්පයක් බිහි කිරීමට ඇයට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
TEXT – දුමින්ද කාරියවසම්
