Thursday, February 5, 2026
Epaper
Home Highlightsසුරක්ෂා මධ්‍යස්ථානවල සිටින දරුවන් මෙහෙම බලා ගනිමු

සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින දරුවන් මෙහෙම බලා ගනිමු

by Shanaka Lakehouse

රුදුරු ‘දිට්වා’ අපේ රටට විත් ජීවිත සහ දේපළවලට විශාල හානි රැසක් සිදුකොට දැන් රට අතැර ගොසිනි. අප දැන් මුහුණ දී සිටිනුයේ එහි ඵලවිපාක අත්දකින සමයකටයි. මෙහිදී දරුවන් පිළිබඳ, විශේෂයෙන්ම අවතැන් කඳවුරුවල සිටින දරුවන්ගේ කායික මානසික සෞඛ්‍යය ඔප් නංවාලීම කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නට සිදුවේ.

ගංවතුර තත්ත්වයකට පසු ඇතිවන බෝවන රෝග පිළිබඳ දැන් ඔබ හොඳින්ම දැනුවත්. මේ නිසා හොඳින් පිසූ ආහාර, පිරිසුදු ජලය පානයට ගැනීම අතිශය වැදගත් වේ. භාවිතයට ගත යුත්තේ උණුකර නිවා ගත් වතුරයි. එසේ නොවූ විට වමනය, පාචනය, අතිසාරය, උණ සන්නිපාතය, කහ උණ හෙවත් හෙපටයිටීස් A වැනි රෝග පහසුවෙන්ම වැලඳේවි.

පිරිසුදුවට පිළියෙල කරගත් ආහාර පානවල කිසිසේත්ම මැස්සන්ට වැසීමට ඉඩ නොතැබිය යුතුයි. වැස්සෙන් පසුව මැස්සන් බෝවීම පෙරට වඩා වැඩි වන්නට පුළුවනි. මැස්සන් වැසූ ආහාර පාන භාවිතයට ගතහොත් ඉහත කී රෝග වැලඳීම අරුමයක් නොවේ.

පාචනය සෑදුණහොත්

පාචනය ඇතිවීමට අපිරිසුදු වතුරද බලපායි. මේ වතුර සඳහා මලපහ, කුණු රොඩු ආදිය ද එක්ව තිබෙන්නට පුළුවනි.

පාචනය වැනි තත්ත්වයකදී උණ, බඩඑළිය යෑම, වමනය ඇතිවේ. අතිසාරය තත්ත්වයකදී බඩඑළිය සමඟ ලේ පිටවෙයි. මෙහි ඇති භයානකම තත්ත්වය විජලනය හෙවත් ශරීරයේ ඇති වතුර සහ ලවණ කොටස් ඉවත්ව යෑමයි. මුඛය වියළීම, අඬද්දී කඳුළු නොඒම, මූත්‍ර අඩුවෙන් පිටවීම. අවතැන් කඳවුරකදී වුවද මෙවැනි දරුවන්ට දියරමය ආහාර විශේෂයෙන්ම ජීවනී, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, බැදි හාල් කැඳ, ටෝස්ට් කළ පාන්, කෙසෙල්, තැඹිලි වතුර, යෝගට් දීම සුදුසුයි. තෙල්, බටර්, ගස්ලබු, කොළ වර්ග දෙන්නට එපා.

පාචනය ඇති විට හාල් ටිකක් සූදුරු සමඟ බැද එයට ලුණු ටිකක් දමා බැදි හාල් කැඳ සාදා දෙන්න. සූදුරු එක්කරන්නේ පොටෑසියම් අවශ්‍යතාව නිසයි. සෝඩියම් එක් කිරීම සඳහා ලුණු දමයි.

මී උණ

දරුවන්ට වුවද මී උණ සෑදිය හැකියි. දවස් කීපයක් තිස්සේ පවතින උණ, ඇස් රතු වීම, ඇස් කහවීම, බඩ රිදීම, මූත්‍ර රතු පාටට මෙන් තද පැහැයෙන් යෑම, බඩේ කැක්කුම සමඟින් මස් පිඬු වේදනාව ඇතිවීම වැනි ලක්ෂණ ඇත්නම් ළඟම තිබෙන රෝහලක් වෙත යා යුතුවේ. ඒ සඳහා බෙහෙත් විදින්නට සිදුවේ.

විශේෂයෙන්ම තුවාල ඇති අය ගංවතුරේ බැස සිටියොත් මී උණ ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් පවතී. මේ අය ෆාමසියකින් හෝ Doxycycline මිලිග්‍රෑම් 200ක ප්‍රමාණය රැගෙන හැකි ඉක්මනින් ගත යුතුයි. මෙය MOH කාර්යාලවලින් හෝ PHI මහත්වරුන්ගෙන් නොමිලයේම ලබාගත හැකියි.

එහෙත් අවුරුදු 12ට අඩු දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට, විවිධ අසාත්මිකතා ඇති අයට මෙම ඖෂධය ලබා නොදේ.

ඩෙංගු

මේ වකවානුවේ ජලය රැඳී තිබෙන තැන් වැඩිවන නිසා ඩෙංගු මදුරුවන්ගේ ගහනයද බලා සිටිද්දී වැඩිවේ. ඒ පිළිබඳද සැලකිලිමත් විය යුතු වේ. එවැනි ස්ථාන හැකි ඉක්මනින්ම පිරිසුදු කළ යුතුයි. බරට සරිලන මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමත් දින තුනකට පසුව රුධිර පරීක්ෂාවක් කොට ඩෙංගු වැලඳී ඇත්දැයි සැක හැර දැනගත යුතුවේ.

ළමා හතිය

ළමා හතිය සෑදෙන දරුවන්ට ඉන්හේලර්ස් ලබාදිය යුතුයි.

මීට අමතරව වයිරස් උණ, ඉන්ෆ්ලුවන්සා දරුවන්ට පහසුවෙන්ම වැලඳේ. මේ නිසා දරුවන්ව උණුසුම්ව සහ වියළිව තබන්න. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, හෙම්බිරිස්සාව යි. මෙවැනි රෝග ලක්ෂණ ඇති අය මාස්ක් එකක් පැලඳ සිටිය යුතුයි. නැතිනම් අනෙක් අයටත් බෝවේ.

පණු බෙහෙත්

ලොකු කුඩා කවුරුත් පාහේ මේ කාලයේ පණු බෙහෙත් ගැනීම වැදගත් වේ. පණු බෙහෙත් ගනිද්දී නිවෙසේ සියලුම දෙනා ගැනීම වැදගත්. පළමු මාත්‍රාව ගෙන දින 14කින් ඊළඟ මාත්‍රාව ගත යුතුයි. ඒ කාලය තුළ පණු බිත්තර පුපුරා නැවත හට ගන්නා පණුවන් විනාශ වන්නේ එවිටයි.

සමේ රෝග

ගංවතුරවල ඇති වතුර තනිකරම විෂබීජ ගොඩකි. ගංවතුර බැසගිය පසු ඇති මඩවල දිලීර සහ බැක්ටීරියා පිරී තිබේ. මේවා කුඩා තුවාල, පුංචි සීරීමක් හරහා පවා ඇතුළු වී බරපතළ ආසාදන ඇති කරයි.

ගංවතුර ඇල්ලීමෙන් හැකිතාක් වළකින්න. යම් හෙයකින් මේ වතුර සමේ ස්පර්ශ වුවහොත් හොඳින් සබන් යොදා සෝදන්න. විශේෂයෙන්ම දෙපතුල් පිරිසුදුව සහ වියළිව තබන්න. පුංචිම හෝ තුවාලයක් ඇත්නම් වතුර නොයන ප්ලාස්ටරයකින් ආවරණය කරතබන්න.

රෝහල්ගත කළ යුතු අවස්ථා

* නවත්වා ගත නොහැකි තරම් වමනය සහ පාචනය ඇත්නම්

* මලපහ සමඟ රුධිරය පිටවේ නම්

* දරුවාට පණ නැති ගතියක්, නිතරම නිදිමත ගතියක් ඇත්නම්

* අඩුවෙන්නෙම නැති උණක් ඇත්නම්

සායන සඳහා සහභාගී වීම

සායන සඳහා සහභාගී වන දරුවන් ඊට නොකඩවාම සහභාගී වීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් විට සායන කාඩ්පත් වැස්සට හසු වී විනාශ වී තිබිය හැකියි. කාඩ්පත ඇතා හෝ නැතා සායන සඳහා සහභාගී වන්න. බෝ නොවන රෝග සඳහා එනම් වලිප්පුව සඳහා ඖෂධ ලබා ගන්නන්, දියවැඩියාව ඇති අය ඉන්සියුලින් ලබාගන්නේ නම් ඒවා නොකඩවා ලබාගන්න. නැතිනම් සංකූලතා ආදිය ඇතිවීමට පුළුවනි.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීම

විශේෂ ලෙඩ රෝග නොමැති විට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අතපසු නොකරන්න.

මවුකිරි ලබාදීම

මාස 6ට අඩු දරුවන්ට මවුකිරි පමණමත්, අවුරුදු 2ට අඩු දරුවන්ට අමතර ආහාර සමඟින් මවුකිරි ලබාදීමත් අඛණ්ඩවම කරගෙන යන්න. කිසිදු හේතුවක් මත මවුකිරි ලබාදීම නවතා දැමිය යුතු නොවේ.

මීට අමතරව අවතැන් කඳවුරුවල සිටින දරුවන් පේන මානයේ තබාගත යුතුයි.

0777119900 ක්ෂණික ඇමතුම් අංකයෙන් කායික මානසික ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා පිළිතුරු ලබාගත හැකියි.

 

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?