බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක් දේශනා කළානම් එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරට යනවිට අපේ ආරක්‍ෂාවට විනය කාරණා ලිහිල් කිරීමට ගන්නාවූ උත්සාහයන් සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක් පැනවූවානම් එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ ලැබෙන ආදීනවය අදත් එදා මෙන්මයි.
අජාසත්ත රජතුමා එක්‌තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්‌ඩලය කැඳවා විමසීමක් කරනවා මේ සඳ පායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක් ඇසීමට ඇත්නම් එය විශාල සහනයක් කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්‌තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක් කියනවා නිඝණ්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියලා. තව ඇමැතිවරයෙක් කියනවා සංජය බෙල්ලට්‌ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි එතැනට ගියොත් සුන්දර ධර්මයක් අහන්න පුළුවන්ය කියලා.
මේ වෙලාවේ මෙතැන සිටිය තෙරුවන් සරණ ගිය කෝමාරභච්ච කියන ඇමැතිවරයා කියනවා තමාගේ අඹ උයනේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතන් වහන්සේලා වැඩසිටිනවා, රජතුමා එතැනට පැමිණියොත් මේ සුන්දර රාත්‍රියේ සුන්දර ධර්මයක් අහන්න පුළුවන්ය කියලා.
රජතුමා තම බිසෝවරුන් පිරිවර සමඟ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න මහා රාත්‍රියේ අඹ වනයට යනවා. බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට බොහෝම සුන්දර ධර්මයක් දේශනා කරනවා. ධර්ම දේශනාව අවසානයේදී අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා රජමැඳුරට නික්‌මෙනවා. අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න බැහැරට ගිය පසු බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ අජාසත්ත තමන්ගේ තාත්තාව ඝාතනය කර නොතිබුණා නම්, ඒ කියන්නේ ආනන්තරිය පාපකර්මය සිදුකොටගෙන නොතිබුණා නම් මේ ධර්ම මණ්‌ඩලයේදීම සෝවාන් ඵලයට පත්වෙනවා කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ, බරපතළ අකුසල්, ශක්‌තිමත් කුසල් තුළින් යටපත් කරගන්න බැහැය කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා. පාපකාරී ආශ්‍රය නිසාම බලවත් අකුසල් සිදුකර ගත් අජාසත්ත රජතුමා පසුකාලයේදී සත්පුරුෂ ආශ්‍රය නිසාම අප්‍රමාණ කුසල් සිදුකර ගන්නවා. පළමුවැනි ධර්ම සංඝායනාව පවත්වන්න පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ අජාසත්ත රජතුමා. එදා අජාසත්ත රජතුමා එවැනි රාජ්‍ය අනුග්‍රහයක් පළමුවැනි ධර්ම සංඝායනාවට නොදක්‌වන්න වර්තමානයේ ශාසනයේ අර්ථයත් අතුරුදන්ව ගොස් තිබෙන්න පුළුවන්. මේසා බලවත් කුසල් සිදුකර ගත්තත් බලවත් අකුසල්වල විපාකයන් සමනය කරන්න ඒවා හේතු වෙන්නේ නැහැ.
වර්තමානයේ බලවත් අකුසල් අපි විග්‍රහ කරන්නේ බොහෝම සරල විදිහට. වර්තමානයේ පිතෘඝාතක රජකෙනෙක් ලෝකයේ ජීවත්වෙනවා නම් අපි ඔහුට අනුශාසනා කරන්නේ, ඔබ වර්තමානයේ කරන බලවත් කුසල් හේතුවෙන් එම අතීත පිතෘඝාතක අකුසලය යටපත්වන බව ඒත්තු ගැන්වීමටයි. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කර තිබෙනවා නම් දෙපාරක් ඒ ගැන සිතන්න අවශ්‍ය නැහැ.
කර්මය, කර්මඵල විශ්වාසය හඳුනන මනුෂ්‍ය ඔබ අන්සතු දෙය සොරකම් කළොත් පරලොව ජීවිතයේදී ඔබට විඳීමට සිදුවන වේදනාවන් සිහිපත් කර ගන්න. ඒ තුළින් සංසාර බිය ඇතිකරගන්න.
ලෝකය නිරතුරුවම ගමන් කරන්නේ දුක දෙසට. තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයාගේ පංච උපාධනස්‌කන්ධය නිරතුරුවම ගිනි ගන්නවා. මේ ගිනි ගැනීම නිසාම සමාජයත් ගිනිගන්නවා. ඔබත් මේ ලෝකයේ සාමාජිකයන් වුණොත් ඔබත් මේ ගින්නෙන් පිච්චෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ,මෝහ අකුසලයන් රැස්‌කර ගනීවි. රට ජාතිය උදෙසා හඬ නැඟුවත්, කාමයන් උදෙසා හඬනැගුවත් මේ ඔබට ඇසෙන්නේ මනුෂ්‍යයාගේ පංච උපාධනස්‌කන්ධය ඇවිළෙන හඬයි.
අවිද්‍යාව නිසා තමනුත් ඇවිළි අනුනුත් අවුළුවන මනුෂ්‍යයාගේ දෝංකාරයයි.
හඬ වේගවත් වන තරමට අකුසලයේ ප්‍රමාණය වේගවත් වෙනවා. අකුසලය වේගවත් වෙනවාය කියන්නේ සතර අපායට පිරිස් බලය සැපයීමේ වේගය වැඩිවෙනවා. අවිද්‍යාව නමැති මඩ ගොහොරුවේ එරී කුසල් සංස්‌කාර නැමති අත්වාරුවෙන් මඩෙන් ගොඩ ඒමට දඟලන මෝහබරිත ලෝකයේ ක්‍රියාන්විතයයි ඔබ ඉදිරියේ සිදුවෙමින් පවතින්නේ.
ලෝකය යන දිශාවකට ගියාදෙන්. පින්වත් ඔබ ධර්ම මාර්ගයට එන්න. කොයිම මොහොතකවත් ඔබ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්න එපා. ලෝකය කියන්නේ බොහෝම අසාධාරණ තැනක් නිසාමයි සිදුහත් කුමාරයා රජසැප අලුයම හෙලූ කෙළපිඩක් සේ ඉවතලා අසාධාරණ ලෝකයට සාධාරණය මතුකර දීමට ධර්ම මාර්ගයට පැමිණෙන්නේ. ‘උපාදාන පච්ඡයා භවෝ’ කියන ධර්මතාව යටතේ පින් කරපු මනුෂ්‍යයා මරණින් මතු දුගතියට වැටෙනවා නම් පව් කරපු මනුෂ්‍යයා සුගතියට යනවා නම් මොකක්‌ද ලෝකයේ ඇති සාධාරණත්වය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුළැඟිල්ලේ දැවටෙමින් පැමිණි රාහුල පුතණුවන්ට සැබෑම දායාද කර දුන්නේ අසාධාරණ ලෝකයෙන් මිදී සැබෑම සාධාරණය මතුකර දෙන ධර්ම මාර්ගයක්. කල්ප ගණනාවක පටන් තමා පසුපසින් අයෝමය ශක්‌තියක් වෙමින් පැමිණි යශෝධරාවට බුදුරජාණන් වහන්සේ මතුකර දුන්නේ අසාධාරණ ලෝකයෙන් මිදී සැබෑම සාධාරණය මතුකර ගන්නා මාර්ගයයි.
