Saturday, December 20, 2025
Epaper
Home Beautyවියපත් වන ශරීරයට ලබා දිය හැකි හොඳම තෙරපිය යෝගා

වියපත් වන ශරීරයට ලබා දිය හැකි හොඳම තෙරපිය යෝගා

by Shanaka Lakehouse

මා ඉදිරියේ මේ මොහොතේ සිටින්නේ අපිට ඉතා සමීප අපූරු චරිතයක්. දෙස් විදෙස් පුහුණුව වගේම ජනාධ්ිපති් සම්මානලාභී රූපලාවණ්‍ය ශිල්පිනියක්. රට පුරා සිය දහස් ගණනක් ගෝලයන් බිහිකළ රුපලාවණ්‍ය ආචාර්යවරියක්. ඇය නමින් දේවිකා අරඹගේ. තමන් ළඟට එන සේවාදායක‍යාගේ සුන්දරත්වය හිතාගන්න බැරිතරමට වැඩි කරන්න කටයුතු කරන දේවිකා මේ වෙනකොට සේවාදායකයාව අාධ්‍යාත්මිකව සුවපත් කරන්නත් පටන් අරන්. යෝගා ආචාර්යවරියක ලෙස ඇයගේ මූලිකත්වයෙන් දෙසැම්බර් 14 වැනි දින අම්බලන්ගොඩ ධීවර සංකීර්ණ ගොඩනැඟිල්ලේ දී යෝගා වැඩමුළුවක් පවත්වනවන්වාට ඇය සූදානම්. ඒ කිව්ව ආරංචියට අපි ගියා මේ ගැන වගතුග විමසන්න.

ඔබ හිටියටත් වැඩිය තරුණ වෙලා මොකක්ද මේ රහස?

ඇත්තටම මම රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා රූපය ගැන සුන්දරත්වය ගැන හිතන කෙනෙක්. නමුත් දැන් යෝගා ව්‍යායාමවලට අවධානයක් ලබාදෙන නිසා මම අභ්‍යන්තරයෙන් වගේම බාහිරිනුත් තරුණ වෙලා වගේ.

දුක සතුට මැද ගෙවීගෙන යන ජීවිතේ දැනෙන්නේ කොහොමද?

මම ධෛර්යවත්ව, ශක්තිමත්ව මගේ ජීවිතය ඉදිරියට අරන් ආවේ කන්දක් නඟිනවා කියන හැඟීමෙන්. මධ්‍යස්ථව හැමදේම දරා ගත්තා. සමාජයට විය යුතු යුතුකම් කොටස ඉටුකරමින් සාර්ථකව මම ජීවිතයට මුහුණ දෙමින් ඉන්නවා. අවසානයේ රූපලාවණ්‍ය ශිල්පිනියක්, ගෘහිණියක්, මවක්, යෝගා ආචාර්වරියක් ලෙස මම ප්‍රාර්ථනා කරපු සැනසීම මට අද ලැබිලා තියෙනවා.

යෝගාවලට අවතීර්ණ වීමෙන් වෘත්තීයමය ජීවිතයට ලැබුණු පන්නරය කවරාකාරද?

මම යෝගාවලට අවතීර්ණ වෙන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර තිස්පහක පමණ කාලයක් ගත කිරීමෙන් පසුවයි. තවමත් මම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ජයගන්න යෝගා හේතුවක් වුණා. වෘත්තීමය ජීවිතයට අවශ්‍ය ඉවසීම, හඳුනාගැනීම, තේරුම් ගැනීම වගේ දේවල් මම ඉගෙනගත්තේ යෝගාවලින්.

යෝගාවලට සම්බන්ධ වීම ඔබට දැනෙන්නේ කොහොමද?

මගේ ජීවිතයට යෝගා ලැබීම සහෘද ජනතාවට උපකාර කිරීමට විශ්වයෙන් ලබා දුන් ත්‍යාගයක් ලෙසයි මම දකින්නේ.

ඔබ යෝගා හැදෑරීමට මුල් අඩිතාලම දමන්නේ කොතැනින්ද?

මම රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම අම්මා කෙනෙක් නිසා ගොඩක් කාර්යබහුලයි. මගේ දකුණු අත හිරිවැටෙන්න ගන්නවා. මොන හේතුවකටද මන්දා වෛද්‍යවරයකු හමුවෙනවා වෙනුවට යෝගා කරන්න ඕනි කියන සිතිවිල්ල සිතට එනවා. එතැන් පටන් යෝගා ගැන ගුරු හරුකම ගන්න ආචාර්යවරයෙක් සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස ” අනෝජා වීරසිංහ මහත්මිය” මුණගැහෙනවා. ඇගේ “අභින යෝගාශ්‍රම් “හිදී මම යෝග අභ්‍යාස ප්‍රායෝගිකව ඉ‍ෙගනීමට පටන් ගන්නවා. ඒ හමුවීම ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ. එතුමිය මට හරි ආදරෙයි ධෛර්යවන්ත කාන්තාවක් කියලා. මොකද මම අම්බලන්ගොඩ ඉඳලා සතියට දෙවතාවක් බෙල්ලන්විල අභින යෝගාශ්‍රමය වෙත යනවා. මේ කාලය ඉතාමත් දුෂ්කරයි. නමුත් ඇය මට කිව්වා “රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස ඇතුළාන්තයේ ලස්සන පෙන්වන්න. අපි උත්සාහ කරමු කියලා.” මේ ගමන දුෂ්කර වුණත් මට යෝගා කරද්දි පුදුම සතුටක් සැහැල්ලුවක් ශක්තියක් දැනෙන්න පටන් ගත්තා. කාලයත් සමඟ අත හිරිවැටෙන එක වගේම ශරීරයේ තිබූ වෙනත් අපහසුතාත් නැති වෙලා ගියා. මාව අවුරුදු ගාණක් ආපස්සට ආවා වගේ හැඟීමක් දැනෙන්න ගත්තා. ඉතින් ඔය විදිහට තමයි යෝගා ප්‍රායෝගිකව ඉගෙනගන්න අවතීර්ණ වෙන්නේ.

යෝගා ගැන සිද්ධාන්තමය ගවේෂණයකට යොමු වෙන්නේ කොහොමද?

අනෝජා වීරසිංහ මහත්මියගෙන් යෝගා ප්‍රායෝගික පුහුණුව මට ලැබුණා. නමුත් මට යෝගා පිළිබඳ තවදුරටත් ගවේෂණාත්මක අධ්‍යානයක් අවශ්‍ය වූ නිසා ගම්පහ වික්‍රමආරච්චි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා සහතිකපත් පාඨමාලාව කළා.

මෙතරම් කැපකිරීම් කරලා හදාරපු යෝගා ඉගැන්වීම ආරම්භ කරන්න හේතුව ?

මම යෝගා හැදෑරීම කළේ කෝස් එකක් විදිහට නෙවෙයි. මේක ශරීරය මානසික අාධ්‍යාත්මික සුවය ලැබෙන දෙයක්. යෝගා මගේ ජීවිතයත්, සිතිවිලිත්, සුබවාදීව වෙනස් කරලා තිබුණා. මම පාරට බැස්සම දැක්කා මිනිස්සු බෙහෙත් පෙත්තට ජීවිතේ භාර දීලා තියෙනවා. පැහැදිලි කළේ මම හිතුවා නීරෝගි සමාජයක් සඳහා කරන සේවයක් විදිහට යෝගා ඉගැන්වීම ආරම්භ කරන්න. අපි මේ අවුරුද්දේ කාන්තා දිනය දවසේ අම්බලන්ගොඩින්ම ඒ දේ පටන් ගත්තා.

මෙයින් ජීවිතයට ලැබෙන යහපත් වෙනස ගැන කතා කළොත්…

අපේ ශරීරය අවුරුදු 35ක් වෙනකම් වැඩෙනවා. එතැනින් පස්සේ වේගයෙන් වියපත් වෙනවා. වියපත් වන ශරීරයට ලබාදෙන ට්‍රීට්මන්ට් එකක්, මසාජ් එකක් තමයි යෝගා. වයස් භේදයකින් තොරව කාටත් ශරීර අභ්‍යන්තරයේ වියපත් වීම පාලනය කරමින්, ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාකාරිත්වයන් නිසි පරිදි ක්‍රියාත්මක කරන්නත් යෝගා හේතුවක්. කොතරම් වයසට ගියත් මානසික සුවතාව නීරෝගිකම, සුන්දරත්වය පවත්වාගනිමින් තරුණ බව පවත්වාගෙන යන්න යෝගා දිව්‍ය ඔසුවක්.

තරුණ කාලයේ වගේම විශ්‍රාම සුවයෙන් ඉන්නකොටත් අපි ජීවිතේ ලස්සන පවත්වා ගැනීම වැදගත් නේද?

අනිවාර්යයෙන්ම. අපි සංසාරයේ ඉඳන් ගෙනාපු රූපයක් සුන්දරත්වයක් වගේම හැකියාවක් තියෙනවා. විශ්‍රාම සුවයෙන් ඉන්නකොටත් අපේ සුන්දරත්වය නීරෝගිකම හැකියාවන් පවත්වාගෙන යාමට උත්සාහ කිරීම වැදගත්. අවුරුදු තිහක්, තිස්පහක් ඒකාකාරීව වැඩ කරලා හුදෙකලා වුණාම දැනෙන ආතතිය වගේම පාලුව, කාන්සිය ඊටත් වඩා වැඩියි. ඒත් එක්කම හිතත් කයත් ලෙඩ වෙනවා බෝ නොවන ලෙඩ රෝග ඇතිවෙනවා. පොඩි කාලයක් යෝගා වෙනුවෙන් ගත කරලා මුළු ජීවිත කාලයක්ම සතුටින් ඉන්න කියලා මම ආරාධනා කරනවා.

ඔබ විසින් සංවිධානය කරන යෝගා ධර්ම දානය වැඩසටහන ගැන කතා කළොත්…

මගේ උපන් දිනය දෙසැම්බර් 31ට යෙදිලා තියෙනවා. මම උපන් දිනය ලොකුවට සමරන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ දිනයට සමගාමීව සමාජ සේවාවක් ලෙස දෙසැම්බර් 14 දින අම්බලන්ගොඩ ධීවර සංකීර්ණයේදී සවස 2.00 ප.ව-5.00 දක්වා යෝගා ධර්මදාන වැඩමුළුවක් නොමිලේම පවත්වන්න අපි සියල්ල සූදානම් කරලා තියෙන්නේ.එදිනට ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කර නොගෙන වයස් භේදයකින් තොරව හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම මතක් කරන්න ඕනි රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස මගේ සාර්ථකත්වයේ හැම හැරවුම් ලක්ෂ්‍යයකම තරුණී පුවත්පත හිටියා. මෙවරත් තරුණි හොයාගෙන ආවේ මේ සමාජ සේවා කටයුත්ත ගැන මුළු සමාජයක් දැනුම්වත් කරන්න කියලා ආරධනා කරන්න.

මේ යෝගා වැඩමුළුවේ විශේෂත්වය මොකක්ද?

මෙම වැඩමුළුවේදී කියා දෙනවා දෛනික කාර්යබහුල ජීවිතයේදී යෝග පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියලා. ගෙදර දොරේ කටයුතු කරනකොට, වාහනයක ගමන් කරනකොට වුණත් අපි යෝග සිතිවිලි පවත්වා ගන්නේ කොහොමද කියලා. යෝගා සිතිවිලි මඟින් අපේ ඇතුළාන්තය පිරිසුදු කරනවා. යෝගාවලදී පුරුදු කරන්නේම සුබවාදී සිතිවිලි අභ්‍යන්තරයට අරන් අසුබවාදී සිතිවිලි පිට කරන්නේ කොහොමද කියලා.

කාර්යබහුල ජීවිතයට සුවදායක අත්දැකීමක් විඳගන්නට ඔබත් එන්න දෙසැම්බර් 14 වැනිදා සවස 2.00ට අම්බලන්ගොඩ ධීවර සංකීර්ණයට..

TEXT – රසාංජලි වාසල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?