Saturday, December 20, 2025
Epaper
Home Beautyඅභියෝග මැදින් හැඩ වෙන්න ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර

අභියෝග මැදින් හැඩ වෙන්න ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර

by Shanaka Lakehouse

ගංවතුර තත්ත්වය හේතුවෙන් අපේ රටේ බොහෝ ප්‍රදේශවල ජන ජීවිතය අඩාල වී තිබේ. සොබාදහමේ අභියෝගය හමුවේ අපගේ දෛනික කටයුතු පමණක් නොව, අපගේ සෞඛ්‍යය සහ ස්වාභාවික පෙනුම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සොයා ගැනීම පවා අපහසු වී තිබේ.

කෙසේ වෙතත් සැබෑ ශක්තිය ඇත්තේ අර්බුදකාරී අවස්ථාවලදී අප සතු දෑ භාවිත කරමින් නැවත නැඟී සිටීමේ හැකියාව මතය. අපගේ නිවෙසේ මුළුතැන්ගෙයි සහ මිදුලෙහි සැඟවී ඇති දේශීය අමුද්‍රව්‍යවල ආශ්චර්යමත් බලය මෙම අවස්ථාවේදී අපගේ හොඳම රූපලාවණ්‍ය මිතුරා බවට පත් කර ගත හැකියි. රසායනික ද්‍රව්‍යවලින් තොරව, වියදම් අවම කර ගනිමින්, සොබාදහමේ සුවඳ සමඟින් අපගේ සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දීමට මෙය කදිම අවස්ථාවකි. මෙම සටහන ගංවතුර තත්ත්වයෙන් පසු පිරිසිදු කිරීම සහ පෝෂණය ලබා දීම සඳහා නිවෙසේදීම සරලව කළ හැකි සුවිශේෂී සහ ඵලදායී දේශීය සත්කාර ක්‍රමවේදයන් පිළිබඳ විස්තරයක් ඔබ වෙත ගෙන එයි. කාන්තාවක් වශයෙන් ඔබ, මුලින්ම ඔබ ගැනම සැලකිලිමත් විය යුතුයි. එමඟින් ඔබ අවට සිටින අයට ශක්තිය ලබා දීමට හැකි වනු ඇත.

ස්වාභාවික මුහුණු සත්කාරය

ගංවතුර අවස්ථාවෙන් පසු අපගේ සම, විශේෂයෙන්ම මුහුණ, වැඩිපුර දූෂණයට හා අවපැහැ ගැන්වීම්වලට ලක් වී තිබීමට ඉඩ ඇත. එබැවින් දිනපතා ගැඹුරින් පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වේ. මුහුණ පිරිසුදු කිරීමේ ආරම්භක පියවර ලෙස අමු කිරි ස්වල්පයක් සමඟ මී පැණි තේ හැන්ඳක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. කිරිවල ඇති lactic අම්ලය මෘදුව පිරිසුදු කරන අතර මී පැණි සමට අවශ්‍ය තෙතමනය සපයයි. මෙම මිශ්‍රණය මඟින් මෘදුව පිරිසුදු කිරීමෙන් පසු මුහුණේ සමේ පැහැය වැඩි දියුණු කිරීම සඳහා සතියකට දෙවරක් මාස්ක් එකක් භාවිත කිරීම වැදගත් වේ. ඒ සඳහා කඩල පිටි හෝ මුං ඇට පිටි තේ හැඳි දෙකක්, කහ කුඩු ස්වල්පයක් සහ යෝගට් සමඟ මිශ්‍ර කර සාදා ගන්නා මාස්ක් එකක් ඉතා ඵලදායීය. මෙම ස්වාභාවික මාස්ක් එක මඟින් සමේ ඇති අතිරික්ත තෙල් ඉවත් කර සමේ පැහැය දීප්තිමත් කරයි. එය විනාඩි පහළොවක් පමණ තබා වියළුණු පසු මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

තවද මුහුණේ පැල්ලම් නැති කිරීමට සහ සම පැහැපත් කිරීමට සහල්වල බලය භාවිත කළ හැකිය. හාල් පිටි තේ හැඳි එකක්, තක්කාලි යුෂ තේ හැඳි දෙකක් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම තවත් ඵලදායී ක්‍රමයකි. මෙම මාස්ක් එක විනාඩි දහයේ සිට පහළොවක් තබා සෝදා හරින්න. හාල් පිටි සම පැහැපත් කරන අතර තක්කාලි යුෂ ස්වාභාවිකව පැල්ලම් නැති කරයි. සමේ ඇති අවපැහැ ගැන්වීම් අවම කිරීමට සහ සමට සිසිලසක් ලබා දීමට සඳුන් කුඩු තේ හැඳි එකක්, දෙහි යුෂ බින්දු හතරක් සහ යෝගට් තේ හැඳි භාගයක් මිශ්‍ර කර සාදා ගන්නා මාස්ක් එකක් ඉතා සුදුසුය. මාස්ක් එක සෝදා හැරීමෙන් පසු සමේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා ටෝනර් එකක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා තේ කොළ මල්ලක් (Tea Bag) උණු වතුරේ දමා සිසිල් වූ පසු එම දියරය භාවිත කරන්න. අවසාන වශයෙන් නැවුම් කෝමාරිකා ජෙල් හෝ රාත්‍රියේදී පොල්තෙල් හෝ ඔලිව් තෙල් බින්දු කිහිපයක් වියළි සම සඳහා ආලේප කිරීමෙන් අවශ්‍ය තෙතමනය ලබා දිය හැකිය.

ශරීරය සහ දෑත් සත්කාර

ශරීරයේ මියගිය සමේ සෛල ඉවත් කිරීමට සීනි හෝ ලුණු සමඟ පොල්තෙල් මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කරන්න. විශේෂයෙන් රළු වී ඇති වැලමිට සහ දණහිස් සඳහා, නැවුම් කෝමාරිකා ජෙල් තේ හැඳි දෙකක් සමඟ සිහින් ලුණු තේ හැඳි 1/2 ක් මිශ්‍ර කර ආලේප කිරීම ඵලදායී සත්කාරයකි.

පෝෂණීය හිසකේ සත්කාරය

ගංවතුර තත්ත්වය වැනි ආතතිමය අවස්ථාවලදී හිසකෙස් වියළීමට හා දුර්වල වීමට ඉඩ ඇත. හිසකෙස් පෝෂණය කිරීමේ සරලම හා වඩාත්ම ඵලදායී ක්‍රමය වන්නේ පොල්තෙල් ස්වල්පයක් මඳක් රත් කර හිස්කබලේ සහ හිසකෙස්වල හොඳින් සම්බාහනය කිරීමයි.

එය පැයක් හෝ එක රැයක් තබා සෝදා හැරීමෙන් හිසකෙස් ශක්තිමත් වී දීප්තිමත් වේ. ඊට අමතරව හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර එයට බිත්තරයක් සහ පොල්තෙල් තේ හැඳි දෙකක් එක් කර සාදා ගන්නා ප්‍රෝටීන් මාස්ක් එකක් සතියකට වරක් භාවිත කරන්න. මෙය හිසකෙස් අග පැලීම් පාලනයටත්, හිසකෙස්වලට පෝෂණය ලබා දීමටත් කදිම මාර්ගයකි.

ස්වාභාවික කන්ඩිෂනර් එකක් ලෙස නැවුම් පොල් කිරි භාවිත කරන්න. පොල් කිරි හිස්කබලේ සිට හිසකෙස් අග දක්වා ආලේප කර, උණුසුම් තුවායකින් විනාඩි තිහක් හිස ආවරණය කර තැබීම හිසකෙස් ඉතා මෘදු කරයි. හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වන තවත් රහසක් නම් පොල්තෙල් සමඟ කරපිංචා කොළ රත් කර සාදා ගන්නා තෙල් හිස්කබලේ ආලේප කිරීමයි.

පාද පිරිසුදු කිරීමේ සත්කාරය

ගංවතුර තත්ත්වයෙන් පසු ඔබගේ පාද වඩාත් අවදානම් තත්ත්වයක පවතී. අපිරිසුදු ජලයට නිරාවරණය වීමෙන් බැක්ටීරියා සහ දිලීර ආසාදන ඇති විය හැකිය. එබැවින් පාදවල ගැඹුරු පිරිසුදු කිරීම සහ විෂබීජහරණය අත්‍යවශ්‍ය වේ. මුලින්ම උණුසුම් ජලය සහිත බේසමකට සුදු විනාකිරි කෝප්ප 1/4ක්, මී පැණි තේ හැඳි තුනක් සහ සාමාන්‍ය ලුණු තේ හැඳි දෙකක් එක් කර පාද මෙම මිශ්‍රණයේ විනාඩි විස්සේ සිට තිහක් පොඟවන්න. විනාකිරි ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි.

ඕට්ස් කුඩු තේ හැඳි තුනක්, පොල්තෙල් තේ හැඳි දෙකක් සහ සීනි තේ හැඳි එකක් මිශ්‍ර කර සාදා ගන්නා ස්ක්‍රබ් එකක් පාදවල රළු ප්‍රදේශවල දැඩිව අතුල්ලන්න. මඳ රස්නය ඇති වතුර බේසමකට බේකිං සෝඩා මේස හැඳි තුනක් එක් කර පාද විනාඩි පහළොවක් පෙඟවීමෙන් පාදවල දුර්ගන්ධය සහ බැක්ටීරියා වර්ධනය පාලනය කළ හැකි බව මතක තබා ගන්න. පැළුණු විලුඹ සඳහා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර එයට මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍ර කර විලුඹේ ආලේප කිරීමෙන් සුවය ගෙන දිය හැකිය. පාදවල දහඩිය දැමීම පාලනය කිරීමට තේ කොළ මලු දෙකක් උණු වතුරේ තම්බා සිසිල් වූ පසු පාද එම තේ වතුරේ විනාඩි විස්සක් පමණ පෙඟවීම ඉතා ඵලදායී වේ.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?