මෙවර නත්තල් සමය උදා වී ඇත්තේ අපේ රටට දැඩි අභියෝග රැසක් එල්ල වී ඇති මොහොතකයි. නොසිතූ ස්වාභාවික විපත් නිසා බොහෝ දෙනෙක් අසරණ වී, තම සුපුරුදු ජීවිතය අහිමි වී ගැඹුරු දුකක පැටලී සිටිති.
මෙවන් ව්‍යසනකාරී තත්ත්වයකදී, සාමය, සතුට සහ දයාව අපේක්ෂා කරන නත්තලේ සැබෑ තේමාව අපට කොතරම් දුරට සමීප කර ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. නමුත්, නත්තලේ පණිවුඩය වන්නේ බලාපොරොත්තුවයි. අසීරුම අවස්ථාවන්හිදී පවා, කුඩා දේවලින් සතුට සොයා, ජීවිතය නැවත ගොඩනැඟීමට ශක්තිය ලැබීමයි. මෙවර අපගේ උත්සාහය විය යුත්තේ, අපගේ නිවහනේ ඇති සරල සම්පත් උපයෝගී කර ගනිමින්, පවුලේ බැඳීම් ශක්තිමත් කර ගනිමින්, සතුට සහ සාමය අපේම සිත තුළ නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා අප තෝරා ගන්නේ අපේ දෛනික ජීවිතයේ ප්‍රධාන ආහාරය වන බතයි. සහල් ඇටයකින් උපදින ඒ සුවඳ, අපට දෙන සැනසීම හා තෘප්තිය අතිමහත්ය. මේ දුෂ්කර කාලයේදී, මිල අධික දෑ සොයා නොගොස්, නිෙවසේදීම ඉතාමත්ම රසවත්ව පිළියෙල කරගත හැකි එක් එක් වර්ගයේ බත් වට්ටෝරු අටක් අද ඔබ වෙත ගෙන එන්නේ එබැවිනි. මෙම සුවිශේෂී බත් වර්ග පිළියෙල කිරීමෙන්, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ මුවට පුංචි සිනහවක් ගෙන ඒමටත්, ඒ මොහොතේදී එම රසවත් ආහාරය බෙදා හදා ගනිමින්, එකිනෙකාට අහිමි වූ දේ වෙනුවට, ලැබුණු දේ පිළිබඳ සතුටු වීමටත් අවස්ථාව උදා වේවි. මේ නත්තල, සරල බතේ සුවඳින් සැනසීම සොයමින්, සාමය සහ සතුට අපේ නිවෙස්වලදීම මවා ගනිමු.

නත්තල් ප්‍රීතිය ගෙනෙන බත (චිකන් ෆ්‍රයිඩ් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
කැරට් ග්‍රෑම් 250ක්
ලීක්ස් ග්‍රෑම් 250ක්
ගෝවා ග්‍රෑම් 150ක්
කුකුළු මස් ග්‍රෑම් 500ක් (කටු ඉවත් කර)
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සුදුලූනු සහ තළාගත් ඉඟුරු අවශ්‍ය ප්‍රමාණයට
බටර් ග්‍රෑම් 50ක්
පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
කහ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි දෙකක්
දෙහි ගෙඩියක යුෂ
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් හොඳින් සෝදා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක් කරමින් පිසගන්න. බත් ඇට සිටින සේ බෙරි නොවන ආකාරයට පිසගන්න. කටු ඉවත් කර ගත් මස් ග්‍රෑම් 500ක් ගෙන එය පිරිසුදු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කහ, මිරිස්, දෙහි ඇඹුල් එකතු කර හොඳින් සීසන් කරගන්න. කැරට්, ලීක්ස් සහ ගෝවා හීනියට කපා තබා ගන්න. පසුව සීසන් කර ගත් මස් ටික ගෙන ගැඹුරු තෙලෙහි බැදගන්න. පසුව ඒවා සිහින් වන පරිදි තීරු ආකාරයට ඉරාගන්න. අනතුරුව තාච්චියක් ළිපේ තබා බටර් සහ පොල්තෙල් එක්කර ගන්න. එයට කැරට් එක්කර මිශ්‍ර කරන අතරතුර කහ ස්වල්පයක් එක්කර ගන්න. ඉන්පසුව තළා ගත් ඉඟුරු සහ සුදුලූනු එක් කරගන්න.
කැරට් බැදෙන විට ගම්මිරිස් ස්වල්පයක් එක් කරගන්න. දැන් ඉරා ගත් කුඩා කුකුළු මස් කැබලි එකතු කරගන්න. හොඳින් පිසෙන්නට විනාඩි පහක් පමණ ඉඩ හරින්න. බත් ටික ඉන්පසුව එකතු කර ළිප නිවා ගෝවා සහ ලීක්ස් එක්කර ගන්න. පසුව හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරගන්න. අනතුරුව ඉතා රසවත් චිකන් ෆ්‍රයිඩ් රයිස් ආහාරයට එක් කරගන්න.

රන්වන් බත (කහ බත්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
කහ තේ හැඳි 1/2ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
කුරුඳු පොතු කැබලි දෙකක්
එනසාල් 06ක්
රම්පේ කෑලි 04ක්
බටර් ග්‍රෑම් 30ක්
පොල් ගෙඩියක කිරි (මිටිකිරි සහ දියකිරි වෙන්කර ගන්න.)
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් ටික ගෙන හොඳින් සෝදා ගන්න. ඉන්පසුව එයට දියකිරි එක්කර ලුණු කුඩු, රම්පේ, කුරුඳු, එනසාල් (තළා එක් කරන්න.) සහ කහ කුඩු එක්කර පසුව හොඳින් පිස ගන්න. සහල් තරමක් ඉදෙන විට මිටිකිරි එක්කර ගන්න. ඒ සමඟම බටර් ද එක්කර අඩු ගින්දරින් පිසගන්න. ඉන්පසු රසවත් කහ බතක් අනුභව කළ හැකියි.

නත්තලේ සතුට මුසු මිහිරි බත (පයිනැපල් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
අන්නාසි ගෙඩි 01ක්
බටර් ග්‍රෑම් 30ක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
ඉඟුරු සුදුලූනු පේස්ට්
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් හොඳින් සෝදාගෙන එයට ලුණු එක් කරමින් හොඳින් පිසගන්න. පසුව භාජනයක් ගෙන ළිපේ තබා එයට බටර් සහ පොල්තෙල් එක්කර හොඳින් රත් කරගන්න. ඉන්පසු එයට ඉඟුරු සුදුලුනු පේස්ට් එකතුකර බැද ගන්න. අන්නාසි ගෙඩියක් ගෙන දෙකට පළා එහි මැද නාරටිය ඉවත් කර අන්නාසි ගෙඩිය හොඳින් කොටු ආකාරයට කපා ගන්න. ඉන්පසුව රත් කර ගත් භාජනයට අන්නාසි කැබලි එකතු කරගෙන බැදගන්න. එයට ගම්මිරිස් ස්වල්පයක් ද එක් කරමින් බත් ටික එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසුව රසවත් මේ බතේ රස බලන්න.

ආදරය ඔතාදෙන කෙසෙල් කොළේ බත (ලම්ප් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා ග්‍රෑම් 500ක්
බැදගත් කඩල පරිප්පු ග්‍රෑම් 50ක්
බැදගත් රටකජු ග්‍රෑම් 50ක්
බැදගත් කජු ග්‍රෑම් 10ක් පමණ
ගිතෙල් හැඳි 03ක්
දෙහි ගෙඩි 02ක යුෂ
කහ ස්වල්පයක්
පොල්තෙල්
ලුණු කුඩු රස අනුව
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර පිසගන්න. බත් ඇට බෙරි නොවන සේ පිසගන්න. පසුව බඳුනක් ළිප තබා ගිතෙල් එක්කර රන්වන් පාට වනතුරු තබා එයට පිසගත් බත් එක්කර කහ ද මිශ්‍ර කරගන්න. මිරිකාගත් දෙහි යුෂ එක් කරන්න. කරපිංචා, රම්පේ, බැදගත් කජු, රටකජු, පරිප්පු එයට එක් කර හොඳින් කවලම් කර ගන්න. ඉන් අනතුරුව අනිවාර්යෙන්ම කෙසෙල් කොළයක ඔතා බත් එක පිළියෙල කරගන්න.

සුවඳ හමන සුපෝෂිත බත (දුන්තෙල් බත්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
බටර් ග්‍රෑම් 30ක්
පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
ගම්මිරිස් ඇට 10/15ක්
කුරුඳු කැබලි 03ක්
කහකුඩු තේ හැඳි 1/2ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ලූනු ගෙඩි 03ක්
එනසාල් ඇට 2 -3ක්
සාදන ක්‍රමය :-
කිරී සම්බා හොඳින් සෝදා ගන්න. ඉන්පසු වෙනම භාජනයක් ළිපේ තබා එයට බටර් සහ පොල්තෙල් දමා හොඳින් රත් කරගන්න. ඉන්පසුව ලුනූ ගෙඩි තුන සිහින්ව කපා එයට එක්කර ගන්න. එයට කපා ගත් රම්පේ, කුරුඳු පොතු, ගම්මිරිස්, තළාගත් එනසාල් එක්කර රන්වන් පාට වනතුරු හොඳින් බැදගන්න. ඉන්පසු සෝදා ගත් කීරි සම්බා සහල් එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට කහ සහ ලුණු එක්කර ගන්න. ඉන්පසු දියකිරි දමා සහල් බාගෙට තැම්බෙන්න හැර පසුව මිටි කිරි ද දමා අඩු ගින්දරින් හොඳින් පිස ගන්න. දැන් රසවත් දුන්තෙල් බත ආහාරයට ගන්න.

සෞඛ්‍යයට හිතකර සුදුලුනු බත (ගාලික් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
සුදුලූනු ග්‍රෑම් 250ක්
බටර් ග්‍රෑම් 30ක්
පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් හොඳින් සෝදාගෙන එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර හොඳින් පිසගන්න. සුදුලූනු ගෙඩි ගෙන ඉතා සිහින් වන පරිදි කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට බටර් සහ පොල්තෙල් එක් කරගන්න. ඉන්පසුව කපා ගත් සුදුලූනු ටික එක්කර රන්වන් පාට වන තුරු බැදගන්න. පසුව පිසගත් කීරි සම්බා බත එයට එකතු කර ලුණු, ගම්මිරිස් එකතු කරමින් මඳ ගින්දරේ තබා ගනිමින් විනාඩි 5ක් පමණ හොඳින් කලවම් කර ගන්න.

එකමුතුවේ රස දෙන සප්ත මාළු බත (මික්ස් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය :-
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01ක්
ඉස්සෝ ග්‍රෑම් 100ක්
කටු නැති කුකුළු මස් ග්‍රෑම් 100ක්
දැල්ලෝ ග්‍රෑම් 100ක්
තලපත් හෝ කෙලවල්ලො ග්‍රෑම් 100ක්
ඉඟුරු, සුදුලූනු පේස්ට් අවශ්‍ය ප්‍රමාණයට
ගම්මිරිස් තේ හැඳි 01ක්
ගිතෙල් ග්‍රෑම් 50ක්
ලූනු අවශ්‍ය ප්‍රමාණයට
ගෝවා ග්‍රෑම් 100ක්
කැරට් ග්‍රෑම් 100ක්
ලීක්ස් ග්‍රෑම් 100ක්
සාදන ක්‍රමය :-
කීරි සම්බා සහල් හොඳින් සෝදා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර බත් ඇට බෙරි නොවන සේ පිසගන්න. ඉස්සෝ දෙකට කපා හොඳින් බැද ගන්න. කුකුළු මස් කුඩා කොටු ආකාරයෙන් කපා බැදගන්න. කටු නැති මාළු තලපත් හෝ කෙලවල්ලෝ කැබලි කපා බැදගන්න. දැල්ලන් කුඩා රවුම් වන සේ කපා බැදගන්න. ඉන්පසුව කැරට්, ලීක්ස් සහ ගෝවා සිහින්ව කපාගෙන වෙනම තබා ගන්න. පසුව භාජනයක් ගෙන එයට බටර් සහ ගිතෙල් එක්කර ගන්න. කපාගත් කැරට් ගෙන සහ ලුණු එක්කර මඳ ගින්නේ පිසගන්න. බැදගත් මාළු, දැල්ලෝ, ඉස්සෝ, කුකුළු මස් කවලම් කර ගන්න. හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව බත් එක්කර ගන්න. ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර ගනිමින් හොඳින් කුරු ගාන්න. පසුව කුඩාවට කපාගත් ගෝවා සහ ලීක්ස් එක් කරගනිමින් හොඳින් මිශ්‍ර කර ගන්න. පිස ගත් බත් එක මතට සීනි ස්වල්පයක් ඉස ගන්න.
