Sunday, February 15, 2026
Epaper
Home කලා ලොවආදරණීය මාලිනිය සමරන කාංචනමාලා

ආදරණීය මාලිනිය සමරන කාංචනමාලා

by Shanaka Lakehouse

සුන්දර මලක් බඳු කාංචනමාලා මහවිතාන කලාවට අමුත්තියක් නොවේ. වේදිකාව, පුංචි තිරය ඔස්සේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණයෙන් කලා ලොව ජයගත් ඇය සෑමවිටම කලාවට මතක හිටින යමක් කිරීමට උත්සාහ කරන්නියකි. ඇගේ සැමියා, ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක ස්ටැන්ලි ලියනගේ ගේ සංකල්පය මත ඇරැඹී කාංචනමාලා සජීවී සංගීත ප්‍රසංගය මෙවරත් දෙසැම්බර් 19 වැනිදා සිකුරාදා මරදාන එලිෆිස්ටන් හිදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙවර හෙළ නිළි රැජන සිහිපත් කරමින් ‘ආදරණීය මාලිනීය‘ නමින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කිරිම විශේෂත්වයකි.

මොකක්ද මේ “කාංචනමාලා ලයිව් ඉන් කොන්සට්“ ?

මම වසරක් පාසා කරගෙන යන ප්‍රසංගයක් කිවුවොත් හරි. කලාව හා සිනමාව ඉතිහාසයේ විශේෂ සිදුවීම් ගැන, රසබර ගීත ගැන සංගීත අධ්‍යක්ෂවරු හා රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන කතා කරමින් කරනු ලබන රසබර ප්‍රසංගයක්. වසර දාසයක් පුරාවට නොකඩවාම මේ ප්‍රසංගය කරගෙන එනවා.

මේ වගේ ප්‍රසංගයක් කරන්න හිතුණේ ඇයි?

මගේ මහත්තයා ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක ස්ටැන්ලි ලියනගේ. මේ ප්‍රසංගය ආරම්භ කරන්නේ ඔහුගේ සංකල්පයකට අනුව. ඔහු කඩවසම් වගේම කලාවට ළැදි ආදරණීය මිනිසෙක්. ඔහු මුල් කාලයේ සෝමදාස ඇල්විටිගල, මුත්තුසාමි, එම්.කේ. රොක්සාමි, සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීණයන්ගේ ෆිල්ම්ස්්වල මියුසික් බීට්ස් වාදනය කළා. පසුව සංගීත අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සටන, ජයග්‍රහණය, සුදු වලස්සු වැනි සිනමා නිර්මාණවල සංගීතය අධ්‍යක්ෂණය කරනවා. ගෙදරදීත් විනෝදයෙන් හිටපු කෙනෙක්. අපි ගෙදරදි සර්පිනාව ගහලා සින්දුවක් කියලා ඉන්න අවස්ථා ඕන තරම්. මේ වගේ වෙලාවක ඔහු කියනවා මේ සින්දු හරි රහයි නේද කාංචු. ඉස්සරහට මේ සින්දු නැතිවෙලා යාවි. අපිට මේ සින්දු අහන්න අවස්ථාවක් දෙන්න පුළුවන්නම් කියලා. එහෙම ආරම්භ කරපු ප්‍රසංගයක් තමයි ඔහු මිය ගිහින් වසර දහතුනක් වුණත් 16 වැනි වතාවටත් අපි පවත්වන්න යන්නේ.

ඔබ සහ සැමියා මේ වැඩේට විශාල කැපවීමක් කරන්න ඇති. ඒ පිළිබඳව සිහිපත් කරමු.

අපි මේ වැඩේ එතනින් පටන් ගන්නවා වුණත් ලේසි වෙන්නේ නැහැ. නමුත් ස්ටැන්ලිට කලාව ගැන, සිනමාව ගැන සින්දු ගැන තිබුණු දැනුවත් බව සහ මතකය නිසා මට වැඩේ ලේසි වුණා. හින්දි සිනමාවම වගේ සිංහල සිනමාව ගැන ඔහුට පුදුමාකාර කියැවීමක් තිබුණා. අනික තමයි එයාට ජෝතිපාල මහත්මයාගේ හඬ තිබුණා. ඉතින් මුල් කාලේ ඔහු හිටියත් මේ වෙනකොට මාත් සමඟ ඔහු නෑ. ඒ නිසා මම ගොඩාක් කැපවෙනවා. විමර්ශනය කරමින් තොරතුරු හොයමින් තමයි මේ වැඩසටහන් පෙළගැස්වීම කරන්නේ.

මේ තරම් උත්සාහයකින් කැපවීමකින් කරන මේ ප්‍රසංගයට ඇයි මිලක් නියම නොකරන්නේ?

එයා මට කියලා තියෙනවා “කාංචු අපි මේ ප්‍රසංගයට ගන්නේ අනුන් ලියපු සින්දු, වියදම් කරලා හදපු නිර්මාණ, මේ කරන්නේ අපිට හම්බ කරන්න පුළුවන් දෙයක් නොවෙයි. “ඒකයි වැදගත් අපි කලාව වෙනුවෙන් ඉපදුණු මිනිස්සු. අපේ යුතුකම කලාව වෙනුවෙන් යමක් කිරීම.

මේක හොඳ වැඩක් නිසා මට උදවු උපකාර කරන යාළුවෝ ටිකක් ඉන්නවා.

අවුරුදු දාසයක් නොකඩවා මේ ප්‍රසංගය කරගෙන ආවේ ඒ ගොල්ලන්ගේ සහයෝගයත් එක්ක. අපි මේ වෙනකම් මේ වෙනුවෙන් ප්‍රවේශ පත්‍රයක්, ස්විනියර් එකක් හෝ ගහලා නෑ. මෙවර මේ ව්‍යසනය සමඟ මිතුරන්ගේ හෝ සහයෝගය ලබාගැනීම තරමක් අපහසුයි. ඒත් මොනතරම් බාධා ආවත් මේ වැඩේ මගේ උපරිමයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.

කාංචනමාලා ලයිව් ඉන් කොන්සට් “ආදරණීය මාලිනිය“ බවට පත් වූ හැටි පාඨකයෝ දැනගන්නත් කැමැති ඇති?

මෙවර විශේෂත්වය තමයි අපි මේ වැඩසටහන කරන්නේ ආදරණීය මාලිනිය සිහිපත් කරමින්. ඒ නිසා තමයි මේ නම දාන්නේ. අපේ නිළි රැජන මියැදුණු මොහොතේ මම හිතුවා මීළඟ මේ වැඩසටහන මම කරන්නේ ඇය වෙනුවෙන් කියලා. එදා ඉඳල හැම අවස්ථාවකම මම මේ වෙනුවෙන් මහන්සි වුණා.මාලිනියගේ විස්තර, අැය රඟපාපු චිත්‍රපට, ඒ චිත්‍රපට ගීත වෙන වෙනම පරිශීලනය කරමින්, ඇය රංගනයෙන් දායක වුණු නමුත් නිතර ඇහෙන්නේ නැති ගීත සොයමින් මම ගීත 30ක එකතුවක් සකස් කර ගත්තා. මොකද ඒ රසය දෙන්න අපිට වෙන කවුරුත් බිහි වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම ප්‍රසංගයේදී හැමවෙලාවෙම නොඇසෙන ගීත තමයි තෝරගත්තේ. මොකද හැම වෙලේම අහන සින්දු ඇහුවට වෙනසක් නැති නිසා. හැමදාම මේක බලලා යන කට්ටිය මට කියන දෙයක් තමයි මේක අහලා තියෙනවා. හැබැයි මේක මෙච්චර රසක් තියෙන සින්දුවක් කියලා දැනුණේ අදනේ කියලා. නමුත් මාලිනියගේ ප්‍රසංගයේදී මට ඒක කරන්න ටිකක් අපහසු වුණා. මොකද ඇගේ සියලුම ගීත හරිම ප්‍රසිද්ධයි.

හැම වසරකම කලාවේ විශිෂ්ටයෙක් සිහිපත් කරනවාද?

ඔව්. හැම අවුරුද්දකම මම කෙනෙක්ව සිහිපත් කරනවා. ගිය අවුරුද්දේ මම සිහිපත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නව. එයා අපට සිටි සංගීත ගාන්ධරවරයෙක්. මෙවර මාලිනිය සිහිපත් කරනවා පමණක් නොවේ ප්‍රසංගයේදී මාලිනී අක්කා ගැන සිහිපත් කරමින් ඇගේ සමකාලීන කලාකාරිනියක වන ගීතා කුමාරසිංහ කතාවකුත් කරනවා.

මේ ප්‍රසංගය සඳහා සංගීතයෙන් සහ නර්තනයෙන් දායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද?

මේකෙදි මට ගොඩක් උදවු වුණේ යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම, ප්‍රංසගය මෙහෙය වන්නේ අපේ රුවන් වික්‍රමසිංහ රංගන ශිල්පියායි. දයාන් විතාරණ, පේෂල මනෝජ්, හර්ෂණ දිසානායක, නිලන්තසිරි පතිරණ, උපුල් නිශාන්ත, මට අවුරුදු ගාණක් තිස්සේ ගායනයෙන් උදවු වෙනවා. ජනප්‍රිය නර්තන ශිල්පී නිහාල් පෙරේරා මහත්මයාගේ රංග කලා ආයතනයේ දරුවන් නර්තනයෙන් දායක වෙනවා.

මේ ප්‍රසංගයේ එකම කාන්තා හඬ මගේ. අනෙක් සියලු දෙනා සහාය ගායන ශිල්පීන්. මගේ හඬේ ශක්තියේ තියෙනකම් මේ සංගීත දානය මම ලබාදෙනවා.

මිනිස්සු අහන්න පුළුවන් ව්‍යසනයක් වෙච්ච වෙලාවෙ මේ වගේ ප්‍රසංගයක් කරන එක හරිද කියලා.

ඔවුන්ගේ මානසික නිදහස වෙනුවෙන් වුණත් මේක ගොඩක් වටිනවා. සුනාමි කාලෙත් මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන් අපි මේ වගේ දේවල් කළා. අපි හැමෝම සිනාව බෝ කරන්න ඕනි. මේ ඒකට හොඳම අවස්ථාවක්.

ඉතින් කාංචනමාලා රංගනය ගැනත් චුට්ටක් කියමු. මොනවද මේ දවස්වල කරන්නේ?

‘හිතාගන්න බැරි කතාවක්‘ කියන ටෙලි නාට්‍යයේ මම මේ දවස්වල වැඩ කරනවා. උද්දච්ච රදල විදුහල්පතිනියකගේ චරිතය තමයි මම රඟපාන්නේ. දිමුතු මුතුවලින් පස්සේ ආව ‘රේඛාව‘ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වුනු දවසේ ඉඳලා අද වෙනකම් වසරකට ටෙලි නාට්‍ය දෙක තුනකට හෝ ආරාධනා මට ලැබෙනවාමයි.

ඇත්තටම මම උසස් පෙළ කළේ ගණිතය විෂයන් වුණාට සාමාන්‍ය පෙළ කළේ නර්තනය. මම අසූව දශකයේ තරුණ සේවා සභාවේ පළමුවරට පැවැත්වූ යෞවන සම්මාන උලෙළේ සමස්ත ලංකාවෙන්ම දක්ෂතම නර්තන ශිල්පිනියට හිමි සම්මානය ලබාගෙන තියෙනවා. ඉතින් කලාව කියන්නේ මට හරිම සමීප මගේ ඇඟේම තියෙන දෙයක්.

ජීවිතයේ අවසාන වන තෙක් කලා ශිල්පිනයක් ලෙස කටයුතු කරන්න මම කැමතියි. සසර මග අවසන් කරන්න තියෙනවා නම් වාසනාවක්. නමුත් දරුවෝ මතක් වෙද්දි අතාරින්න බැරිකමක් තියෙනවා. ඒ ආදරේ ඇට මිදුළු දක්වා කා වැදිලා තියෙන්නේ. මවුසෙනෙහස තියෙනකම් මේ සසරෙන් නම් එතෙර වෙන්න ලෙහෙසි වෙන එකක් නැහැ.

 

TEXT – රසාංජලී වාසල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?