නත්තල යන වචනය තුළම අපට මැවෙන්නේ ලස්සන පරිසරයක් ඒ දැනෙන සීතලට අපි හැමෝම ආදරය කරනවා. බෞද්ධ දරුවොත් නත්තල් සීයාගෙන් තෑගි බලාපොරොත්තුවෙන් ලස්සනට ගෙදර නත්තල් ගස් හදලා ඒ ගහේ ලස්සන ලස්සන දේවල් එල්ලනවා. එයාලා හිතනවා නත්තල් සීයා රෑට එයාලට තෑගි ගෙනත් දෙයි කියලා.
ඉතින් අපේ මවුපියොත් පුංචි හිත්වලට සතුටක් ගේන්න හොරෙන්ම ඇඳෙන් තෑග්ගක් තියනවා. අපට මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ ආගම් භේදයකින් තොරව අපි හැමෝම නත්තලට ආදරේ බවයි. අපේ බුදු පියාණන් වහන්සේ පවා අපට පෙන්වා දෙන්නෙ අන්‍ය ආගම් වලට ගෞරවයෙන් සලකන්න කියලා.
ඒක නිසා බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි. අපි එක රටක මිනිස්සු විදිහට සෑම හොඳ කටයුත්තකදීම ආගම් භේදයකින් තොරව එකිනෙකාට උදවි උපකාර කළ යුතුයි. අද රටට වෙලා තියෙන විශාල විනාශයෙන් පවුල් පිරිසක් දුකට පත්වෙලා තියෙනවා. මේ නත්තල කිතුනු බැතිමතුන්ට පුළුවන් ආදරයේ පරිත්‍යාගයේ, දෑත ඒ අසරණ පුවුල් වලට දිගු කරන්න. එවිට නත්තලේ සැබෑ අරුත ආරක්ෂා වෙයි.
අතීතයේ දී විවිධ ජාතීන් අපේ රටට පැමිණියහ. එහි ප්‍රතිඵල වශයෙන් විවිධ ආගමිකයින් හා විවිධ ජාතීන් අප රටේ කාන්තාවෝ විවාහ කරගත්හ. මෙහි දිගුවක් ලෙස සමාජයේ කුඩාම ඒකකය වන පවුලේ මව සහ පියා විවිධ ආගම් හා ජාතීන්ට අයත් වූහ. එහෙත් ඔවුන් එකිනෙකාට ගරු කරමින් අනෙකාගේ ජාතියට හා ආගමට ගරු කළහ.
19 වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතැම් පවුල් සංස්ථාවන් තුළ මව හා පියා බොදු හා කිතුනු ආගම් අදහන්නන් විය. එකිනෙකාට ගරු කරමින් ඔවුහු සිංහල අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන් උත්සව මෙන්ම නත්තල ද සමරති. ආගම් භේදයකින් තොරව වෙසක් පොසොන් කාලයට වෙසක් කූඩු හදන, දන්සල් දෙන ඔවුහු නත්තලට තමන්ගේ නිෙවසේ, පාසලේ, ආගමික ස්ථානයේ නත්තල් ගස්, ගව ලෙන් ආදිය නිර්මාණය කරති.
නත්තල යනු සියලු දෙනාම ම සතුටු වන දිනයක් යැයි ඇති පොදු පිළිගැනීම නිසා ‘‘අපට හැමදාම නත්තල්’’ යැයි කියන්නට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව ඇත. ඒ තුළින් පැහැදිලි වන්නේ නත්තල බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගමිකයන්ගේ උත්සවයක් නොවූවත් ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතිය තුළ “නත්තල” මුල් බැසගත් අංගයක් බවයි.
නත්තල යනු ලොව පුරා විසිරී සිටින ක්‍රිස්තු දහම අදහන බැතිමත්හු සමරන ප්‍රධානම උත්සවයයි. නත්තල යනු ආදරය, සතුට, සහ සහෝදරත්වය සමරන දිනයක් ලෙස ඔවුහු සලකති. එහෙයින් නත්තලේ සැබෑ සාරය වැලඳ ගැනීමෙන්, සමාජයට ත්‍යාගශීලීත්වය, එකමුතුකම සහ ධනාත්මක වෙනසක් ඇති කිරීමට එහි බලය උපයෝගි කර ගත හැකිය.
නත්තල් සීයා නත්තල හා බැඳුණු සුවිශේෂී චරිතයකි. මෙකී සංකල්පය මුලින්ම බිහි වූයේ ක්‍රිස්තු වර්ෂ 280 දී තුර්කියේ උපත ලැබූ ශාන්ත නිකලස් (St. Nicholas) පූජකවරයා නිසා බව කිය වේ. ශාන්ත නිකුලස් තුමා යනු ඉතා කරුණාවන්ත හා ත්‍යාගශීලී ශුද්ධවන්තයෙකි. ඔහු ගම්බද ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවල ජීවත් වන කුඩා දරුවන්ට, දුප්පතුන්ට සහ රෝගීන්ට තමන්ට උරුම වූ සියලු ධනය බෙදා දී තිබේ.
වර්තමානයේ දී නත්තල් සීයා යන චරිතය වෙෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබුණත් මුල් කාලයේ දී එකී චරිතයෙන් ගම්‍ය වන්නේ පරිත්‍යාගශිලී භාවය යි. නත්තල් සමයේ දී පරිත්‍යාගය පුරුදු පුහුණු කරන්නට අපි සැමත් උත්සාහ ගත යුතුය. ඒ මන් ද පරිත්‍යාගය, කිතුණු ආගමේ මෙන් ම සෑම ආගමකම උගන්වන ප්‍රධාන ඉගැන්වීමක් වන බැවිනි.
නත්තල් උත්සව දිනයේ දී සිදුවන විශේෂ වැඩසටහනක් ලෙස පවුලේ සාමාජිකයින් අතර මෙන් ම යහළුවන්, නෑදෑයින්, අසල්වැසියන් අතර තෑගි හුවමාරු කර ගැනීම දැක්විය හැකි ය. මේ තුළින් ද පරිත්‍යාගය, සාමය, සතුට, ආදරය හා ප්‍රේමය නිරූපණය වෙයි.
නත්තල් සමයේ දී විදුලි පහන් ලක්ෂ ගණනක් දැල්වුවද සිය ගණනක් උත්සව හා ගීතිකා ආදිය පැවැත්වුව ද ඒ කිසිවක නත්තලේ සැබෑ අර්ථය දක්නට නොහැකිය. නත්තලේ සැබෑ අර්ථය ප්‍රචලිත කිරීමට නම් සාමය, ආදරය, ප්‍රේමය, දයාව, කරුණාව, පරිත්‍යාගය ආදි ගුණාංගයන් සමාජය තුළ රෝපණය කිරීම මෙන්ම එකී ගුණාංගයන් වැලඳගැනීමත් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ය.
මධුර ප්‍රභාත් ගමගේ
