පුස්තකාලයේ සිවුවැනි මහලේ හතරැස් කවුළුවලින් රොබොරෝසියා ගස් පෙළත් ලවර්ස් ලේන් එකට පහළ ගඟ අද්දර ලිය සැව් වැලඳි ඝන සා මඬුලුත් දිස් වෙයි. විසල් කොළ උණ ගස්වල මුදුන් රිකිලි ලතාවකට පැද්දෙයි. රොබොරෝසියා ගස්වල දීප්තිමත් රෝස පැහැය කෙමෙන් මැකී සුදුමැලි පාටට හැරෙමින් තිබෙයි. ගිම්හානය ගෙවී පේරාදෙණියට සරතය සේන්දු වෙමින් තිබෙයි. පසුගිය වසරෙහි මේ කාර්තුවේ දී කාංචනා සමඟ රොබොරෝසියා මල්පාවරය මත පිය නැඟූ අයුරු නිගූට සිහි වෙයි.
නිගූ අතට ගත් හයිකු ඇන්තලොජිය පොත් රාක්ක පේළියේ එහා කෙළවරට වන්නට අධ්‍යයන කටයුතු පිණිස තබා ඇති මේසයක් මත තබා පෙරළයි. එකම හයිකුවේ ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් කෙරෙහි සාවධාන වෙමින් හයිකුවක් දෙකක් සිංහලයට නඟන්නට උත්සාහ කරයි. අනතුරුව තමාම සිංහලයට නැඟු හයිකුවක එතී නිගූගේ සිත මෙතෙක් අත් විඳි විප්‍රවාසී වේදනා වියවුලෙන් මිදී නිමේෂ මාත්‍රයකට සුපින ලොවක සැරිසරයි. හයිකුවක නනරුත් පිරිසිඳිමින් හිඳ පොත් රාක්ක දෙසින් ඇසෙන පොත් පිටු පෙරළෙන හඬට කන් දී හිස ඔසවන නිගූට පොත් රාක්කයක පොත් අතරතුර හිඩැසකින් මතුවන දිගටි ඇස් දෙකක් සිනාසෙයි. ඊළඟ මොහොතේ දී නිගූ ඒ ලස්සන දිගටි දෑසෙහි හිමිකාරිය හඳුනා ගනියි. ඒ ඉංග්‍රීසි අංශයේ තෙවැනි වසර සිසුවියක වන නූපා අත්තනායකයි.
නූපා, නිගූගේ මතකයෙහි සනිටුහන් වන්නේ ඇගේ රැග් සීසන් එකේ සිටයි. රැග් සීසන් එකේ චීත්ත ගවුම් ඇඳ සිටියද නූපාගේ පොශ් පෙනුම කෙරෙහි නිගූගේ අවධානය යොමු වෙයි. ඈ නුවර කඩයේ එකියක බව ඔහු වහා හඳුනා ගනියි. නුවර කඩේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ නේවාසිකාගාරවල නොනැවතී නිෙවසේ සිටම සරසවි එන නුවර අවට සිසු පිරිසයි. විසල් ගල් කණු බිම පෙරළා ඇති නිසා පොලොන්නරුව යනුවෙන් හඳුන්වනු ලබන සරසවි බිමේ සුන්දර ඉසව්වක නවකයින් හඳුනාගනිමින් සිටි සැඳෑවක නිගූ පළමුවරට නූපා දකියි. විසල් මාර ගස් මතින් ලඹ දෙන කහ පාට මල් වැල්වලින් ගිලිහී අවකාශයේ පාව යන මල්, බිම වැටෙන්නට නොදී අල්ලාගෙන පෙරළා ඇති ගල් කණුවක් මත එකතු කිරීම ජ්‍යෙෂ්ඨයකු ඇයට පවරා ගොස් ඇති නවක වධයයි. ඈ සුළඟේ පාවෙන මල් අල්ලා ගැනීමට තණ බිස්සේ ඒ මේ අත දුවමින් උත්සාහ කරයි. කාංචනා දේශනයක් නිම වී එනතුරු නිගූ නවකයන් අතර සැරිසරමින් සිටිද්දී සුළඟේ පාව යන කහ පාට මලක් අල්ලා ගන්නට දිවයන මේ හැඩකාර කෙල්ල නවතා පෙරළුණු ගල් කණුවක් කෙළවර වාඩිකරවා ගෙන ඇගේ තොරතුරු විමසයි. ඇගේ කාඩ්බෝඩ් ෆයිල් කවරයේ ඉදිරිපස ලොකු අකුරින් ලියා තිබුණු “ගම්බට්ටී” යන කාඩ් එක ඇය ලවාම මකවා වෙනත් එකක් ලියවා එය නැවත වෙනස් නොකරන ලෙස මෘදුව තර්ජනය කරයි.
“ඒයි ෆ්‍රෙෂී ඕක කපලා ලියා ගනින් සැන්තපී කියලා.. ආපහු කවුරු කිව්වත් වෙනස් කරන්ඩ බෑ තේරුණා ද? ”
ඈ බියෙන් සසැලෙන දෑසින් ඔහු දෙස බලා කාඩ්බෝඩ් ෆයිල් කවරයේ ඉදිරිපස “සැන්තපී” යනුවෙන් ලොකු අකුරෙන් ලියයි. ඈ එය ලියා ඉවර වෙන්නත් කලින් නිගූ ඇගෙන් මෙසේ අසයි.
” උඹ දන්නවද සැන්තපී කියන්නෙ කාටද කියලා.”
ඇගේ පොපියන දෙතොලතර සිනහවක් මතුවන්නට එද්දී ඈ එය වෑයමෙන් නවතා ගනියි. දිදුලන ඇස්වලින් නිගූ දෙස බලයි. ඇගේ ඇස් දුඹුරුයි. ඇස් පිහාටු දිගයි. ඈ මුහුණ උඩුකුරු කරන විට නිකට හීනියි; දිගයි. සැණින් ඇගේ මුවගට උත්තරය නැඟෙයි.
” සොක්‍රටීස්ගේ බිරිය”
නිගූ සිතා සිටියේ ඇයට ලියා ගන්නැයි කී නම කාගේදැයි ඇයට කියා දෙන්නට සිදු වනු ඇත කියායි. ඇගේ පිළිතුරින් ඔහු විස්මයටත්, සතුටටත් පත් වෙයි. මේ කෙල්ල මේ ඇවිත් ඉන්න මෙලෝ අල බෝලයක් නොදන්න කෙල්ලන් අතර විශේෂ කෙල්ලක් යැයි ඔහුට සිතෙයි.
” ෂහ් නියමයිනෙ.. උඹ සැන්තපීව දන්නවා.. එහෙනම් මතක තියා ගනින් අද ඉඳලා උඹ දාර්ශනිකයකුගේ බිරියක්.”
නිගූ එසේ කියත්ම උඩුකුරු කළ මුහුණින්, දල්වා ගත් නෙතින් ඈ ඔහු දෙස තත්ත්පර කීපයක් එක එල්ලේ බලා සිටි ඒ මායාවී බැල්ම නිගූගේ සිතෙහි තවමත් විදුලි කොටයි.
නූපා රැග් සීසන් එකෙන් පසුවද නිගූ කෙරෙහි වෙනස් ළෙන්ගතුකමක් පළ කරයි. කාංචනා අසලක නොමැතිව නිගූ තනිව සිටින අවස්ථාවල ඔහු කරා දිව එන නූපා ආ ගිය තොරතුරු විමසා ඔහු වෙත මුලින්ම හෙළුෑ ඒ මායාවී ඇස් බැල්ම, යළි යළිත් දී යන්නට අමතක නොකරයි.
නිගූ තවත් හයිකුවක ගිලී සිත සමාධී කර සිටි මොහොතකි. නූපා තමා සමීපයටම පැමිණෙන තුරු ඔහු නොදකියි. ඈ ඔහුගේ පසුපසින් පැමිණ ඔහු නොදුටු බව සිතා දෙඅත්ලෙන් දෑස් වසයි. තම ඇස් වසාලූයේ කවුරුදැයි දන්නා නිගූ කලබල නොවී ඇගේ අත්ල මුදු ලෙස අල්ලා ඉදිරියට ඇද ගනී. දුටු සැණින් සිත කලඹන, යටි පතුල් පවා හිරිවට්ටන හිත් යටි මඩියෙහි සඟවාගෙන සිටින ආශාවේ වස්තුව වෙත අහම්බකාරකව ළං වීමට හැකි වීමෙන් නූපා සසලව සිටියි.
” මොකෝ ඔයා අද තනියම..?”
නූපා රහස් සිහින් ස්වරයකින් අසයි. සරසවි බිමෙහි කොතැනක සිටියද වෙනදා නිගූ දකින්නට ලැබෙන්නේ තනිවම නොවෙයි. කාංචනා ඔහු වෙත දැවටෙමින් සිටියි. නිගූ කිසි කතාවක් නැතිව නූපා තමා වෙතටම ඇද තුරුලු කර ගනියි. එය දෙදෙනාම අපේක්ෂා කළ අහම්බකාරකයකි. දුලබ විලවුනක සුවඳක් ඇගේ ගෙලවටින් උද්වහනය වෙයි. දැන් ඈ නිගූගේ ඔඩොක්කුවට වැටී ඔහුගේ ගෙල මත ද පපුවෙහි ද හාදු තවරයි. ඔහුගේ සර්වාංගයම හිරි වැටෙයි. ගෙල පසුපසින් සුරත යොමා නිගූ ඇගේ කෙස් වැටිය එක මිටට වැරෙන් අල්ලාගෙන පහසුවෙන්ම ඇගේ මුහුණ තමා වෙත උඩුකුරු කරවා ගනියි. ඇගේ දිගු දෑස් අඩවන් වෙයි. සීතල රත් දෙතොල් ගිනියම් වෙයි. කිසිදා පියැවියේ විඳ නොමැති උමතු මිහිරකින් ඇගේ සිත ද සියොළඟ ද පුපුරු ගැසෙයි. නිගූ බොහෝ වේලාවක් ඇගේ රත් දෙතොලෙහි ගිනියම් රත වියරුවෙන් මෙන් උරා ගනියි. ඇගේ තුනුවිලම කැලඹෙයි. ඊළඟ නිමේශයේ ඈ හයිකු කවි ඇතිරූ මේසය මත බෑවෙයි.
එය කිසිදා යළි උදා නොවන අහම්බකාරකයකි. දෙදෙනාම ඒ බව දනියි. සරසවි පුස්තකාලයේ සිවුවැනි මහලේ පාළු පොත් රාක්ක අතර පොත්වලින් හමන අමුතු ගුප්තමය සුවඳක් සමඟ නිගූගේ සිතේ ඒ මතකය රැඳී තිබෙයි. සිත් තැවුලින් පිරි වේදනාත්මක හැන්දෑවක් ස්වර්ගීය මිහිරකට මුසු කළ නූපා නිගූගේ ස්වර්ගීය මතක සැමරුම් අතර අදත් වැතිරෙයි.
“ළමයො අටත් පහු වෙලා නැඟිටින්නෙ නැද්ද? ” අම්මාගේ කටහඬ නිගූ පියවියට කැඳවයි. තමා වැතිර ඉන්නේ බණ්ඩාරගම අක්කලාගේ ගෙදර බව නිගූගේ සිහියට එයි. ගෙදර නිශ්ශබ්දයි. පාළුයි. සියල්ලන් පිටව ගොසිනි. අම්මා කුස්සියෙහි මොනවදෝ කරමින් සිටියි. ඔහු නැඟිට කුස්සිය දෙසට යයි. අම්මා එක්ක තනියම කතා කරන්නට අවස්ථාවක් උදා වන සතුට නිගූගේ සිතට කාන්දු වෙයි. අසෙනි ගැන කතා කරන්නට මේ හොඳම දවස බව නිගූට සිතෙයි.
තවත් කොටසකින් හමුවෙමු
