අම්මාවරුනේ…
දරුවන්ගේ ජීවිත රකිමින් පවුරක් සේ කටයුතු කරන යෝධ ශක්තිය ලෙස අම්මා හැඳින්විය හැකිය. පුරුෂයාට වඩා ශාරීරික ශක්තියෙන් අඩු වුවද කාන්තාවක මවක වූ කල ඇගේ මානසික ශක්තිය දෙගුණ තෙගුණ වන්නේ දරුවන්‌ගේ පළමු ආරක්ෂකයා වෙමිනි. එවන් දිරිය මවක් ගැන අදහස් පළ කිරීමට මෙවර තරුණී ‘අම්මාවරුනේ‘ විශේෂාංගය හා කතාබහට එක් වන්නේ අපේ රටේ වත්මන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියයි. මේ ඇය සිය මෑණියන් ගැන අප හමුවේ කියූ කතාන්දරයයි.
“මගේ අම්මා කේ. එස්. සෙල්ලන්කේ. මගේ අම්මාගේ දෙවැනි දුව මම. ඉතින් සහෝදර සහෝදරියන් හතරකගෙන් යුත් පවුලේ දෙවැනියා වුණෙත් මං. මට වැඩිමහල් සහෝදරියක්, බාල සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිනවා. ඉතින් දුෂ්කරතා රැසක් මැද දරුවන් හතර දෙනකුට අම්මා කෙනෙක් වුණු අපේ අම්මා බොහොම ධෛර්යවන්ත කාන්තාවක්. මං අම්මාගෙන් දැක්කේ ආදරය සෙනෙහස විතරක් නෙමේ, ධෛර්යය, ඉවසීම සහ දරා ගැනීම කියන විශිෂ්ට ගුණාංගත් මං ඇයගෙන් අත්දැකලා තිබෙනවා. අපේ අම්මා අකුරු ඉගෙන ගත් ලොකු අධ්‍යාපන මට්ටමක් තිබුණු කෙනෙක් නෙමේ. එහෙත් ඇය ජීවිතයේ අත්වින්ද අමිහිරි අත්දැකීම් සියල්ලක්ම දරා ගනිමින් දුරදිග බලා වැඩ කළ කාන්තාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්”
ළමා කාලයේ දියණියකට සිය මවු හැර වෙනත් රැකවරණයක් තිබේද? දිවා රෑ නොබලා පවුලේ ආර්ථික බර කරට ගෙන වෙහෙසන පියාගේ අඩුවද පුරවාලමින් මවුතොමෝ සිය කුසින් වැදූ දරුවෝ රැක බලා ගනිති. ඔවුන්ගේ දඟකාරකම් සමසිතින් දරා ගනිමින් ඔවුන්ට යහමග කියා දුන් අම්මා ගැන ඇමැතිවරිය මෙසේ අදහස් පළ කළාය.
“මං පුංචි කාලයේ බොහොම දඟකාර දැරිවියක්. ඉතින් මම නිතරම ඒ කාලේ අම්මා එක්ක රණ්ඩු වෙනවා. අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා එක්ක වැඩියෙන් රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් දඟ වැඩ නිසාම මං නිතරම අම්මාගෙන් ගුටිකනවා. පුංචි දැරියක් විදිහට මං පෙන්නූ කිසියම් දක්ෂතාවන් නිසා අම්මාගේ හිතේ මං ගැන බලාපොරොත්තු ගොඩක් තිබුණ බව මට දැනිලා තිබුණා.
මට වැඩිමහල් සහෝදරියක් සිටියත් පුංචි කාලයේ ඉඳන්ම ගෙදර හැමදේටම නායකත්වය අරන් කටයුතු කළේ මම. ගෙදර සෙල්ලම් ගෙයක් දැම්මත් එහිදීත් මං මූලිකත්වය ගෙන කටයුතු කළා. ගෙදරින් නෑ ගමනක් යද්දී වුණත් අම්මා මාව පෙරමුණේ තියාගෙන මගේ අතින් අල්ලාගෙන ගමන් කරන සිරිතක් තිබුණා. මගේ අම්මට නායකත්වය කියන සංකල්පය ගැන හාංකවිසියකවත් අදහසක් නොතිබුණත් මා තුළ වූ නායකත්ව ලක්ෂණ ඔපමට්ටම් වෙන්න අම්මා නොදැනුවත්වම ලොකු පිටිවහලක් වුණා.
ඒ වගේම අම්මා එක්ක කඩේ යන්න මං හරි ආසයි. පුංචි දෙයක් හරි වැඩිපුර මට ලැබෙන නිසා මං අම්මාත් එක්ක ගමන් බිමන් යන්න බෙහෙවින්ම ආස කළා. ඒ ඉතින් පුංචි කාලේ මගේ හැටි.”
අපි කාගෙත් මුවින් පිට වූ පළමු වචනය අම්මා නොවේ නම් එවන් දරුවෙක් අපට මුණගැසෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ හැර මෙලොව බිහි වූ හැම දරුවකුගේම මුවින් පාහේ ලෝකයට මුදා හැරෙන පළමු වචනය අම්මා මිස අන් කිසිවක් නොවේ. එහෙත් බහ තෝරන අවධිය පසු කර ළමා කාලය, නව යොවුන් අවධිය, තාරුණ්‍යය පසු කරන තෙක්ම බොහෝ දරුවන්ට මවකගේ වටිනාකම හරිහැටි තේරුම් නොයෑම කනගාටුවට කරුණකි. හෘදසාක්ෂියට එකඟව සිතා බලන විට අප සැමගේම ස්වභාවය එයයි. එහෙත් කාන්තාවකට මවකගේ අගය වැටහෙන එක් කාලපරාසයක් තිබේ. පිරිමියෙක් පියෙක් වූ පසු පියාගේ අගය වැටහෙන්නාක් මෙන් දියණියක මවක් වූ කල මවගේ අගය නිසැකවම වැටහෙයි.
“මම අම්මාව කොතරම් රස වින්දත් අම්මාගේ රැකවරණය යටතේ ජීවත් වුණත් මට අම්මාගේ ආදරය වඩාත් තේරුම් ගියේ මං අම්මා කෙනෙක් වුණාට පස්සෙයි. මම ගුරුවරියක් වෙලා දරුවන් සමඟ කාලය ගත වෙද්දීත් අම්මා කෙනෙක්ගේ වටිනාකම යම් තරමකට වැටහෙන්න ගත්තා. අපේ අම්මා ප්‍රශ්නයක් දිහා බලන ආකාරය, වෙනස්කම් දරා ගන්නා හැකියාව මම ගුරුවරියක් වුණාම තේරුම් ගත්තා. අපේ මුරණ්ඩුකම් බලලා සතුටින් හිනා වෙලා ඇය දරා ගත් හැටි මගේ ගුරු ජීවිතයේදී මට සිහිපත් වුණා වගේම ඒ වටිනාකම් මගේ ගුරු ජීවිතයේදී මට ප්‍රයෝජනවත් වුණා. ඉතින් ගුරුවරියක් ලෙස දරුවන්ගේ මුරණ්ඩුකම්, දඟකාරකම් දෙස බලලා ඒවා දරාගෙන දරුවන්ට අවවාද කරමින් දරුවන්ව යහමගට ගන්නට අම්මා සතු පුරුදු මට ඉවහල් වුණා කීවොත් වැරදි නෑ. අපේ පවුලේ සහෝදර සහෝදරියන් මුරණ්ඩු වනවිට, රණ්ඩු සරුවල් කර ගන්නාවිට අපව අවනත කර ගැනීමේ හැකියාවක් අම්මාට තිබුණා. ඒ හැකියාව අපේ අම්මාට මාතෘත්වය නිසාම ලැබුණු දෙයක් යැයි මා විශ්වාස කරනවා.”
“අද මං අම්මා කෙනෙක්. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම අම්මා කෙනෙක් විදිහට මගේම දරුවන්ව දරාගන්න, ඉවසීමෙන් ඔවුන්ව නිවැරදි මාර්ගය දිගේ අරගෙන යන්නට අම්මාගෙන් ලැබුණු ඒ පන්නරය මට බොහෝ සෙයින් වැදගත් වුණා.”
ජීවිතයේ දුෂ්කරම අවස්ථාවල ඔබ ළඟම පහනක් ලෙස සිටි අයෙක් වේ නම් ඒ ඔබේ අම්මා, තාත්තා මිස අන් කවරෙක් හෝ නොවේ. ඒ පහන අපේ ජීවිත ආලෝකවත් කරනවා මිස කිසි දිනක අප දවා හළු කරන්නේ නැත. මේ ජීවිතයේ දුෂ්කරම අවස්ථාවල සිය මවගෙන් තම ජීවිතයට ලැබුණු ආලෝකය ගැන පෝල්රාජ් අමාත්‍යවරිය කියන කතාවයි.
“මං ඉපදිලා දවස් හතළිස් පහෙන් පමණ රටේ ඇති වුණු කලබලකාරී වාතාවරණය සමඟ මගේ අම්මා මාව රෙදි කැබැල්ලක ඔතාගෙන ආරක්ෂිත ස්ථානයකට අරගෙන ගිහින් තිබෙනවා. ඒ අත්දැකීම ගැන මට තිබෙන්නේ අම්මාගෙන් අසා දැන ගත් කතාන්දරයක් මඟින් සිතේ මැවුණු චිත්‍රයක් පමණයි. ඒත් ඇය මාව ආරක්ෂා කළේ ඒ විදිහටයි.”
“මගේ ජීවිතයේ පුංචි කාලයේ 1983 වසරේ රටේ කලබලකාරී වාතාවරණය හමුවේ අපේ ගෙවල් ගිනිබත් වෙලා, මං ආසා කරපු මගේ සෙල්ලම් බඩු, පොත්පත් ආදිය මට අහිමි වුණා. එදා අම්මාගේ ගෙලේ තිබුණු තැල්ල පවා උකස් කරමින් අපිට අහිමි වුණු දේවල් නැවත අරගෙන දෙන්නට අම්මා කටයුතු කළා. තාත්තාට තිබුණු ආර්ථික ශක්තියත් එක්ක පවුලේ ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමට ඇයට එසේ කරන්නට සිදු වුණා. අපේ පුංචි වයසත් එක්ක අපි මනසින් කඩා වැටෙද්දී ඇය අපේ මනස ගොඩනැගුවා. ඇත්තටම අම්මාගේ ඒ දරා ගැනීම ගැන අදටත් මට සිතාගත නොහැකියි. නිහඬ පුංචි ගැහැනියක් තුළත් විශාල මානසික ශක්තියක් රැඳිලා තියෙන බව මම අවබෝධ කර ගත්තේ මගේ අම්මාගෙන්. ඇත්තටම අපි හිතින් කඩා වැටුණු හැම අවස්ථාවකම අම්මා අපේ හිත ශක්තිමත් කරමින් ජීවත් වුණා. ඉතින් අද මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අභිමානයෙන් යුතුව රටේ ජනතාවට සේවය කරන්නේ, ධෛර්යවන්ත සිතුවිලිත් එක්ක අපිව පෝෂණය කළ මගේ අම්මා නිසා බව කිවයුතුයි. හඬක් අවශ්‍ය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මගේ මවට නොලැබුණු වටිනාකම සහ අවස්ථා අපේ රටේ කාන්තාවන්ට ලැබෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරන නිසායි.”
අවසාන වශයෙන් අම්මා ගැන නිර්වචනය කරමින් අමාත්‍යවරිය දැක්වූයේ මෙවන් අදහසක්.
“අම්මා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා නිර්වචනය කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ ඇති කියලා මං හිතන්නේ නෑ. විද්‍යාවේදී, සාහිත්‍යයේදී, කලාවේදී සහ දර් ශනයේදී විවිධ විදිහට අම්මාව අර්ථනිරූපණය වෙනවා. ඒත් පෞද්ගලිකව මට අම්මා කියන්නේ මතක් වෙනකොට හදවතට සියුම් රිදුමක් එක්ක ක්ෂණයකින් සැනසීමක් දැනෙන කියාගන්න බැරී හැඟීමක්.
