Monday, December 29, 2025
Epaper
Home Doctor Doorරටේම පෙර පාසල්වල දැවැන්ත වෙනසක්

රටේම පෙර පාසල්වල දැවැන්ත වෙනසක්

පෙර පාසල් ගුරු පුහුණු උපදේශිකා සඳමාලි දිවුණුගල (ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය)

by Mavan Perera

ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනයට නව යුගයක් උදා වී තිබේ . අපගේ අධ්‍යාපනය සුවිශේෂී සන්ධිස්ථානයකට රැගෙන යන මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව පසුගිය නොවැම්බර් 22 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී එළිදැක්විණි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය රටේ අනාගත පරපුරේ සුබ සිද්ධිය උදෙසා ගනු ලැබූ සුවිශේෂී පියවරකි. මෙම විෂය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් එන්.අයි.යී. වෙබ් පිටුවේ (channelnie.nie.ac.lk) එළිදැක්වීමද මේ සමඟ සිදු කරන ලදි. කාන්තා පුවත්පතක් ලෙස අප මේ නව වැඩසටහනේ වැදගත්කම විශේෂයෙන්ම මවක්, ගුරුවරියක් හෝ දරුවන්ගේ සුබසිද්ධිය ගැන සැලකිලිමත් වන කාන්තාවක් ලෙස ඔබට ඇතිවන බලපෑම පිළිබඳ ගැඹුරින් විමසා බලමු.

ඔබේ දරුවන්ගේ අනාගතය පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත්ම තීරණාත්මක සංවර්ධන අවධිය ලෙස සැලකෙන මුල් ළමා විය (වයස අවුරුදු 0-5), දරුවකුගේ මොළයේ වර්ධනය, සමාජ-චිත්තවේගීය කුසලතා සහ භාෂාමය හැකියාවන් වේගයෙන් වර්ධනය වන කාලයයි. මෙම කාලය තුළ දරුවකු ලබන ගුණාත්මක අධ්‍යාපනය සහ රැකවරණය, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන සාර්ථකත්වයට මෙන්ම සමස්ත ජීවිත සාර්ථකත්වයට ඍජුවම බලපායි. එහෙත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් පැවතියේ අසමානතාවක් සහ විෂමතාවක් සහිත තත්ත්වයකි. රට පුරා පෙර පාසල් අධ්‍යාපන ආයතන”ළදරු පාසල්,ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි” වැනි විවිධ නම්වලින් හැඳින්විය . මෙම ළදරු පාසල්වල අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ උපදේශන ක්‍රමවේදයන් ආයතනයෙන් ආයතනයට විශාල වශයෙන් වෙනස් විය.

මෙහිදී ඇතැම් ආයතන දරුවන්ට ක්‍රීඩා සහ සංවර්ධන කටයුතු වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය නොවන, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට සමාන අධි-විධිමත් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීමට පෙලඹුණි. ප්‍රාථමික පාසලකට ඇතුළත් වීමේ මවුපිය අපේක්ෂාව මත, පෙර පාසල් අධ්‍යාපනය විභාග අධ්‍යාපනයේ පදනමක් බවට පත්ව තිබීම කනගාටුදායක තත්ත්වයක් විය. ශ්‍රී ලංකා රජය විසින් විධිමත් අධ්‍යාපනය පිළිබඳ වගකීම භාරගෙන තිබුණ ද දිවයින පුරා පෙර පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රමිතිගත ජාතික ප්‍රතිපත්තියක් හෝ විෂයමාලාවක් නොතිබීම මෙහි ප්‍රධානතම ගැටලුව විය. ගුණාත්මකභාවයෙන් ඉහළ පෞද්ගලික පෙර පාසල්වල අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව ලැබුණේ සීමිත පිරිසකට පමණක් වූ අතර, දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට නිසි පහසුකම් නොමැති ප්‍රමිතියෙන් තොර මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලැබීමට සිදුවීම, ළමුන් අතර අසමානතා සහ මානසික බලපෑම් ඇති කිරීමට හේතු විය.

නව යුගයේ උදාව ජාතික විෂයමාලා රාමුව

මෙම අභියෝගයන්ට ස්ථිරසාර විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලාංකේය දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් මෙම නව ජාතික විෂයමාලා රාමුව සකස් කර ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන, රට තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ ප්‍රමිතිගත විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. එසේම ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ සමස්ත යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහාද මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව සකස් කර තිබේ.

නව විෂයමාලාවේ ප්‍රධාන අන්තර්ගතය

මෙම නව ජාතික විෂයමාලා රාමුව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වී ඇත. එය දරුවාගේ සමබර සංවර්ධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරයි. මෙම රාමුව මඟින් දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසීමේදී අවශ්‍ය වන ප්‍රවේශ කුසලතා (Readiness Skills) ක්‍රීඩා පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ වර්ධනය කිරීම අපේක්ෂා කරයි. එහිදී ජාත්‍යන්තරව පිළිගත් මූලික සංවර්ධන ක්ෂේත්‍ර පහක් යටතේ දරුවන්ගේ නිපුණතා වර්ධනය කෙරේ. පළමුව කායික සංවර්ධනය සහ යහ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර මෙහිදී ස්ථූල හා සියුම් මෝටර් කුසලතා මෙන්ම සෞඛ්‍යෙසම්පන්න පුරුදු ද ඇතුළත් වේ. දෙවනුව සමාජ-චිත්තවේගීය සංවර්ධනය තුළින් දරුවාගේ අන් අය සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව, ස්වයං කළමනාකරණය, හැඟීම් හඳුනාගැනීම සහ සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ මූලික අවබෝධය දියුණු කරනු ලබයි. තෙවනුව භාෂාමය හා සන්නිවේදන සංවර්ධනය මඟින් සවන් දීමේ, කථා කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ හැකියාවන් ඉහළ නංවන අතර ලිවීමට පෙර කුසලතා සහ කියවීමට ඇති ඇල්ම වර්ධනය කරයි. සිව්වනුව සංජානන සංවර්ධනය යටතේ ගැටලු විසඳීමේ කුසලතා, නිර්මාණශීලි චින්තනය සහ ගණිතමය හා පාරිසරික දැනුමේ මූලික අවබෝධය දරුවන්ට ලබා දේ. අවසාන වශයෙන් කලාත්මක හා නිර්මාණාත්මක සංවර්ධනය තුළින් චිත්‍ර, සංගීතය සහ රංගනය වැනි ක්‍රියාකාරකම් ඔස්සේ නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය පෝෂණය කරනු ලබයි.

මෙම නව රාමුව යටතේ දරුවාට වඩාත් සුරක්ෂිත ක්‍රීඩාව පදනම් කරගත් සහ ප්‍රමිතියෙන් යුත් ඉගෙනුම් පරිසරයක් ලැබේ. එය විභාග බරෙන් තොරව ස්වාභාවිකව හා සතුටින් ලෝකය ගවේෂණය කරමින් ඉගෙනීමට අවස්ථාව සලසා දෙනු ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ අපේ දරුවන්ගේ මානසික පීඩනය හා ආතතිය අවම කර ඔවුන් ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසෙන විට අවශ්‍ය පෞරුෂ සංවර්ධනය සහ සමාජ කුසලතාවලින් සන්නද්ධ වීමට මඟ පෑදීමයි.

අනාගතය සඳහා ඒකාබද්ධ ප්‍රයත්නය

මෙම නව ප්‍රතිපත්තිය සකස් කිරීම සහ එහි වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා වැනි ප්‍රමුඛ ආයතන රැසක සහයෝගය ලැබීම, මෙම වැඩසටහනේ ජාතික වැදගත්කම සහ විද්‍යාත්මක පදනම මනාවට පෙන්නුම් කරයි.

යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය මුළු මහත් රටේම පෙර පාසල් ගුරුවරුන් වෙත බලපාන නව සම්මතය වනු ඇත. යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී ‘තුල්හිරිය මාස් ඇතිනා’ (MAS Athena) ආයතනයේ දී පැවැත්වීමට සැලසුම් සකස් කර තිබීම, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තහවුරු කරයි.

මවක් ලෙස ඔබේ වගකීම

මෙම නව විෂයමාලා රාමුව සාර්ථක කර ගැනීම සඳහා දෙවුපියන්ගේ, විශේෂයෙන්ම මවුවරුන්ගේ, සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. ඔබේ දරුවාගේ මුල් ළමාවිය අධ්‍යාපනය තෝරාගැනීමේදී එම පෙර පාසල් හෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානය මෙම නව ජාතික විෂයමාලා රාමුවට අනුකූලව ක්‍රියාත්මක වන්නේද යන්න විමසා බැලීම ඔබේ වගකීමයි. දරුවන්ගේ ක්‍රීඩාව, සංවර්ධනය සහ යහ පැවැත්ම සඳහා අවධානය යොමු කරන, විභාග බරින් තොර, ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් තෝරා ගැනීමට ඔබ දැනුවත් විය යුතුය. මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව, ජාතියේ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි. එය ගුණාත්මක, සමතුලිත, සහ ප්‍රමිතිගත අධ්‍යාපනයක් තුළින් අපේ දියණියන්ට හා පුතුන්ට ශක්තිමත් පදනමක් ලබා දෙනු නිසැක ය. නව පරපුරේ පෝෂකයන් ලෙස අප සැවොම මෙම උත්සාහය අගය කර, දරුවන්ගේ යහපත උදෙසා එක්ව කටයුතු කරමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?