කාරුණික පින්වතුනි. අපි වයසට යනකොට ටිකෙන් ටික අපේ දිවට දැනෙන රසය අඩුවෙනවා. ශරීරයත් එන්න එන්නම දිරාපත් වෙනවා. අඩුවෙන හැමදේමත් අඩු වෙලා යනවා. බැඳීම්වල ස්වරූපයත් අඩුවෙලා යනවා. විවාහයට පෙර බැඳීම්වල ස්වරූපයයි විවාහයට පසු බැඳීම්වල ස්වරූපයයි වෙනස්.
මුල් කාලවලදි නම් කියනවා අපි දෙන්න කනකොට එකට කමු, කොහේ හරි යනකොට එකට යමු. ටික කාලයක් ගතවෙනකොට දරු මල්ලෝ එහෙම ලැබුණට පස්සේ ඔන්න උයලා තියෙනවා කැමැති නම් බෙදාගෙන කන්න කියලා. කෝ දැන් ඒ බැඳීම බලන්නකෝ වෙනස් වෙච්ච හැටි. අම්මා තාත්තලා පුංචි කාලේ දරුවන්ට පණ ඇරලා.. ඒ තරම් සෙනෙහස දක්වනවා. හැබැයි දරුවෝ උස් මහත් වෙලා. විරුද්ධ ලිංගිකයන් එක්ක එකතුවෙලා විවාහ වුණාට පස්සෙ අර තිබුණ පරම පිවිතුරු ආලේ ටික ටික අඩුවෙලා යනවා. ස්වාභාවය ඒකයි. නැසෙන්න වැනසෙන්න දෙයක් තිබ්බානම් ඒ දේ නැසෙන වැනසෙන එක නවත්වන්න කාටවත් බැහැ. ලෝක ස්වභාවය ඒකයි.
අපි පින්වත්නි ඔය ලෝක යථාර්ථය තේරුම් නොගන්නා තාක් කල් අපිට ප්‍රශ්න ආපුවහම කල්පනා කරනවා. අනේ ඇයි මටම වුණේ කියලා.
අපි කල්පනා කළේ නැහැ ඡන්ද රාගයෙන් යුක්තව යම් තැනකට ඇලුණද එය නිසාමයි දුක හට ගන්නෙ කියන එක අවබෝධ නොකර ගැනීම තුළ අපි හිතනවා අපිටමනෙ මෙහෙම වෙන්නෙ කියලා.
ලෝකේ මිනිස්සු මෙච්චර හොඳට ඉඳිද්දි අපේ කෙනාටමනෙ අසනීප වුණේ. අපේ කෙනාමනෙ මැරුණේ. ආන්න ඒ තුළ හිතට දුකක් ඇතිවෙනවා. දුක නිසා කන්නෙත් නැහැ. නාන්නෙත් නැහැ. රැකියාවට යන්නෙත් නැහැ. දුකට පත්වෙලා ඉන්නවා. තථාගතයන් වහන්සේගේ දේශනාව තමයි පින්වතුනි යාථාර්ථය තේරුම් ගන්න ඕනෙ කියන කාරණය. ඒ නිසා මේ යථාර්ථය තේරුම් නොගැනීමෙන් මිනිසුන්ට ජීවිතයේ පරම සත්‍ය තේරුම්ගත නොහැකිව යනවා. මිනිස්සු ලෝකය තුළ ඡන්ද රාගයෙන් යම් තැනක අලුණද ඒ ඇලීම නිසා සසරේ දුකට පත්වෙනවා..
පින්වතුනි බුදුන්වහන්සේ මල්ල දනව්වෙ උරුවෙල කප්ප කියන නියම්ගමෙහි වැඩවාසය කරන කාලේ. භද්‍රක ගාමිණි නැමැති පුරුෂයා බුදුන් වහන්සේ වෙතට පැමිණියා. මේ භද්‍රක ගාමිණි බුදුන් වහන්සෙට වන්දනා කර එකත් පසෙක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් පුංචි කාරණයක් විමසා සිටියා. මොකක්ද විමසුවේ.
භාග්‍යවතුන් වහන්ස මට දුකේ හට ගැනීමත්, දුකේ නැතිවීමත් දේශනා කරන සේක්වා කියලා මේ පුරුෂයා විමසා සිටියා.
මේ ප්‍රශ්නයෙන්ම තේරුම් යනවා භද්‍රක ගාමිණි ළාමක ප්‍රශ්න අහන පුද්ගලයෙක් නොවන වග. ඔහු කතා කරන්නෙ පරම යථාර්ථය පිළිබඳව.
අද ගොඩක් වේලාවට අපි ධර්ම දේශනාවලට වැඩම කරලා. දේශනාව අවසානයේ ප්‍රශ්න මොනවාහරි තියෙනවා ද කියලා මිනිස්සුන්ගෙන් අහපුවාම ළාමක ප්‍රශ්න තමයි ගොඩ දෙනෙක් අහන්නෙ. ස්වාමිනි මස් මාළු කෑවම පව් සිද්ධ වෙනවද? දානයට මස් මාළු හොඳ ද වගේ ළාමක ප්‍රශ්න. බුදුවරු ලෝකයේ පහළ වෙන්නෙ සත්ත්වයා සසර දුකෙන් මුදවීම කියන කාරණය මුල් කොට ගෙන. භද්‍රක ගාමිණි අහන්නෙම සසරින් එතෙර වීමම පිළිබඳ කරුණක්. ස්වාමීනි දුක කියන එක හටගන්නෙ කොහොමද? දුක කියන එක නැතිවෙන්නෙ කොහොමද? ඒ වේලාවේදි බුදුන් වහන්සේ පවසනවා ගාමිණි ඔබට මම අතීතයේ දුක ඇතිවුණේ මෙහෙමයි. අතීතයේ දුක නැතිවුණේ මෙහෙයි කියලා අතීතයෙන් බණ කිව්වොත්, ඔබට එතකොට හිතෙහි ප්‍රශ්නයක් නැඟෙන්න පුළුවන්. ඉතින් අතීතයේ කියපු ඒවා දැන් ගැළපෙනවද කියලා. ඔබට සැකයක් උපදින්න පුළුවන්.
ගාමිණි මං අනාගතයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නත් ඒත් ඔබට සැකයක් උපදින්න පුළුවන්. ඒ නිසා ගාමිණි මම ඔබට අතීතයෙන් බණ කියන්නෙත් නැහැ. අනාගතයෙන් බණ කියන්නෙත් නැහැ. මේ මොහොතේ කාරණයක් ඇසුරෙන් තේරුම් ගන්න සුදුසු විදිහට මේ දුක අතිවීම හා නැතිවීම ගැන කියලා දෙන්නම්.
බුදුන් වහන්සේ ගාමිණිගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ගාමිණි මේ ලෝකයේ යම් කිසි කෙනෙකුගේ නැසීමෙන්, ගැරහීමෙන්,විපතට පත් වීමෙන් දුක්ඛ දෝමනස්සයක් උපදිනවාද? එවන් හිතවතෙක් මේ උරුවෙල කප්පයේ ඔබට සිටිනවාද? ගාමිණි මෙසේ පිළිතුරු දෙනවා.. ස්වාමීනි මේ ගමෙහි ඕන තරම් එහෙම අය ඉන්නවා. ඒ ගොල්ලන්ගේ නැසීමකින්, වැනසීමකින්, ඒ අයගේ පිරිහීමකින්, ගැරහීමකින්, මට දුකක් ඒමට සමත් අය මේ උරුවෙල කප්පයේ ඕන තරම් ඉන්නවා. ඉන්පසු බුදුන් වහන්සේ අහනවා ගාමිණී මේ උරුවෙල කප්පයේ යම්කිසි කෙනෙකුට විපතක් වුණත් ඔබට දුකක් දැනෙන්නෙ නැති අයත් ඉන්නවද? ගාමිණි ටිකක් කල්පනා කරලා කියනවා එහෙම අයත් මේ ගමෙහි ඉන්නවා. ඒ අය ගැන මට දුකක් දැනෙන්නෙ නැහැ.
බුදුන් වහන්සේ අහනවා ගාමිණී ඔබට සමහරු ගැන දුකට පත්වෙන්නත්, සමහර අය ගැන දුකට පත් නොවීමටත් යම් හේතූවක් තිබෙනවද? ගාමිණි කියනවා ස්වාමීනි, මම හිතන්නෙ මට යම් කිසි කෙනෙක් ගැන දුකක් වේදනාවක් ඇති වෙනවානම් මට ඔහු පිළිබඳ ඡන්ද රාගයක් හෙවත් කැමැත්තක් තිබුණා. මම කැමැති කෙනෙක් දියුණු වෙනවානම් මම කැමතියි.. මම අකමැති කෙනෙක් ගැන මට කිසිම හැඟීමක් නැහැ. මට හිතෙන්නේ ස්වාමීනි මේ දුක ඇතිවීමට බලපාන්නෙ දැඩි කැමැත්ත හෙවත් ඡන්ද රාගයයි.. බුදුන් වහන්සේ ඔහු තුළින්ම පිළිතුර ඔහුට අවබෝධ කරනු ලැබූවා.
අප සමාජයෙත් මේ දැඩි කැමැත්තට අාශාවන් පස්සෙ යන අය කොච්චර ඉන්නවද? ඔබ කන්න කෑමක් ගත්තත් තෝරලා තෝරලා ආසම කෑම ගන්නවා.. ඇඳුමක් ගන්න ගියත් එහෙමමයි. ඔබ හිතනවා කැමතිම දේ ගත්තම ඒ තුළ සතුටක් තියෙනවා කියලා. ඔය ඇත්තෝ ගෙයක් හදන්න ගියත් හදන්නෙ හොයලා හොයලා ලස්සනම ගෙයක් ඔබ හිතනවා අාසාම හිතෙන ගෙයක් හදාගත්තම ඒ තුළ සතුටක් තියෙනවා කියලා. ව්වහ වෙන්නත් ඔබ තෝර ගන්නෙ ඔය ඇත්තෝ ආසම කෙනා. ඔබ ඒ තුළ සැපය සතුට හොයනවා. හැබැයි බුදුවරු ලෝකයට දේශනා කළේ යම් තැනක ආශාවක් කැමැත්තක් ඇති වුණාද ඒ තුළම දුක හටගන්නවා. දරුවෝ සම්බන්ධයෙනුත් ඔය දුක දුකමමයි.. ඔබ හිතන් ඉන්න විදිහට දරුවෝ හැදුණේ නැති වුණ ගමන්ම ඔබ දුකට වේදනාවට පත්වෙනවා. බැඳිච්ච තැනම දුක ඇතිවෙනවා. ඒ නිසා යම් කිසි දෙයක් නිසා දුක ඇතිවෙනවා නම් ඒ සියල්ල ආසාව මුල් කොටගෙන පවතිනවා. එම නිසා බුදුවරු දේශනා කරනවා දුකට මුල ආසාවමයි කියලා.
පින්වත්නි අපි දවසක දුක් වුණානම් දුක් වුණේම අපි ඡන්ද රාගයෙන් බැඳිච්ච තැනට. මේ මොහොතේ යම් දුකකින් පෙළෙනවානම් ඡන්ද රාගය නිසාමයි. බුදුන් වහන්සේ පවසන්නෙ සෑම දේම අවබෝධයෙන් පරිහරණය කරන්න. සියල්ල අතහැරෙන බව දැනගෙන ජීවත් වෙන්න.. ඔබ ගතින් පරිහරණය කරන සියල්ල සිතින් අතහැර ජීවත් වෙනවානම් කිසිම කලක ඔබ දුකට පත් නොවේ. මේ භද්‍රක සූත්‍රය ඔබට ජීවිත අවබෝධය පිණිසම හේතු වාසනා වේවා..
කැලණියේ ශාසනවංශ හිමිගේ දේශනාවක් ඇසුරිනි.
