Monday, December 29, 2025
Epaper
Home මනෝ උපදේශනපවුල් බැඳීම් ශක්තිමත් කරන සාර්ථක සන්නිවේදනයේ රහස්

පවුල් බැඳීම් ශක්තිමත් කරන සාර්ථක සන්නිවේදනයේ රහස්

උපදෙස් ආචාර්ය හරිනි නවෝදා ද සිල්වා අංශ ප්‍රධාන, දේශීය සෞඛ්‍ය විද්‍යා අධ්‍යයන අංශය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය

by Mavan Perera

පවුලක් යනු අපගේ ජීවිතයේ පදනමයි. එම පදනම ශක්තිමත් වීමට නම්, පවුලේ සාමාජිකයන් අතර ඇති සන්නිවේදනය නීරෝගිව හා විවෘතව පැවතීම අත්‍යවශ්‍යය. කාර්යබහුල ජීවන රටාව තුළ, බොහෝ විට අපට මේ සඳහා ඇති කාලය අඩුවීමෙන් පවුල් සබඳතාවල ගැටලු ඇතිවිය හැකිය. ඔබේ පවුලේ සන්නිවේදනය වඩාත් සාර්ථක කරගැනීමට සහ පවුල් බැඳීම් ශක්තිමත් කරගැනීමට මෙන්න ප්‍රායෝගික උපදෙස් කිහිපයක්.

සවන් දීම පුරුද්දක් කරගන්න

සන්නිවේදනය යනු කතා කිරීම පමණක් නොවේ. එය සක්‍රියව සවන් දීමකි.

බාධා නොකරන්න

පවුලේ සාමාජිකයකු කතා කරන විට, ඔවුන්ගේ කතාව අවසන් වනතුරු ඉවසිලිවන්තව සවන් දෙන්න. ඔබගේ ජංගම දුරකතනය හෝ වෙනත් අවධානය වෙනස් කරන දේවල් පසෙකින් තබන්න.

හැඟීම් හඳුනාගන්න

ඔවුන්ගේ වචනවලට පමණක් නොව, ඔවුන්ගේ ශරීර භාෂාවට සහ හැඟීම්වලට ද අවධානය යොමු කරන්න. “ඔබ මේ ගැන තරමක් කලබලයෙන් ඉන්නවා වගේ” යැයි පැවසීමෙන් ඔබට ඔවුන්ව තේරුම් ගන්නා බව පෙන්විය හැකියි.

ප්‍රතිචාර දක්වන්න

සවන් දීමෙන් පසු, ඔබ ඇසූ දේ කෙටියෙන් නැවත පවසා එය නිවැරදි දැයි විමසන්න. මෙය වැරදි වැටහීම් වළක්වා ගැනීමට උපකාරී වේ.

ගුණාත්මක කාලය වෙන් කරන්න. එකට එක්වන්න.

නිවාඩු දිනවල පවුලට එකට ගත කිරීමට ලැබෙන කාලය සීමිතය. නමුත් එම කාලය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම වැදගත්ය.

“පවුලේ වෙලාව” නියම කරන්න දිනපතා හෝ සතිපතා නිශ්චිත වේලාවක් වෙන් කරන්න. එය එකට රාත්‍රී ආහාරය ගැනීම, සති අන්තයේ ක්‍රීඩාවක් කිරීම හෝ චිත්‍රපටයක් නැරඹීම විය හැකිය.

තාක්ෂණය පාලනය කරන්න

පවුල එකට සිටින විට ජංගම දුරකතන සහ අනෙකුත් විදත් උපකරණ භාවිතය අවම කරන්න.

විවෘතභාවය සහ අවංකභාවය පවත්වාගන්න.

සාර්ථක සන්නිවේදනයක් ගොඩනැඟීමට විශ්වාසය පදනමයි.

විවේචනයට වඩා දිරිගැන්වීම කෙනකුගේ වරදක් පෙන්වා දෙනවා වෙනුවට, ඔවුන්ගේ ධනාත්මක කරුණු සහ උත්සාහයන් අගය කරන්න. ගැටලුකාරී හැසිරීම් ගැන කතා කරන විට, පුද්ගලයා විවේචනය නොකර හැසිරීම ගැන පමණක් කතා කරන්න.

හැඟීම් ප්‍රකාශ කරන්න

ඔබගේ සතුට, දුක, බිය හෝ කෝපය වැනි සියලුම හැඟීම් සෞඛ්‍යසම්පන්න ලෙස ප්‍රකාශ කිරීමට පවුලේ සියලු දෙනාට ඉඩ දෙන්න.

ගැටුම් නිරාකරණය සාමයෙන් විසඳගන්න.

ඕනෑම පවුලක ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. වැදගත් වන්නේ ඒවා විසඳාගන්නා ආකාරයයි.

වෙලාව තෝරන්න

දැඩි ලෙස කෝපයෙන් සිටින මොහොතක ගැටලුවක් ගැන කතා කිරීමෙන් වළකින්න. “දැන් අපි කතා කළොත් රණ්ඩු වේවි, අපි පැය භාගයකින් කතා කරමුද?” යැයි පවසා විවේකයක් ගන්න.

විසඳුම් සෙවීම ගැටලුවට හේතුවට වඩා, විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න. එය විසඳීමට කළ හැක්කේ කුමක්දැයි සියලු දෙනාගෙන් විමසන්න.

සමාව දෙන්න සහ සමාව ඉල්ලන්න

වරදක් වූ විට අවංකව සමාව ඉල්ලීමටත්, අන් අයට සමාව දීමටත් ඉගෙන ගන්න.

පවුලේ සන්නිවේදන රටාවන් හඳුනා ගැනීම

සෑම පවුලකටම තමන්ගේම සන්නිවේදන රටාවක් ඇත. ඔබේ පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් ගැටලු විසඳන්නේ, කෝපය ප්‍රකාශ කරන්නේ හෝ ආදරය පෙන්වන්නේ කෙසේදැයි තේරුම් ගන්න.

රටාව වෙනස් කරන්න

යම් ගැටලුවක් හැමවිටම රණ්ඩුවකින් අවසන් වන්නේ නම්, ඊළඟ වතාවේදී එම රටාව දැනුවත්ව බිඳ දමන්න. උදාහරණයක් ලෙස, ගැටුමක් ඇරඹෙන විට, විනාඩි 10ක් විවේකයක් ගැනීමට ඉල්ලා සිටින්න.

අගය කිරීමේ භාෂාව

සෑම කෙනෙක්ම ආදරය ප්‍රකාශ කරන්නේ හා ලබා ගන්නේ එකම ආකාරයට නොවේ. යමෙක් තෑගිවලට කැමැති විය හැකි අතර, තවත් අයෙක් ස්පර්ශයට හෝ උපකාරයට කැමැති විය හැකිය. ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ‘ආදරයේ භාෂාව’ හඳුනාගෙන ඒ ආකාරයෙන් සන්නිවේදනය කරන්න.

විනෝදජනක සන්නිවේදනය

සන්නිවේදනය සෑම විටම ගැඹුරු හෝ බැරෑරුම් විය යුතු නැත. සතුටුදායක හා සැහැල්ලු අවස්ථාවන් නිර්මාණය කිරීම ද බැඳීම් ශක්තිමත් කරයි.

පවුලේ විහිළු පවුලේ සාමාජිකයන්ට පමණක් තේරෙන විහිළු, සිදුවීම් හෝ රහස් වචන භාවිත කිරීම සමීප බව වැඩි කරයි.

එකට සිනාසෙන්න

හාස්‍යය යනු ආතතිය අඩු කිරීමට සහ සම්බන්ධතාවක් සුවපත් කිරීමට ඇති හොඳම මෙවලමකි. දවස අවසානයේ එකට විහිළු තහළු කර සිනාසෙන්න.

සාර්ථක පවුල් සන්නිවේදනය යනු එක රැයකින් සිදුවන දෙයක් නොවේ. එය නිරන්තර උත්සාහය, ඉවසීම සහ ආදරය මත ගොඩනැඟෙන දිගු ගමනකි. මෙම උපදෙස් ඔබේ පවුලේ බැඳීම් තවත් ශක්තිමත් කරගැනීමට උපකාරී වනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?