Monday, December 29, 2025
Epaper
Home Recipeඅලුත් අවුරුද්දට අලුත් විදිහට කිරිබත්

අලුත් අවුරුද්දට අලුත් විදිහට කිරිබත්

by Mavan Perera

අලුත් අවුරුද්දේ සිරිය විදහාපාන, රසයෙන් හා සුවඳින් අනූන ආහාර අතර කිරිබතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එය හුදෙක් ආහාරයක් නොව, නව වසරට පිවිසීමේදී සශ්‍රීකත්වය, දීර්ඝායුෂ සහ සෞභාග්‍යය පතන සංකේතයකි. සාම්ප්‍රදායිකව පැණි, කෙසෙල් සහ ලුණු මිරිස් සමඟින් පිළිගන්වන සුදු පැහැති කිරිබතට අමතරව, අද වන විට ශ්‍රී ලාංකේය ගෘහිණියන්ගේ නිර්මාණශීලීත්වය විදහාපාමින් අලුත් අවුරුදු මේසය විචිත්‍රවත් කරන විවිධත්වයෙන් අනූන කිරිබත් වර්ග රැසක් බිහි වී තිබේ. ඔබේ අලුත් අවුරුදු මේසය වර්ණයෙන්, රසයෙන් හා නවීනත්වයෙන් පොහොසත් කරන, සාම්ප්‍රදායික කිරිබතේ සාරය රැකගෙන බිහි වූ කිරිබත් වර්ග බොහෝමයක් පවතී.

පෙරදිග සංස්කෘතියේ සංකේතයක් ලෙස හැඳින්වෙන කිරිබත ශ්‍රී ලංකාව, ඉන්දියාව කේන්ද්‍ර කරගත් පෝෂණයෙන් පිරි ආහාරයකි. තිලෝගුරු ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට පෙර සුජාතාව විසින් පිළිගන්වන ලද කිරිපිඬු (කිරි බත්) වැළඳූ බව ධර්මයේ සඳහන් වෙයි. එය ප්‍රථම දානය ලෙස ධර්මයේ සඳහන් කරයි. වැඩි වශයෙන් කිරිබත් සෑදීමේදී ශ්‍රී ලාංකිකයන් පොල් කිරි භාවිත කරනු ලබන අතර එළකිරි ද භාවිත කරයි. ඉන්දියානුවන් වැඩිපුර භාවිත කරනු ලබන්නේ එළකිරිය. ආයුර්වේද වෙදකමේදීත්, හෙළ වෙදකමේදීත් කිරිබතට විශේෂ තැනක් හිමිවෙයි.

සාම්ප්‍රදායික කිරිබත

ඕනෑම කිරිබත් වර්ගයක මූලාශ්‍රය වන්නේ සාම්ප්‍රදායික කිරිබතයි. හොඳින් තම්බා ගත් කැකුළු හාල්, උකු පොල් කිරි සහ ලුණු ස්වල්පයක් භාවිතයෙන් සාදා ගන්නා මෙය, අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ළිප තබා කැපීමෙන් නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම සිරිතයි. එහි සරලත්වයේ ඇති ගැඹුර හා සංකේතාත්මක අර්ථය අතිශයින් වැදගත් වේ.

මෙම කිරිබත් සෑදීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන්නේ කැකුළු හාල්, උකු පොල් කිරිය ලුණු ය. මෙම කිරිබත්වල විශේෂත්වය වන්නේ නව වසරේ සෞභාග්‍යය හා පිරිසුදු බව සංකේතවත් කරනු ලබයි. කිරිබත් යනු සියලු දෙනාම සතුටක දී සාදනු ලබන ආහාර විශේෂයකි. කිරිබත්, මී පැණි, කෙසෙල්, හෝ ලුණු මිරිස් ආදිය සමඟ අනුභව කරනු ලබයි.

සාම්ප්‍රදායික කිරිබතේ රසය තවත් ඉහළ නංවමින්, දේශීය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය යොදා ගනිමින් සාදන ලද අලුත් අවුරුදු මේසයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කිරිබත් වර්ග මෙසේය. මෙම වර්ග, කිරිබතෙහි මිහිරි රසය විදහාපානු ලබයි.

මුං කිරිබත්

සාම්ප්‍රදායික කිරිබත්වලට පසුව බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කිරිබතක් වන්නේ මුං කිරිබත්ය. මුං කිරිබත් යනු මුං ඇට මිශ්‍ර කර සාදා ගනු ලබන කිරිබත්ය. එය අධික සිසිලස ගුණයෙන් යුක්ත වන අතර ශරීරයේ දාහය නිවන ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්ත නිසා අම්ල පිත, අර්ශස්, මල බද්ධය, ඇඟ දැවිල්ල රෝගවලින් පෙළෙන අයට ඉතාමත් ගුණදායි ආහාරයකි. මෙම කිරිබත එළකිරි මිශ්‍රව සාදා ගන්නේ නම් සෙංගමාල රෝගීන්ට රෝගය සුව වීමත් සමඟම ශක්තිය වඩවන ආහාරයක් ලෙස ලබා දිය හැකියි. එහිදී ලුණු අවමව භාවිත කළ යුතුයි. සුදු පැහැති කිරිබත මැද කොළ පැහැති මුං ඇට විසිරී තිබීම නිසා මෙයට ඉතා ආකර්ෂණීය පෙනුමක් ලැබේ.

අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ සුදු කැකුළු හාල් ග්‍රෑම් 500ක් මුං ඇට ග්‍රෑම් 150ක් (පැය 6ක් පොඟවා ගත්), උකු පොල් කිරි කෝප්ප 2ක් ලුණු ස්වල්පයක් හා අවශ්‍ය නම් පමණක් කිරිබත සරසා ගැනීමට බැදගත් කජු සහ කරපිංචා ඉත්තක් ඔබට ගත හැකිය. අවශ්‍ය ද්‍රව්‍ය සකසා ගැනීමෙන් පසුව මුලින්ම මුං ඇට වෙනම භාජනයක දමා භාගෙට තම්බා වතුර බේරා පසෙකින් තබාගන්න. ඉන්පසුව හාල් සෝදා එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ළිප තබාගන්න. පසුව හාල් ඇටය මෘදු වීගෙන එන විට තම්බා ගත් මුං ඇට මිශ්‍ර කරන්න. ඉන්පසුව වතුර සිඳී බත ඉදුණු පසු, ලුණු දියකරගත් උකු පොල් කිරි එකතු කළ යුතුය. පසුව මඳ ගින්නේ කිරි ටික බතට උරාගෙන පදම එනතෙක් පිසගන්න. ඉන් අනතුරුව ආකර්ෂණීය පෙනුමට කිරිබත තැටියක අතුරා නිවුණු පසු ‘ඩයමන්ඩ්’ හැඩයට කපා, ඒ මත බැදපු කරපිංචා හෝ කජු පෙත්තක් තබා පිළිගැන්විය හැකිය.

හකුරු කිරිබත්

හකුරු කිරිබත් යනු කිරිබතට සම්පූර්ණයෙන්ම වෙනස් මිහිරි රසයක් ගෙන දෙන ජනප්‍රිය වට්ටෝරුවකි. කිරිබත් උයාගන්නා අතරතුරම ඊට උක් පැණි හෝ කිතුල් හකුරු සාරය එක් කිරීමෙන් මෙහි අඳුරු පැහැය සහ ගැඹුරු පැණි රසය ලබා ගනු ලබයි. මෙය ​පිළියෙල කිරීමේ වෙනස වන්නේ හාල් තැම්බීමෙන් පසුව පොල් කිරි සමඟ ලුණු වෙනුවට, තළා ගත් හකුරු හෝ දියර පැණි එක් කරනු ලැබේ. මෙහිදී සීනි භාවිතයට වඩා හකුරු භාවිතය එහි ස්වාභාවික රසය රැක ගැනීමට වැදගත් වේ. මෙහි ​රසය වන්නේ තද පැණි රසයක් සහ හකුරු වලට ආවේණික වූ සුවඳකි. මෙය ලුණු මිරිස් හෝ අච්චාරු සමඟ කදිමට ගැළපෙන්නේය. දකුණු පළාතේ සහ ගම්බද ප්‍රදේශවල ඉතා ජනප්‍රියය. රන්වන් පැහැති දිලිසෙන පෙනුම නිසා මෙය මේසයට නව්‍යතාවක් ගෙන එනු ලබයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස කැකුළු හාල් ග්‍රෑම් 500ක් කිතුල් හකුරු ග්‍රෑම් 250 (හීනියට ලියාගත්), උකු පොල් කිරි කෝප්ප 1 1/2ක් එනසාල්: 4-5ක් (කුඩු කරගත්), ලුණු ස්වල්පයක් සූදානම් කර ගන්න. ඉන්පසුව මුලින්ම හාල් සෝදා වතුර දමා සාමාන්‍ය පරිදි බත පිසගන්න. බත ඉදෙන අතරතුර පොල් කිරිවලට ලියාගත් හකුරු, එනසාල් සහ ලුණු මිශ්‍ර කර මඳක් රත් කරමින් හොඳින් දිය කරගන්න. බත හොඳින් ඉදුණු පසු මෙම හකුරු කිරි මිශ්‍රණය බතට එක් කරමින් හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය ඇලෙන සුලු ගතියට (පදමට) පැමිණි පසු ළිපෙන් බාගන්න. ඉන්පසුව කැමැති නම් ආකර්ෂණීය පෙනුමක් එක් කිරීමට ඔබට කුඩා අච්චුවලට කිරිබත් දමා විවිධ හැඩවලට ගෙන පිඟාන මත මුලින් තබා, ඒ මත හකුරු කුඩු ස්වල්පයක් ඉසින්නටද හැකිය.

ඉඹුල් කිරිබත්

‘ඉඹුල් කිරිබත්‘ යනු කිරිබත් ඇසුරෙන් කරන ලද අපූරු කැවිලි නිර්මාණයකි. සාමාන්‍ය කිරිබතේ රෙසිපියම භාවිත කර, එය සකස් වූ පසු එය තුනීවට පැතිර, මැදින් පැණි සහ පොල් පිරවුමක් (පොල් පැණි මිශ්‍රණය) තබා රෝල් කර සාදා ගනු ලබයි. තවද මෙය කිරිබත් කැවිලි වර්ගයක් ලෙස හැඳින්විය හැකිය. ඉඹුල් කිරිබත් පිළිගැන්වීම බොහෝ විට කරන්නේ කෙසෙල් කොළ කැබලිවල ඔතා රෝල් කර ගැනීමෙනි. කිරිබත් සහ කැවුම්වල මිශ්‍ර රසයක් මෙමඟින් ලබාදෙනු ලබයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස, පිසගත් සුදු කිරිබත් අවශ්‍ය ප්‍රමාණයට සාදා ගන්න. ඉන්පසුව පැණි පොල් පිරවුම සඳහා ගාගත් පොල් කෝප්ප 1ක්, හකුරු ග්‍රෑම් 100ක් එනසාල් සහ කරාබුනැටි වැනි කුළුබඩු මිශ්‍ර කළ පොල් පැණි පිරවුම අවශ්‍ය වේ. මෙය සාදන්නේ පළමුව හකුරු සහ පොල් ළිප තබා තෙතමනය යනතෙක් පිසගෙන රසවත් පැණි පොල් මිශ්‍රණයක් සාදා ගන්න. පසුව පිරිසුදු කෙසෙල් කොළයක් ගෙන එය මත සාදාගත් කිරිබත් ස්වල්පයක් තබා තුනී කරන්න. ඉන්පසුව කිරිබත් තට්ටුව මැදින් පැණි පොල් පේළියක් තබා ගන්න. ඉන්පසුව කෙසෙල් කොළය ආධාරයෙන් කිරිබත සෙමෙන් රෝල් කරන්න. (සිලින්ඩරයක හැඩයට). කැමැති නම් ආකර්ෂණීය පෙනුමක් ලබා දීමට විනාඩි 10ක් තබා රෝල් එක තියුණු පිහියකින් අඟලක පමණ කැබලිවලට කපන්න. එවිට මැද පැණි පොල් සහිත රවුම් කිරිබත් කැබලි ලැබෙනු ඇත. එය නවීන සුෂි මෙන් අලුත් අවුරුදු කෑම මේසය නවීනත්වයෙන් අලංකාර කර ගත හැකිය.

ලබු කිරිබත්

බත්, කිරිබත් ලෙස සකස් කරන අතරතුර ගා ගත් දිය ලබු හෝ වෙනත් මෘදු එළවළුවක් එක් කිරීමෙන් ලබු කිරිබත් සාදනු ලබයි. මෙය කිරිබතට විශේෂිත මෘදු බවක් සහ සුවිශේෂී එළවළු රසයක් ලබා දෙනු ලබයි. හාල් තැම්බීමට පෙර හෝ පොල් කිරි එක් කිරීමේදී හොඳින් ගාගත් දිය ලබු කැබලි පොල් කිරි සමඟ එක් කරනු ලැබේ. ලබුවල ඇති ජලය නිසා කිරිබතේ ඝනකම සහ රසය වෙනස් වේ. තවද ඉතා මෘදු, සියුම් පැණි රසයක් සහ ලබුවලට ආවේණික වූ නැවුම් රසයක් මුසුව ඇත. එසේම ලබුවල ජලය හා පෝෂ්‍ය පදාර්ථ අඩංගු නිසා සාමාන්‍ය කිරිබතට වඩා සෞඛ්‍ය සම්පන්න බවක් ලබා දෙයි.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සකස් කරගන්න. එනම්, කැකුළු හාල් ග්‍රෑම් 500ක්, ලබු ගෙඩි 01ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, මී පැණි හා පොල් කිරි අඬු කෝප්ප 03ක් ආදිය සුදානම් කර ගන්න. ඉන්පසුව කිරිබත සාමාන්‍ය විදිහට පිස ගන්න. ලබු ගෙඩිය ග්‍රේටර් කර එය කිරිබතට එකතු කරගන්න. මෙය කෑලි කපන්නේ නැත. උඩින් මී පැණි දමා කන්න ගන්න. මෙය බඩේ දැවිල්ලට, ඇගේ උෂ්ණත්වයට වඩාත් හොඳය.

එමෙන්ම අලුත් අවුරුදු මේසය පාට කරන විචිත්‍රවත් කිරිබත් වර්ගවලින් මේසය වර්ණවත් කළ හැකිය. මෙම කිරිබත් සාමාන්‍ය ලෙස සකස් කොට පසුව මෙම අමුද්‍රව්‍ය හා යුෂ එකතු කරගනු ලබයි. අලුත් අවුරුදු මේසය සැබෑ කලා කෘතියක් බවට පත් කරමින්, සාම්ප්‍රදායික සුදු පැහැයට නව වර්ණයක් හා රසයක් එක් කරන කිරිබත් වර්ග කිහිපයක් මෙසේය. එනම්,

කොළ පැහැති සෞඛ්‍ය සම්පන්න කිරිබත්

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට නැඹුරු වූවන් සඳහා මෙය කදිම තේරීමකි. මුරුංගා කොළ හෝ නිවිති වැනි පෝෂ්‍යදායී කොළ වර්ගයක යුෂ පොල් කිරි සමඟ මිශ්‍ර කිරීමෙන් කිරිබතට ළා කොළ පැහැයක් හා අතිරේක විටමින් රසයක් එක් කරනු ලබන කිරිබත් වර්ගයකි. මෙම කිරිබත්වල රසය ස්වල්ප වශයෙන් දලුවල රසය මුසු වූ මිහිරි රසයකි. මෙමඟින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ වන්නේ අධික පෝෂ්‍ය පදාර්ථ වන යකඩ, විටමින් ලබා දෙනු ලබයි.

රතු පැහැති පෝෂණීය කිරිබත්

සාම්ප්‍රදායික රතු කැකුළු හාල් හෝ මෙනේරි, කුරහන් භාවිතයෙන් සාදන මෙම කිරිබත, තද රතු හෝ දුඹුරු පැහැයක් ගනු ලබයි. මෙම ධාන්‍ය වර්ගවල පෝෂ්‍ය ගුණය ඉහළ බැවින් සෞඛ්‍යයට හිතකරය. මෙහි රසය වන්නේ සුළු වශයෙන් තිත්ත මිහිරි රසයකට සමානය.

දම් පැහැති විස්මිත කිරිබත්

අසාමාන්‍ය ලෙස සිත් ඇදගන්නා සුලු දම් පැහැයක් කිරිබතට එක් කරන්නේ උඳුපියලිය මලෙහි යුෂ හෝ බීට් රූට් යුෂ මඟිනි. උඳුපියලියෙන් ළා දම් පැහැයක්ද, බීට් රූට් මඟින් රෝස පැහැයකට හුරු දම් පැහැයක් ද ලැබේ. මෙහි රසය උඳුපියලිය යුෂ (ස්වාභාවික) හෝ බීට් රූට් යුෂ රසැති වේ. මෙහි විශේෂත්වය වන්නේ උත්සව මේසයට නවීන, ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනු ලබයි. උඳුපියලිය ස්වාභාවික වර්ණකය මෙමඟින් ලබාදෙනු ලබයි.

කහ පැහැති සුබදායක කිරිබත් කුළුබඩු එක් කිරීමෙන් සාදන කහ බත්, කිරිබත් සෑදීමේදී භාවිත කිරීමෙන් හෝ සාමාන්‍ය කිරිබතට කහ ස්වල්පයක් එක් කිරීමෙන් මෙම කහ පැහැය ලබා ගත හැකිය. එය ත්‍යාගශීලී බව සහ සැපත සංකේතවත් කරනු ලබයි. මෙම කිරිබත කුළුබඩු මිශ්‍ර කහ කුඩු වන අතර රසය කහවල සුළු රසය මුසු වූ රසයකි. මෙම කහ කිරිබතෙහි විශේෂත්වය වන්නේ කිරිබතට අලංකාර වර්ණයක් එක් කරන අතර, කහවල ඖෂධීය ගුණ ද ලැබෙනු ඇත.

වදමල් කිරිබත්

​ස්වාභාවික වර්ණකයක් ලෙස රතු වද මල් යුෂ පොල් කිරිවලට එකතු කිරීමෙන් සාදා ගනී. මෙහිදී කිරිබතට ඉතා ආකර්ෂණීය තද රෝස හෝ දම් පැහැයට හුරු වර්ණයක් ලැබෙන අතර එය මේසයේ කැපී පෙනෙන අංගයක් වේ. වදමල් කිරිබත් සදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලෙස වදමල් 10ක් පමණ ගන්න. සුදු කැකුළු සහල් ග්‍රෑම් 500ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට හා පොල් කිරි අඬු කෝප්ප 03ක් පමණ ගන්න. මුලින්ම වදමල් වතුරට දමා පාට ලබාගන්න. ඉන්පසු එම වතුරෙන් කැකුළු සහල් ටික ළිප තබා සහල් තැම්බුණු පසු කිරි හා ලුණු දමන්න. පදමට ආ පසු කෑලි කපා ගන්න.

කිරිබතේ මූලික සංඝටක වන බත් සහ කිරිවලට අමතරව, විවිධ අතිරේක ද්‍රව්‍ය එක් කරමින් එහි රසය මුළුමනින්ම වෙනස් කළ කිරිබත් වර්ගද අලුත් අවුරුදු මේසය අලංකාර කරනු ලබයි. අලුත් අවුරුදු මේසය මෙම විචිත්‍රවත් කිරිබත් මඟින් අලංකාර කළ හැකිය.

පැණි කිරිබත්

සාම්ප්‍රදායික කිරිබතේ ලුණු රසය වෙනුවට පැණි හෝ සීනි එක් කරමින් සාදා ගන්නා පැණි කිරිබත්, අලුත් අවුරුදු කැවිලි අතර මිහිරි කෑමක් ලෙස ජනප්‍රියය. මෙම කිරිබත් පැණි කිරිබත් හෙවත් සීනි කිරිබත් ලෙස ද හඳුන්වනු ලබයි. මෙම කිරිබතෙහි රසය අතිශයින් මිහිරි රසයකි. එසේම පිළිගැන්ම සඳහා ලුණු මිරිස් හෝ කැවුම් වැනි පැණි රසකැවිලි සමඟ පිළිගන්වනු ලබයි. මෙහි වෙනස වන්නේ අනෙක් කිරිබත්වලට වඩා පොල් කිරි සහ සීනි/පැණි පමණක් භාවිත කරනු ලබයි. මේ සඳහා ලුණු භාවිත නොකරනු ලබයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කර ගන්න. එනම්, කැකුළු හාල් ග්‍රෑම් 500ක්, කිතුල් පැණි කෝප්ප 1ක් (හෝ හකුරු ග්‍රෑම් 250ක්), උකු පොල් කිරි කෝප්ප 1 1/2ක්, ලුණු ස්වල්පයක් හා එනසාල් 3-4ක් සූදානම් කර ගන්න. ඉන් පසුව මුලින්ම හාල් සෝදා අවශ්‍ය පමණ වතුර දමා බත පිසගන්න. පසුව බත ඉදෙන අතරතුර පොල් කිරිවලට පැණි සහ තළාගත් එනසාල් එකතු කර මඳක් රත් කර ගන්න. බත හොඳින් තැම්බුණු පසු මෙම පැණි සහ කිරි මිශ්‍රණය එයට එක් කර ගන්න. මිශ්‍රණය බතට හොඳින් උරාගෙන ඇලෙනසුලු පදමට එනතෙක් මඳ ගින්නේ හැඳි ගාන්න. මේසයට ආකර්ෂණීය ලෙස පිළිගැන්වීමට තැටියක අතුරා නිවුණු පසු කැබලි කපා, ඒ මත කජු පෙත්තක් හෝ වියළි මිදි ගෙඩියක් තබා සරසා ගත හැකිය.

පුහුල් දෝසි කිරිබත්

කිරිබත් සෑදීමේදී පොල් කිරිවලට පුහුල් දෝසි කැබලි හෝ ගාගත් පුහුල් මිශ්‍ර කර සාදා ගන්නා මෙම කිරිබත, විවිධ පළාත්වලට ආවේණික වූ රෙසිපි අතරින් එක් කිරිබතකි. මෙම කිරිබතෙහි රසය පුහුල් දෝසිවල සුවඳ සහ පැණි රසය මුසු වූ රසයකි. එසේම මෙහි විශේෂත්වය වන්නේ පුහුල් දෝසිවල ඇති ස්වාභාවික පැණි රසය කිරිබතට අමුතුම මිහිරක් ගෙන එනු ලබයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ, කැකුළු හාල් ග්‍රෑම් 500ක්, සිහින්ව ලියාගත් පුහුල් දෝසි ග්‍රෑම් 150ක්, උකු පොල් කිරි කෝප්ප 2ක්, කරාබුනැටි 2ක් සහ එනසාල් 2ක්, ලුණු ස්වල්පයක් සූදානම් කර ගන්න. ඉන්පසුව පළමුව හාල් සෝදා බත පිස ගැනීමට වතුර දමා ළිප තබා ගත් පසු බත භාගෙට තැම්බෙන විට එයට හීනියට ලියාගත් පුහුල් දෝසි කැබලි එක් කරන්න (එවිට දෝසි වල පැණි රසය බතට උරා ගනී). ඉන්පසුව බත හොඳින් තැම්බුණු පසු ලුණු සහ කුළුබඩු මුසු කළ පොල් කිරි එක්කර ගන්න. පසුව පොල් කිරි සිඳී, බත සහ දෝසි කැබලි හොඳින් ඇලෙන පදමට ආ පසු ළිපෙන් බා ගන්න. ආකර්ෂණීය ලෙස පිළිගැන්වීමට රවුම් අච්චුවක තද කර හැඩයට කපාගෙන, ඒ මත තවත් පුහුල් දෝසි කැබැල්ලක් තබා පිළිගන්වන්න.

පලතුරු කිරිබත්

කිරිබත පිසීමෙන් පසු, අලුතින් කපාගත් අඹ කැබලි හෝ වෙනත් පලතුරු කැබලි (අන්නාසි, රඹුටන්) සහ බැදගත් කජු එකතු කිරීමෙන් සාදන මෙම කිරිබත, වැඩි දෙනෙකු අතර ප්‍රියතම ආහාරයකි. මෙහි රසය වන්නේ පොල් කිරි හා පලතුරුවල රසය මුසු වූ මිශ්‍ර රසයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ නවීන අවුරුදු මේසය සඳහා අත්‍යවශ්‍ය නවමු නිර්මාණයකි. අලංකාරයට කදිමයි.

නැවුම් පෙනුමක් සහ පලතුරුවල මිහිරි රසය මුසු වූ කිරිබතකි. මෙය සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ, පිසගත් සුදු කිරිබත් ටිකට සිහින්ව කපාගත් අඹ, අන්නාසි හෝ ස්ට්‍රෝබෙරි ආදී කුමන හෝ පලතුරක් යොදා ගත හැකිය. බැදගත් කජු සහ වියළි මිදි ද යොදා ගත හැකිය. මී පැණි ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්)ද භාවිත කර රස වැඩි කර ගත හැකිය. පළමුව සාමාන්‍ය පරිදි මෘදු කිරිබතක් පිස ගන්න. පසුව කිරිබත ළිපෙන් බා නිවෙන්නට හැර (නමුදු තවමත් මෘදු අවස්ථාවේදී), එයට කපාගත් පලතුරු කැබලි සහ බැදගත් කජු එකතු කර සෙමින් කලවම් කර ගන්න. පසුව පලතුරුවල පැහැය කිරිබත පුරා විසිරී යන සේ අලංකාරව මිශ්‍ර කර ගන්න. ආකර්ෂණීය ලෙස පිළිගැන්වීමට අවශ්‍ය නම් මෙය අච්චුවලට දමා හැඩය ගෙන පිඟානකට දමා ගන්න. උඩින් මී පැණි ස්වල්පයක් වත් කර නැවුම් පලතුරු කැබැල්ලකින් සරසා ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?