Wednesday, March 4, 2026
Epaper
Home Highlightsසුරාවෙන් බොඳවන කැදැල්ලේ හෙට දවස…

සුරාවෙන් බොඳවන කැදැල්ලේ හෙට දවස…

by Shanaka Lakehouse

මිනිසකුගේ ජීවිතයේ අත්තිවාරම වන්නේ ඔහුගේ පවුලයි. ආදරය, රැකවරණය සහ අන්‍යොන‍ය අවබෝධය මත ගොඩනැඟෙන ඒ සුන්දර කැදැල්ල දිනෙන් දින අඳුරට ඇද දමන, පවුල් සංස්ථාවම මුලිනුපුටා දමන මාරක උවදුරක් බවට අද වන විට මත්පැන් පානය පත්ව තිබේ. “සතුට සමරන්නට” හෝ “දුක අමතක කරන්නට” යැයි පවසමින් තොලගාන මත්පැන් උගුර, අවසානයේ නතර වන්නේ දහසක් බලාපොරොත්තු සුන් වූ කඳුළු සාගරයකිනි.

පවුල් සංස්ථාව දෙදරා යාම හෝ නි‍ෙවසක සාමය සොරා ගනු ලබයි.

මත්පැනවලට ඇබ්බැහි වූවෙකු සිටින නි‍ෙවසක “සාමය” යනු හුදෙක් සිහිනයක් පමණයි. මත්පැන් පානය කර නිවෙසට පැමිණෙන පුද්ගලයා තමාගේ සිහිය විකල් කරගන්නවා පමණක් නොව, මුළු නි‍ෙවසේම නිදහස සහ සැනසීම අහිමි කරනු ලබයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මේ නිසා වැඩි වේ. එනම් මත්පැන් මඟින් පුද්ගලයකුගේ ආත්ම දමනය සහ තර්කානුකූල බුද්ධිය අඩාල කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සුළු කරුණකට පවා තම බිරියට හෝ දරුවන්ට අමානුෂික ලෙස පහර දීමයි. ශ්‍රී ලංකාවේ සිදුවන කාන්තා හිංසන සිද්ධීන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයකට මූලික හේතුව ස්වාමිපුරුෂයාගේ බීමත්කම බව හෙළි වී ඇත.

එසේම විශ්වාසය බිඳවැටේ. පවුලක් ශක්තිමත්ව පවතින්නේ විශ්වාසය මතය. නමුත් මත්පැන්වලට ඇබ්බැහි වූවෙකු නිරන්තරයෙන් බොරු කීම, මුදල් සොරකම් කිරීම සහ වගකීම් පැහැරහැරීම නිසා බිරිය සහ සැමියා අතර පවතින ගෞරවය සහමුලින්ම විනාශ වී යයි.

දරුවන්ගේ ලෝකය අඳුරු වේ

මත්පැන් නිසා වැඩියෙන්ම බැට කන්නේ අහිංසක දරුවන්ය. දරුවෙකුට තම මවුපියන් යනු මුළු ලෝකයමයි. නමුත් තම පියා බීමත්ව පැමිණ කරන අශෝභන හැසිරීම් දකින දරුවා දැඩි මානසික කම්පනයකට ලක්වේ.

එනම් මෙමඟින් මානසික පෞරුෂය බිඳවැටීම් සිදු වේ. නිරන්තරයෙන් භීතියෙන් සහ අස්ථාවර පරිසරයක හැදෙන දරුවන් තුළ හීනමානය, බය සහ අසහනය වර්ධනය වේ. ඔව්හු සමාජයේ අන් දරුවන් සමඟ කතා කිරීමට පවා මැළි වෙති.

තවද අධ්‍යාපනයට එල්ල වන බාධා වැඩි වේ. එනම් නි‍ෙවසේ නිරන්තරයෙන් සිදුවන රණ්ඩුසරුවල් නිසා දරුවෙකුට පාඩම් වැඩක් කිරීමට අවශ්‍ය නිදහස අහිමි වේ. මත්පැන් සඳහා වැය කරන මුදල් නිසා දරුවාට අවශ්‍ය පොත්පත්, අමතර පන්ති ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ අනාගතය අඳුරු වේ.

තවද පියා මත්පැන් පානය කිරීම සාමාන්‍ය දෙයක් ලෙස දකින දරුවා, තරුණ වියට පත් වූ පසු එම විනාශකාරී මාවතටම යොමු වීමේ ප්‍රවණතාව ඉතා වැඩිය.

ආර්ථික දරිද්‍රතාවට පාර කැපීම

ලංකාවේ මධ්‍යම සහ පහළ මධ්‍යම පාන්තික පවුල් බොහොමයක ආර්ථිකය කඩා වැටීමට ප්‍රධානම හේතුව මත්පැන්ය. දිනකට රුපියල් දහස් ගණනක් මත්පැන් වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකු, තම දරුවාගේ අධ්‍යාපනයට හෝ පෝෂ්‍යදායී ආහාර වේලකට වැය කිරීමට මුදලක් නැතැයි සමික්ෂණ මඟින් සොයාගෙන ඇත.

මත්පැන් ඇබ්බැහිය නිසා අතේ ඇති මුදල් නිම වූ පසු, ඔවුන් නි‍ෙවසේ රන් ආභරණ උකස් කිරීම, උපකරණ විකිණීම සහ අධික පොලියට ණය ගැනීම ආරම්භ කරනු ලබයි. එමඟින් පවුල ණය උගුලකට ගොදුරු වේ.

එසේම තවද රැකියා අහිමි වේ. එනම් අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා රැකියාවට නිසි පරිදි වාර්තා කිරීමට නොහැකි වීමෙන් රැකියාව අහිමි වේ. මෙය මුළු පවුලම අගාධයට ඇද දමන තීරණාත්මක සාධකයකි.

සෞඛ්‍ය පිරිහීම සහ අකල් මරණ වර්ධනය

මත්පැන් යනු සෙමින් ක්‍රියා කරන මාරක වසකි. එය පුද්ගලයෙකුගේ අක්මාව, හදවත සහ මොළය ක්‍රමයෙන් විනාශ කරයි. අක්මාව අක්‍රිය වීම වැනි රෝගී තත්ත්වයන් නිසා පවුලේ ආදායම් උපයන පුද්ගලයා රෝගී වූ විට මුළු පවුලම අසරණ වේ. එමඟින් පවුලේ බර කාන්තාව මත පැට වේ. පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා රෝගී වූ විට, ඔහුට සාත්තු කිරීමටත්, පවුල නඩත්තු කිරීමටත් බිරිඳට සිදුවේ. මෙය ඇයට දරාගත නොහැකි කායික හා මානසික පීඩනයකට ලක් කරනු ලබයි.

එසේම තවද බීමත්කම නිසා සිදුවන රිය අනතුරු සහ රෝගාබාධ හේතුවෙන් වසරකට දහස් ගණනක් පියවරුන් මියයනු ලබයි. ඉතිරි වන්නේ තරුණ වැන්දඹුවන් සහ පිය සෙනෙහස අහිමි වූ දරුවන් පමණි. එමඟින් පවුල අසරණ වේ.

සමාජීය කොන්වීම සහ හු‍ෙදකලා බව

බීමත්කම නිසා පුද්ගලයාට පමණක් නොව ඔහුගේ මුළු පවුලටම සමාජය තුළ ඇති ගෞරවය අහිමි වේ. උත්සවයකට, චාරිකාවක් හෝ මඟුල් ගෙදරකට තම ස්වාමිපුරුෂයා සමඟ යාමට බිරිය ලැජ්ජා වන්නේ ඔහු එහිදී බීමත්ව හැසිරෙන ආකාරය දන්නා බැවිනි. දරුවන් තම යහළුවන් නි‍ෙවසට කැඳවාගෙන ඒමට බිය වෙයි. මේ හු‍ෙදකලා වීම පවුලේ සාමාජිකයන් තුළ මානසික ආතතිය සහ විශාදය ඇති කිරීමට හේතු වේ.

ඇබ්බැහියෙන් මිදීම සහ පුනරුත්ථාපනය

මෙම විනාශකාරී තත්ත්වයෙන් මිදීමට නම් මත්පැන් යනු හුදෙක් පුරුද්දක් නොව, එය වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිකාර කළ යුතු “රෝගයක්” බව වටහා ගත යුතුය. මනෝ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන්ගේ සහය ලබා ගැනීම මඟින් ඇබ්බැහියට බලපාන මනෝවිද්‍යාත්මක හේතු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය හැකිය.

තවද පවුලේ සහයෝගය ඔහුට ලබා දිය යුතුය. එනම් ඇබ්බැහි වූ පුද්ගලයාට දොස් නැඟීම වෙනුවට ඔහු ඉන් මුදා ගැනීමට ආදරයෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.

රජයේ සහ සමාජයේ වගකීම වන්නේ,

මත්පැන් භාවිතය අවම කිරීම සඳහා රජය විසින් දැඩි නීති රීති පැනවිය යුතුය. මත්පැන් ප්‍රචාරණය වැළැක්වීම, අලෙවිසැල් සඳහා ඇති ප්‍රවේශය සීමා කිරීම සහ මත්පැන්වල මිල ඉහළ දැමීම වැනි පියවර මඟින් භාවිතය යම් මට්ටමකට පාලනය කළ හැකිය. එසේම, පාසල් මට්ටමින් මත්පැන්වල ආදීනව පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීමෙන් අනාගත පරපුර බේරා ගැනීමට හැකිය.

කාන්තාවගේ වගකීම

මත්පැන් උවදුර හමුවේ පවුල් සංස්ථාව දෙදරා යන විට, එහි බිඳී යන පුරුක් අමුණා ගනිමින් කැදැල්ල රකින්නට වැඩිම වෙහෙසක් දරන්නේ කාන්තාවයි. ස්වාමිපුරුෂයා සුරාවට ඇබ්බැහි වූ විට බිරියක හෝ මවක ලෙස ඔබ හුදෙක් ඉවසන්නියක පමණක් නොව, ඉතා උපක්‍රමශීලී පාලිකාවක විය යුතුය. පළමුව, ඔහු බීමත්ව සිටින අවස්ථාවල වාද විවාද කිරීමෙන් හෝ දොස් පැවරීමෙන් වළකින්න. මත්පැන් මඟින් මොළයේ ස්වයං පාලනය අඩාල කරන බැවින්, එවැනි අවස්ථාවලදී ගැටුම් ඇති කර ගැනීම දරුණු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට මඟ පෑදිය හැකිය. ඔහු සන්සුන්ව සිටින වෙලාවක, පවුලේ ආර්ථිකය සහ දරුවන්ගේ අනාගතය පිළිබඳව පවතින අවදානම ආදරයෙන් සහ බැරෑරුම් ලෙස පෙන්වා දෙන්න. මත්පැන් යනු පුරුද්දකට වඩා “මොළයේ ඇති වන රෝගී තත්ත්වයක්” බව වටහාගෙන, ඔහු ඉන් මුදා ගැනීමට වෛද්‍ය උපදෙස් හෝ මනෝවිද්‍යාත්මක උපදේශන (Counselling) ලබා ගැනීමට පෙලඹවීම ඔබේ වගකීමකි.

තවද ආර්ථිකය කළමනාකරණය කිරීමේදී කාන්තාව සතු ශක්තිය මෙහිදී ඉතා වැදගත් වේ. ස්වාමිපුරුෂයා උපයන මුදල් සුරාවට වැය කරන්නේ නම්, පවුලේ මූලික අවශ්‍යතා සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍ය පාලනය ඔබ අතට ගන්න. හැකි සෑම විටම කුඩා හෝ ස්වයං රැකියාවක නිරත වෙමින් ආර්ථික වශයෙන් ස්වාධීන වීමට උත්සාහ කරන්න. එය ඔබේ ආත්ම අභිමානය රැක ගැනීමටත්, අසරණ නොවී දරුවන් රැක ගැනීමටත් පවුරක් වනු ඇත.

එසේම දරුවන්ගේ මානසික ලෝකය ආරක්ෂා කිරීම ඔබේ ප්‍රමුඛතම කාර්යයයි. පියාගේ හැසිරීම් දරුවන් ඉදිරියේ සාධාරණීකරණය නොකරන්න, එසේම ඔවුන් තුළ පියා කෙරෙහි වෛරයක් ඇති වීමටද ඉඩ නොතබන්න. පියා බීමත්ව සිටින විට දරුවන් ඔහුගෙන් ඈත් කර තැබීමට වගබලා ගන්න. සියල්ලටම වඩා ඔබේ ආරක්ෂාව වැදගත්ය. ඉවසීමෙන් විසඳිය නොහැකි තරමට ප්‍රචණ්ඩත්වය උත්සන්න වන්නේ නම්, නිහඬව දුක් විඳීම වෙනුවට ළමා හා කාන්තා කාර්යාංශය වැනි නෛතික සහන ලබා දෙන ආයතනවල සහය පැතීමට පසුබට නොවන්න. ඔබේ ශක්තිය සහ බුද්ධිමත් තීරණ මත මුළු පවුලකම හෙට දවස තීරණය වන බව නිරන්තරයෙන් සිහි තබා ගන්න.

වීදුරුවක පතුලේ සැඟවී ඇති තාවකාලික සතුට සොයා යන ඔබ, සැබවින්ම විනාශ කරමින් සිටින්නේ ඔබ පණ මෙන් රැකගත යුතු ඔබේම කැදැල්ලයි. ඔබේ දරුවාගේ සිනහව, බිරියගේ ආදරය සහ පවුලේ අනාගතය ඒ මත්පැන් උගුරට වඩා දහස් වාරයක් වටිනා බව සිහිපත් කර ගත යුතුය. මත්පැන්වලින් තොර නි‍ෙවසක ඇති නිදහස සහ සුවය තරම් උතුම් සතුටක් මෙලොව තවත් නැත. සුරාවෙන් තොර සුන්දර පවුල් ජීවිතයක් උදෙසා අදම අධිෂ්ඨාන කර ගත යුතුය.

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?