නගමින් මියුරු සර මවමින් රසය ඉතා
එතෙමින් රසික හදවත් මත වෙමින් ලතා
ජනිතව මෙලක නුඹ සංගීතයම පතා
නිහඩයි කෝකිලාවිය නැති මෙබිම ඉතා
දශක ගණනාවක් පුරා සිංහල සිනමාව දිග්විජය කළ සුදිලෙන මැණික් කැටවන් අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් එකිනෙකා අප හැර යන්නේ සිංහල සිනමාවේ එක් එක් ක්ෂේත්‍ර්‍රවල පිරවිය නොහැකි හිඩැස් තබමිනි. පසුගිය වකවානුවේ අප හැර ගිය එවන් ජාතික වස්තු වැනි කලාකරුවන් රැසකගේම අඩුව අදටත් අපි අත්විඳින්නෙමු. දශක අටකට අධික කාලයක් හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස නම් දරමින් සිංහල සිනමා සංගීතයට මෙන්ම ගීත කලාවට වචනයෙන් විස්තර කළ නොහැකි සේවාවක් ඉටු කළ ලතා වල්පොල ද පසුගියදා සිය ජීවන චාරිකාව නිමා කළාය.
මෙලොවින් සමු ගන්නා විට 91 වැනි වියෙහි පසු වූ ලතා වල්පොල 1934 නොවැම්බර් මස 11 වැනිදා ගල්කිස්සේදී උපත ලැබුවාය. ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායම හා එක් වන විට ඇයට වයස අවුරුදු දහයකි. ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ ඇය පාසලේ නාට්‍ය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වූවාය. එහි එක් නාට්‍යයක තිලෝගුරු නාමයෙන් නම් ගීයක් ගයමින් ඇය රංගනයක නිරත වූ අතර එයින් ඇය වඩාත් ආකර්ෂණයට ලක් විය. පසුකලෙක රේඩියෝ සිලෝන්හි සරල ගී ගායිකාවක ලෙස එක් වන ලතා වල්පොල එහිදී ගැයූ නමෝ මරියනි ගීතයෙන් වඩාත් ජනප්‍රිය වූවාය. රීටා ප්‍රනාන්දු නමින් උපන් ඇය ශ්‍රී ලාංකික කලා රසිකයන් හඳුනා ගන්නේ ලතා වල්පොල නමිනි. ඇයට ලතා යන නාමය අන්වර්ථ කළේ ප්‍රවීණ සංගීතවේදී සුසිල් ප්‍රේමරත්නයන් විසිනි.
ඇයගේ නිෙවසට යාබද අසල්වැසියෙක් වූ සුසිල් ප්‍රේමරත්නයෝ යොවුන් ලතා වල්පොලට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ වෝඩගයි නම් හින්දි ගීතය පුහුණු කර තිබේ. එහිදී ඇය ඒ ගීතය ගායනා කළ විලාසයේ සිත් ගන්නා සුලු බව නිසාම සුසිල් ප්‍රේමරත්නයන් ඇයට ලතා යන නම යෝජනා කර තිබේ.

අනතුරුව ලතා වල්පොල වන රීටා ප්‍රනාන්දු ‘එදා රෑ’ චිත්‍රපටයේ ‘හරි හරි’ ගීතයෙන් සිංහල සිනමාවට පා තැබුවාය. ඒ අයුරින් එදා ඈ තැබූ පළමු පියවර නිමා කරන්නේ සිංහල සිනමාවේ චිත්‍රපට 600කට වඩා වැඩි සංඛ්‍යාවක පසුබිම් ගායනයට දායක වෙමිනි. ඒ අනුව පෙරදිග මුතු ඇටයයි, රෑන ගිරා රෑන, පුන්සඳ එළියයි, රැජින මමයි ඇතුළු ඇය ගැයූ චිත්‍රපට ගී රැසක් රසිකයන්ගේ ජනාදරයට පාත්‍ර විය.
සිංහල සිනමාවේ ප්‍රථම වරට වචන නැති යුග ගීයක් ගායනා කළ එකම ගායිකාව වන්නේ ද ලතා වල්පොලයි. එය 1979 වසරේ වසන්තයේ දවසක් චිත්‍රපටයේ පසුබිමින් ඇසෙන ‘මාල ගිරා ගෙල’ ගීතයයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ එම ගීතය ඇය ගායනා කළේ ටී.එම්. ජයරත්න සමඟය. සරසවිය සම්මාන 5ක් ජනාධිපති සම්මාන 2ක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය හෙළ ගීත ක්ෂේත්‍රයට ගීත දහස් ගණනක් ගායනා කර තිබේ. ධර්මදාස වල්පොල සමඟ ප්‍රේම තරගය චිත්‍රපටයේ එක්ව කටයුතු කරන ලතා වල්පොල, ධර්මදාස වල්පොල හා පෙමින් බැඳෙන්නීය. ඒ අනුව මෝරා වැඩුණු ප්‍රේමයෙන් ඔවුහු 1957 වසරේ විවාහ වූහ. දරු දැරියන් සිවු දෙනෙකුගේ ආදරණීය මවක් වූ ඇය හෙළ සිනමා සංගීතයට ද උදාර මවක් වූ බව රහසක් නොවේ. හෙළ සිනමාවට අද්විතීය මෙහෙවරක් ඉටු කරමින් ඇය සිය ජීවන චාරිකාව නිමා කළ මේ මොහොතේ ඇයට අප මොක් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.
