Wednesday, March 4, 2026
Epaper
Home Highlightsඔබේ නි‍ෙවස පාරාදීසයක් කරන සුවදායක ගෘහස්ථ ශාක

ඔබේ නි‍ෙවස පාරාදීසයක් කරන සුවදායක ගෘහස්ථ ශාක

by Shanaka Lakehouse

වර්තමානයේ මුළු දවසම කාර්යබහුලත්වයෙන් ගෙවා දමා, විඩාවට පත් සිතත් ගතත් රැගෙන ඔබ නි‍ෙවසට පියමනින්නේ සැනසීම සොයාගෙනයි. නමුත් සැබවින්ම නි‍ෙවසක් යනු හුදෙක් බිත්ති හතරක් නොව, අපේ ආත්මයට සුවයක් දෙන පාරාදීසයක් විය යුතුයි. නමුත්, ඔබ දන්නවාද? අප ආරක්ෂිතයි කියා සිතන නි‍ෙවස ඇතුළත වාතය, පිටත වාතයට වඩා දූෂිත විය හැකි බව. නවීන ගෘහ භාණ්ඩවල ආලේපන, රසායනික පිරිසුදුකාරක සහ වාතාශ්‍රය මදිවීම නිසා අප නොදැනුවත්වම ආශ්වාස කරන්නේ විෂ මුසු වාතයයි.

​නමුත් මේ පීඩනයෙන් මිදී, ඔබේ නි‍ෙවස ජීවමාන ක්ෂේම භූමියක් බවට පත් කිරීමට සොබාදහම අපූරු විසඳුමක් ලබා දී තිබේ. ඒ තමයි “ගෘහස්ථ ශාක”. නි‍ෙවසට ආකර්ෂණීය පෙනුමක් එක් කරනවාට එහා ගිය, ඔබේ ‍ෙපණහලු පිරිසුදු කරන, මානසික ආතතිය නිවන සහ සුවදායක නින්දක් තෑගි කරන මේ හරිත මිතුරන් ගැන ඔබ දන්නවද? ඔබ නි‍ෙවස තුළ තබාගෙන සිටින අලංකාරවත් මල් බඳුන්වලට වඩා මෙම ශාක, ඔබගේ නි‍ෙවස තුළ තබා ගැනිමෙන් ඔබට නි‍ෙවස තුළ හිතකර සෞඛ්‍යයක් ඇති කර ගත හැකිය. එනම් ස්වාභාවික සිසිලසත්, පිරිසුදු ඔක්සිජන් සුවයත් සපිරි පිරිපුන් නි‍ෙවසක් නිර්මාණය කරගත හැකිය. එම ශාක නම්,


කෝමාරිකා (Aloe Vera)

“නි‍ෙවසේ ප්‍රථමාධාර ඒකකය” ලෙස කෝමාරිකා ශාකය හඳුන්වනු ලබයි. එයට හේතුව වන්නේ කෝමාරිකා පැළයක් නි‍ෙවසේ තිබීම රූපලාවණ්‍ය කටයුතු සඳහා මෙන්ම හදිසි ප්‍රතිකාර සඳහාත් ඉතා වැදගත් වේ. එනම් කෝමාරිකා යනු “සමේ සෞඛ්‍ය රජු” ලෙස හඳුන්වයි. ඕනෑම කෙනෙකු සමේ ඇති වන සෑම අසාත්මිකතාවයකටම මෙය භාවිත කරන හෙළ ඔසුවකි. එසේම කුස්සියේ වැඩ කරනවිට සිදුවන සුළු පිලිස්සීම්, කෘමි සතුන් දෂ්ට කිරීම් හෝ සමේ ඇතිවන කැසීම් සඳහා නැවුම් කෝමාරිකා සාරය වහාම ආලේප කළ හැකි දිව්‍ය ඖෂධයකි. තවද වාතයේ ගුණාත්මක බව පෙන්වීමටද මෙමඟින් හැකිය. එනම් නි‍ෙවස තුළ වාතය අධික ලෙස දූෂණය වී ඇත්නම්, කෝමාරිකා පත්‍ර මත දුඹුරු පැහැති ලප මතු වේ. මෙය ඔබේ නි‍ෙවසේ වාතය පිරිසුදු කිරීමට කාලය හරි බව පෙන්වන ස්වාභාවික අනතුරු ඇඟවීමකි. එමඟින් ඔබගේත් පවුලේ සැමගේත් සෞඛ්‍යය රැක ගැනීමට හැකිය.

ඉරිවේරිය (Iriveriya)

​ මෙය ඉතාමත් වටිනා දේශීය ඖෂධීය ශාකයකි. නි‍ෙවස තුළ සෙවන ඇති ස්ථානයක පවා බඳුනක වගා කළ හැකි වටිනා ශාකයකි. තවද මඟින් ලැබෙන සෞඛ්‍යමය වාසි වන්නේ, බඩේ කැක්කුම, අජීර්ණය සහ කුඩා දරුවන්ට ඇතිවන උදරාබාධ සඳහා මෙහි පත්‍ර යුෂ ක්ෂණික සහනයක් ලබා දීමයි. තවද නිවෙස තුළ තැබිමෙන් වාතය පිරිසුදු කරන අතරම නි‍ෙවසට ප්‍රබෝධමවත් සුවඳක් එක් කරනු ලබයි. එය ඔබේ සෞඛ්‍යයට ඉතා හිතකර වේ.


මදුරුතලා (Holy Basil / Tulsi)

​ සෑම සිංහල ගැමි නි‍ෙවසකම පාහේ දක්නට ලැබෙන මෙම ශාකය නි‍ෙවසේ ප්‍රධාන දොරටුව අසල හෝ බැල්කනියේ තැබීම ඉතා සුදුසු ශාකයකි. මෙය ​විෂබීජ නාශක ගුණය ඉතා ඉහළ ශාකයකි. මෙමඟින් නි‍ෙවස තුළ විෂබිජ නාශක ඉවත් කරනු ලබයි. මෙහි සුවඳ මඟින් වාතයේ සිටින බැක්ටීරියා විනාශ කරන අතර මදුරුවන් පලවා හැරීමට ස්වභාවික හැකියාවක් ඇත. තවද ශ්වසන සුවතාව වැඩි කරනු ලබයි. තවද සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස පවතින විට මෙහි කොළ තම්බා පානය කිරීමෙන් හෝ හුමාලය ඇල්ලීමෙන් සහනයක් ලබා ගත හැකි හෙළ ඖෂධයකි.


සර්ප ශාකය (Snake Plant)

“රාත්‍රී නින්ද සුවපත් කරන මිතුරා” ලෙස හඳුන්වනු ලබයි. එම නිසාම මෙම ශාකය නිදන කාමරය තුළ තබා ගැනීමට නිර්දේශ කරන්නේ එහි ඇති සුවිශේෂී ක්‍රියාකාරිත්වය නිසයි. තවද රාත්‍රී කාලයේ ඔක්සිජන් මුදා හැරීම මෙම ශාකයෙන් සිදු කරනු ලබයි. එනම් අනෙකුත් ශාක රාත්‍රියට කාබන් ඩයොක්සයිඩ් පිට කරන විට, මෙම ශාකය රාත්‍රී කාලයේදීත් ඔක්සිජන් නිපදවයි. මෙයින් ඔබට වඩාත් සුවදායක සහ ගැඹුරු නින්දක් ලබා ගැනීමට උපකාරී වේ. එසේම තවද විෂ වායු පෙරීමද සිදු කරනු ලබයි. වාතයේ ඇති Formaldehyde, Benzene, සහ Xylene වැනි පිළිකාකාරක විෂ වායු අවශෝෂණය කර වාතය පිරිසුදු කරමින් ඔබගේ සෞඛයට හිතකර පරිසරයක් ලබා දෙනු ලබයි.


සාම ලිලී (Peace Lily)

“ඇදුම රෝගය සහ අසාත්මිකතා පාලනයට” මෙය වඩාත් වැදගත් වේ. සුදු පැහැති මල් සහිත මෙම ශාකය නි‍ෙවසේ සිරිය වැඩිකරනවා වගේම ශ්වසන අපහසුතා ඇති අයට ඉතා ගුණදායකයි. එසේම තවද පුස් බීජාණු විනාශ කිරීමද සිදු කරනු ලබයි. එනම් නාන කාමර හෝ තෙතමනය සහිත බිත්ති අසල ඇතිවන පුස් බීජාණු (Mold Spores) වාතයෙන් ඉවත් කිරීමට මෙම ශාකය සමත් වේ. මෙය ඇදුම රෝගය (Asthma) ඇති රෝගීන්ට විශාල සහනයක් ලබා දෙන දේශීය ඖෂධයකි. එසේම මේ හරහා තෙතමනය පාලනය කරනු ලබයි. එනම් කාමරයක වාතයේ තෙතමනය 5% කින් පමණ වැඩි කිරීමට මෙයට හැකි නිසා සම වියළීම පාලනය කරනු ලබයි.


ස්පයිඩර් ප්ලාන්ට් (Spider Plant)

“පිරිසුදු වාතයේ රජු” ලෙස මෙය හඳුන්වනු ලබයි. මෙය ඉතා වේගයෙන් වාතය පිරිසුදු කරන ශාකයක් ලෙස NASA ආයතනය පවා හඳුන්වා ඇති අතර තවද මේ ශාකය තුළින් කාබන්මොනොක්සයිඩ් ඉවත් කිරීම සිදු කරනු ලබයි. තවද නි‍ෙවස තුළ ඇතිවන දුම්

(උදා: දුම්වැටි දුම හෝ ළිප්වලින් පිටවන දුම) නිසා එකතු වන කාබන්මොනොක්සයිඩ් වායුව 90% ක් පමණ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට මෙයට හැකියි. තවද දරුවන්ට හෝ සුරතල් සතුන්ට විෂ නොවන නිසා නි‍ෙවසේ ඕනෑම තැනක බියකින් තොරව තැබිය හැකි දේශීය හෙළ ඔසුවකි.


මනි ප්ලාන්ට් (Money Plant /Devil’s Ivy)

“මානසික ආතතිය දුරු කිරීමට” මෙම ශාකය සමත් වේ. ලංකාවේ බොහෝ නිවෙස්වල මෙය දකින්නට ලැබෙන ශාකයකි. මනි ප්ලාන්ට් මඟින් ලැබන වාසි රැසකි. එනම්, විකිරණ අවශෝෂණය කරනු ලබයි. පරිගණක, රූපවාහිනී සහ Wi-Fi රවුටර් අසල තැබීමෙන් එම යන්ත්‍රවලින් නිකුත් වන විකිරණ මට්ටම අඩු කරන බව විශ්වාස කෙරේ. තවද මනෝවිද්‍යාත්මකව, මෙම වැල් වර්ගය නි‍ෙවස පුරා විහිදී යාම නිවැසියන්ගේ මානසික ආතතිය අඩු කර ධනාත්මක සිතුවිලි ඇති කිරීමට උපකාරී වේ. එම නිසා මෙම ශාක නි‍ෙවස තුළ තිබිමෙන් හිතකර සෞඛ්‍යයක් ඇති කර ගත හැකිය.


එරිකා ෆාම් (Areca Palm)

“ස්වාභාවික වායු සමීකරණය” ලෙසද හඳුන්වනු ලබයි. මෙම ශාකය විසිත්ත කාමරයේ කොනක තැබිය හැකි විශාල පත්‍ර සහිත ශාකයකි. තවද මෙම ශාකය හරහා වාතය සිසිල් කිරීමට ද හැකිය. එනම් මෙමඟින් වාතයට ස්වාභාවිකවම තෙතමනය මුදා හරින නිසා රස්නය අධික කාලගුණයකදී නි‍ෙවස තුළ සිසිල් බවක් රඳවා ගැනීමට උදවු වේ. එසේම මෙම වාසි උපරිමයෙන් ලබා ගැනීමට නම් අවම වශයෙන් වර්ග අඩි 100 කට එක පැළයක් බැගින් නි‍ෙවස තුළ තබා ගැනීමෙන් එය ලබා ගත හැකිය. එසේම තවද ශාක පත්‍ර මත දූවිලි බැඳීමට ඉඩ නොදෙන්න, එසේ සිදු වුවහොත් දූවිලි පිරුණු විට වාතය පිරිසුදු කිරීමේ හැකියාව අඩු වේ. එම නිසා සතියකට වරක්වත් පත්‍ර මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

ලිප්ස්ටික් ප්ලාන්ට් (Lipstick Plant)

මෙහි ඇති අලංකාර රතු පැහැති මල් නිසා නි‍ෙවසට සජීවී බවක් එක් කරනු ලබයි. මෙවැනි මල් හටගන්නා ගෘහස්ථ ශාක දෙස බැලීමෙන් මනස සන්සුන් වන අතර, සතුට දනවන හෝමෝන ශ්‍රාවය වීම උත්තේජනය වේ. එම නිසා මෙවැනි ශාක ඔබගේ නි‍ෙවස තුළ තබා ගනිමින් මෙම මානසික සුවය ඔබත් ළඟා කර ගන්න.

කැස්ටි අයන් ප්ලාන්ට් (Cast Iron Plant)

​ මෙම ශාකය නම පරිදිම මෙය ඉතා ශක්තිමත් ශාකයකි. එසේම සූර්යාලෝකය ඉතා අඩු, ජලය දැමීමට අමතක වන ස්ථානවල පවා මෙය හොඳින් වැඩේ. මෙය නි‍ෙවස තුළ ඇති දූවිලි අංශු උරා ගැනීමට උපකාරී වන ශාකයකි.

තවද ශාක මඟින් ලැබෙන පොදු සහ සුවිශේෂී වාසි කිහිපයකි. එනම්, ශබ්ද දූෂණය අවම කිරීමද සිදු කරනු ලබයි. ශාකවල අතු සහ පත්‍ර මඟින් බාහිරින් එන ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද (උදා: වාහන ශබ්ද) අවශෝෂණය කර නි‍ෙවස නිහඬ කරනු ලබයි. එසේම තවද ප්‍රතිශක්තිය වැඩි කිරීමද සිදු කරයි. ශාක මඟින් පිටකරන ‘ෆයිටොන්සයිඩ්’ (Phytoncides) නම් රසායනික සංයෝග ආශ්වාස කිරීමෙන් මිනිස් සිරුරේ ආතතිය අඩු වී රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වේ. තවද මෙමඟින් දෑස්වලට සහනයක් ලබා දෙනු ලබන අතර දෑස්වලට හෝ දුරකතන තිර දෙස බලා සිටීමෙන් ඇතිවන ඇස්වල වෙහෙස (Eye strain) මඟහරවා ගැනීමට උපකාරි වේ.

තවද ඔබ සැලකිලිමත් විය යුතු කරුණු නම්, ​සමහර ශාක (උදා: ඩයිෆෙන්බැකියා – Dieffenbachia) අනුභව කළහොත් කුඩා දරුවන්ට සහ සුරතල් සතුන්ට විෂ විය හැකිය. එම නිසා මේවා නි‍ෙවස තුළ තබා ගැනිමේදි මේ පිළිබඳ දැනුවත් විය යුතුය. තවද පෝච්චිය යටින් අතිරික්ත ජලය ඉවත් වීමට සිදුරු තිබිය යුතුය. නැතහොත් මුල් කුණු වීමට ඉඩ ඇත.

​ඔබේ නි‍ෙවසේ තනි කාමරයක හෝ විසිත්ත කාමරයක මේවා තැබීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ස්ථානයේ ආලෝකය ලැබෙන ප්‍රමාණය ගැන සැලකිලිමත්ව ශාක තැබීමට කටයුතු කරන්න.

 

TEXT – පවනි උමේෂා කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?