පසුගිය දින කිහිපය තුළ රටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විවිධ රෝග වර්ග බහුල ලෙසින් පැතිර යයි. මෙවැනි තත්ත්වයන් යටතේ ඩෙංගු චිකන්ගුන්යා මි උණ වැනි රෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වුවද ඒ අතර මිනිසුන්ගේ අවධානය අඩු නමුත් අවදානමක් පවතින රෝගයක් නම් මැලේරියා රෝගයයි. ඒ පිළිබඳ මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සමඟ සිදුකළ සංවාදයකි මේ.
මැලේරියා කියන්නෙ මොන වගේ රෝග තත්ත්වයක්ද?
මැලේරියාව කියන්නෙ වාහකයෙකු මඟින් ශරීරගත වන පරපෝෂිතයෙකු මඟින් බෝවන රෝගයක්. රෝග කාරකය ප්ලැස්මෝඩියම් නම් පරපෝෂිතයා වේ. එවැනි පරපෝෂිතයන් පස්දෙනෙක් මැලේරියා රෝගය සෑදීමට ඉවහල් වේ . රෝග වාහකයා ඇනෝෆිලිස් නම් මදුරු වර්ගය වේ. ඒ වගේම තව ඇනෝෆිලිස් වර්ග 6ක් සිටිනවා. අතීතයේ සිටම මෙය ඉතා වසංගත රෝගයක්. එක්දහස් නවසිය තිස් ගණන්වල මිලියන ගණන් මිනිස්සු රෝග තත්ත්වයට පත් කරපු සහ විශාල මරණ සංඛ්‍යාවක් ඇති කරපු ඉතාම විශාල වසංගතයක්.
දිට්වා නිසා මැලේරියා බෝවීමේ අවදානමක් තියෙනවද?
මැලේරියා පරපෝෂිතයා අපේ රටෙන් තුරන් කළාට මදුරුවෝ ඒ විදිහටම හිටියනේ.මේ දිනවල ඇතිවූ ගංවතුර නායයෑම් හේතුවෙන් වතුර බැසගෙන ගියත් පසුව ඒ තැන්වල වතුර රැඳෙනවා. සාමාන්‍යයෙන් මදුරුවාගේ අභිජනන ස්ථාන වෙන්නේ ගංගාවල ඉවුරුවල, ගල් වළවල් වල, දැදුරු ඔයේ ආදියේ බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ පැහැදිලි වතුර රැඳෙන ස්ථානවල මදුරුවෝ අභිජනනය වැඩිවෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මදුරුවො වැඩිවන නිසා හදිසියේවත් මැලේරියා රෝගියෙක් හැදුණොත් පෙරට වඩා කාර්යක්ෂමව වසංගතයක් බවට පත්වෙන්න පුළුවන්.
ගොඩක් අයගේ අවධානය යොමු වී තිබෙන්නේ ව්‍යසනයටනෙ.එයින් අවතැන් වූ පිරිස් හට සහන සැලසීම පිළිබඳවනෙ. උණක් හැදුණත් බොහෝ පිරිසක් සිතන්නේ ඩෙංගු නැත්නම් මී උණ හෝ වෙනත් රෝගයක් කියලා. ඒ නිසා අවධානය තබාගැනීම ඉතා වැදගත්.
මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවද?
විශේෂයෙන්ම මැලේරියා රෝගීන්ට උණක් එනවා. ඇඟ වෙව්ලලා සීතල කරලා එන උණක්. එය දින දෙකකට වරක් ඇතිවන උණක් වගේ තමයි සෑදෙන්නේ. හිසරදය, ඇඟපත රුදාව, වමනය, කෑම අරුචිය, මාංස පේශීවල වේදනාව වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නෙ.නමුත් සංකූලතා ඇතිවුණොත් නීරක්ති තත්ත්වයන්, ඇඟ තුළ ඇති අවයව ඉදිමී රතු පැහැයට මූත්‍රයාම සිදුවෙනවා.
මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ වෙනත් උණවලින් වෙනස් වෙනවද?
ගොඩක් වෙලාවට ඒක නිසා තමයි අපිට මේ diagnosis එක මඟහැරෙන්නෙ.ගොඩක් වෙලාවට ඩෙංගු ආදී රෝගවලත් මේ ආකාරයෙන් උණ, හිසරදය, ඇඟපත වේදනාව ඇති වෙනවා. ඒ වගේම මැලේරියා රෝගයේදීත් පට්ටිකා අඩු වෙනවා. ඒ නිසා සෞඛ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට නිවැරදිව රෝගය විනිශ්චය කර ගැනීමට නොහැකි වෙනවා. එම නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ඔබගේ ගමන් ඉතිහාසය පිළිබඳ වෛද්‍යවරයාට පවසන්න.
මැලේරියා රෝගයේ අවදානම් පාර්ශ්ව කවුද?
විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට මිනිසුන් විවිධ රැකියාවලට යනවා වෙෙළඳාම් සඳහා යනවා. මේ ආකාරයට විවිධ කාරණා නිසා අප්‍රිකාවට යන පිරිස් රට තුළට මැලේරියාව ගේනවා. ඒ වගේම දඹදිව මියන්්මාරය, තායිලන්තය ආදී රටවල යන අයගෙනුත් අවදානමක් තියෙනවා. මේ වසරේ දඹදිව සංචාරය පිරිසගෙන් මැලේරියා රෝගීන් වාර්තා වුණා.
මැලේරියා පරීක්ෂණවලට යොමු වන්නේ කොහොමද?
මැලේරියා පරීක්ෂණ ලංකාවේ නොමිලේ කරගන්න පුළුවන්. දිස්ත්‍රික්ක 26ම ප්‍රාදේශීයව මැලේරියා මර්දන ඒකක පිහිටුවා තියෙනවා. ඒ ආයතන සම්බන්ධ වීමෙන් අපිට මැලේරියාව පරීක්ෂණයට භාජන වෙන්න පුළුවන්. එය ක්‍රම දෙකකට සිදුකරනවා. ප්‍රධාන වශයෙන් රුධිර පටල පරීක්ෂාව සහ ඊට අමතරව ඇන්ටිජන් පරීක්ෂාව මඟිනුත් මැලේරියාව තිබේද යන්න සැක හැර දැනගන්න පුළුවන්.
මැලේරියා රෝගය වැලඳීම වළක්වා ගන්න පුළුවන් කොහොමද?
මේ වන විට අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ 2024 වර්ෂයේ රෝගීන්ගෙන් 76% ක්ම ශ්‍රී ලාංකිකයන්. ඒ කියන්නේ අපේ ලංකාවේ මිනිසුන් එළියට ගිහින් වැඩි වශයෙන්ම මැලේරියාව රට තුළට ගෙනත් තියෙන්නේ.
ඊට අමතරව පිටරට සිට එන අයගෙනුත් මැලේරියාව රට තුළට ඇතුළු වෙලා තියෙනවා. ඇත්තටම මැලේරියා බහුල රටවල් සඳහා යන පිරිස් සඳහා රෝගය වළක්වා ගැනීමේ ප්‍රතිකාරන් තියෙනවා. එහෙම යන කෙනෙක් සතියකට පෙර ප්‍රතිකාර පටන් ගැනීම කළ යුතුයි. සිටින කාලය තුළත් ප්‍රතිකාර පාවිච්චි කරමින් නැවත පැමිණ සති හතරක් එම බෙහෙත් භාවිත කළොත් පමණයි පූර්ණ ආරක්ෂාවක් මැලේරියා රෝගයෙන් ලැබෙන්නේ. මෙය නොමිලේ ලබාගන්න පුළුවන්.
මැලේරියා මර්දන මධ්‍යස්ථානය නාරාහේන්පිට තියෙනවා. මෙයින් හෝ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින් නොමිලේ මෙම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මෙය සතියකට වතාවක් බොන බෙහෙතක්. ඒ ප්‍රතිකාර ලබා ගැනීමේ පණිවිඩය අනිවාර්යයෙන් දිය යුතුයි.ඊට පස්සේ ඔවුන් නැවත ලංකාවට පැමිණීමෙන් පසු එම ආයතනවලට යොමු වී තමන්ගේ රුධිර පරීක්ෂාවක් කර ගත යුතුයි.
ඉන්පසු අවුරුද්දක් පමණ යනතුරු තමන්ට මොනයම් හෝ මැලේරියා රෝග ලක්ෂණයක් ඇතිවුණොත් තමන්ගේ ගමන් ඉතිහාසය පිළිබඳ වෛද්‍යවරයාට කීම සිදු කළ යුතුයි. එමෙන්ම එම රටෙහි සිටිනා විට මදුරු දෂ්ටනය වළක්වා ගැනීමට මදුරු විකර්ෂක භාවිතය, එළිමහනේ සිටින විට ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳීම, රාත්‍රි කාලයේ මදුරු දැල් භාවිතය වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.
TEXT – චතු වීරසිංහ
