Saturday, January 17, 2026
Epaper
Home සදහම් සෙවණමාංස අනුභවය, මත්පැන් පානය, සිල්පද බිඳීමක් ද?

මාංස අනුභවය, මත්පැන් පානය, සිල්පද බිඳීමක් ද?

by Shanaka Lakehouse

මස් මාංස අනුභව කිරීම කියන කාරණය නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් තමන් සත්ත්ව හිංසාව කරලා, සත්ත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංස අනුභවය නම් පාපකාරියි.

ඒවායින් සිල්පද බි⁣දෙනවා. එහෙම නැතුව කඩෙන් මාළු පන්සීයක් ගෙනල්ලා කෑවා කියන කාරණය, බුදුරජාණන් වහන්සේ එතැන අකුසලයක් තියෙනවා කියලා අපට කොතැනකවත් දේශනා කරලා නැහැ.

එතකොට මත්පැන් පානය කියන කාරණය නිරතුරුවම අපි තුළ සියලුම සිල්පද බිඳෙන තැනට අපිව පත් කරනවා. ඒ නිසා කෙනෙක් මත්වතුර දිගින් දිගටම පානය කරලා සිහිය විකල් කරගෙන ජීවත් වුණොත් එයා ඒ සිහිය විකල්භාවය නිසාම නිරතුරුවම අකුසල් කර ගන්න දිශාවටයි ගමන් කරන්නේ.

ඉතින් අකුසල් සිදු කරගන්න දිශාවට ගමන් කරද්දී ඊට අදාළව මැරෙන මොහොතේ චුති චිත්තය සකස් වුණොත් අර මත්පැන් කෙරෙහි ඇතිකර ගන්නා වූ තෘෂ්ණාව නිසා අපි මැරිලා ගිහිල්ලා ඔය වයින් ස්ටෝර්ස් ආශ්‍රිතව, බොන තැන් ආශ්‍රිතව ප්‍රේතයෙක් විදියට උප්පත්තිය සකස් කරගන්න පුළුවන්.

එහෙම නැත්නම් මැරෙන මොහොතේ ධර්මයක් තුළ හිත නොපිහිටීම නිසා, ද්වේශය සකස් කර ගැනීම නිසා අපි සතර අපායන්හි නිරය, තිරිසන් ලෝක වැනි බලවත් තැන්වලට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවෝ මත්පැන් කියන කාරණය නම්, ඒ වගේම සත්ත්ව ඝාතනය කළා, හිංසා කළා කියන කාරණවලදී නම් ලැබෙන ප්‍රතිසන්ධිය බලවත් වූ අනතුරක් බවටයි පත්වෙන්නේ.

නමුත් එක මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා තරුණ කාලේ ඉඳන්ම මත්පැනට යොමු වුණා. අපි කියමු එයාට ලක්ෂ පනහක් සල්ලි තිබ්බා කියලා. එයා ලක්ෂ පනහෙම බිවුවා. නමුත් එයාට ඉඩකඩම්, දේපළ කෙරෙහි කිසිම තෘෂ්ණාවක් තිබ්බෙ නැහැ. එයා කවදාවත් තනියම බිවුවෙ නැහැ. කට්ටිය හවුල් කරගෙන එයා පරිත්‍යාග කරමින් තමයි අනුන්ටත් දීලා තමයි බිවුවෙ. බීම නිසා එයා දරුවන්ට, මවුපියන්ට, අම්මා, තාත්තාට තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව ඒවා කෙරෙහි තිබ්බෙ නැහැ. තෘෂ්ණාව තිබ්බෙ මෙතෙන්ට.

නමුත් කොහොම හරි එයා මැරෙන වෙලාවෙ දක්ෂ වුණා නැවත මවු කුසක ප්‍රතිසන්ධියකට එන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “උපාදාන පච්චයා භවො” කියලා. “උපාදාන පච්චයා භවො” කියන තැනදී සකස් වෙන උපාදානයට අනුව අදාළව ප්‍රතිසන්ධියකට යනවා.

එයාට වුණ වාසිය මොකක්ද? එයා කොයිදේවත් කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකර ගත්තේ නැහැ. එයාට ඕනේ නම් එයා අඳින ඇඳුම කවුරුහරි ඉල්ලනවා නම් ඒක දීලා දානවා. තේරුණාද? ඒ වගේ කිසිම තෘෂ්ණාවක් තිබ්බේ නැහැ.

නමුත් මොකක්දෝ අකුසල් විපාකයක් නිසා එයා බොන්න පුරුදු වුණා. නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවේ අඩුභාවයන් නිසා ගේ දොර, ඉඩකඩම්, දුවා දරුවන් කෙරෙහි තෘෂ්ණාව තිබ්බේ නැහැ. මිල මුදල් කෙරෙහිවත් තෘෂ්ණාව තිබ්බේ නැහැ. ඒකයි අතෙන්ට අර වාගේ වියදම් කළේ.

එයාට මනුෂ්‍යයෙක් විදිහට සැප විඳින තෘෂ්ණාව තමයි තිබ්බේ. එතකොට මනුෂ්‍යයෙක් විදිහට සැප විඳින තෘෂ්ණාව තුළ එයා අනුන්වත් එයා දන්න ආකාරයෙන් සතුටට පත් කළා. ඇඳගෙන ඉන්න ඇඳුම දීලා, තමන්ගේ මඟුල් සූට් එක පවා එයා තව කාට හරි දීලා තිබ්බා.

එතකොට ඒකෙන් මොකක්ද පේන්නේ. එයාගේ දේපළ කෙරෙහි තෘෂ්ණාවේ අඩුභාවය. ඒ තෘෂ්ණාවේ අඩුභාවය උපකාරී වුණා මත්පැන් පානය කළ කෙනකුටත් ඊළඟ ප්‍රතිසන්ධිය මනුෂ්‍ය මවුකුසකට යන්න. ඉතින් ඔතෙන්දි දරුවෝ අවසාන උපාදානයට අනුව තමයි ඒක ගළපගන්න ඕනේ.

නමුත් නිරතුරුවම කෙනෙක් මත්පැන් බොනවා නම්, සතුන් මරණවා නම් ඒ දේවල් කරනවා නම් අනිවාර්යයෙන් ම සතර අපාය තමයි ජීවිතයේ උරුම. නමුත් අරයාගේ දක්ෂභාවයක් තිබ්බ. ඒ දක්ෂභාවය ඇතිවුණේ එයා මේවා කෙරෙහි තෘෂ්ණාව අඩු කර ගත්ත නිසා.

යමෙක් දේපළ කෙරෙහි තෘෂ්ණාව අඩුවෙලා මනුෂ්‍ය ලෝකය කෙරෙහි උපාදානය සකස් කර ගත්තොත් එයාට නැවත මනුෂ්‍ය ලෝකයේ උපතක් ලබන්න තියෙන අවස්ථාව වැඩියි. නමුත් කොතැනකවත් මත්පැන් පානය අනුමත කරන්න අපට බැහැ. ඒක බරපතළ සිල්පද බිඳීමක්.

තෙරුවන් සරණයි!!!

සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ. (සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය).

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමීන් වහන්සේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?