Wednesday, March 4, 2026
Epaper
Home Beautyසුන්දරත්වය ඔප්නංවන සුවඳ විලවුන් භාවිතය සහ ආයුර්වේද සත්කාර

සුන්දරත්වය ඔප්නංවන සුවඳ විලවුන් භාවිතය සහ ආයුර්වේද සත්කාර

by Shanaka Lakehouse

මිහිරි සුවඳකට ආසක්ත වීම මානව ස්වභාවයකි. මලක සුගන්ධය මෙන්ම සුවඳ විලවුන් බෝතලයකින් නික්මෙන සුවඳ අපගේ සිත ප්‍රබෝධවත් කිරීමටත්, ආත්ම විශ්වාසය ඉහළ නැංවීමටත් සමත් වේ. සැබවින්ම සුවඳ විලවුන් ගැල්වීම යනු හුදු විලාසිතාවක් පමණක් නොව එය දිගු ඉතිහාසයකට උරුමකම් කියන අතිශය සියුම් කලාවකි. මනාව ගැළපෙන සුවඳ විලවුන් වර්ගයක් තෝරාගෙන එය නිවැරදිව භාවිත කිරීම තුළින් තවත් අයකු තමා වෙත ආකර්ෂණය කරගැනීමට මෙන්ම පෞරුෂය ප්‍රභාවත් කරගැනීමටද හැකියාව ලැබේ.

සුවඳ විලවුන් භාවිතය පිළිබඳව ඇත්තේ අතිශය රසවත් මෙන්ම දීර්ඝ ඉතිහාසයකි. “Perfume” යන වචනය බිහිවී ඇත්තේ ලතින් භාෂාවේ “Per Fumum” යන වචනයෙනි. එහි අර්ථය “දුමාරය හරහා” යන්නයි. පැරණි මිසර වැසියන් දෙවිවරුන් පිදීම සඳහා සුවඳ දුම් වර්ග භාවිත කිරීමත් සමඟ මෙම කලාව ආරම්භ විය. ක්ලියෝපැට්රා රැජන වැනි රාජකීය කාන්තාවන් සුවඳ තෙල් වර්ග තම රූපලාවණ්‍ය කටයුතු සඳහා ඉහළින්ම භාවිත කළ අතර, එදා ඊජිප්තුවේ සුවඳ විලවුන් බෝතලයක් සන්තකයේ තිබීම ඉහළම ප්‍රභූත්වයේ සලකුණක් විය. පසුව රෝමය, පර්සියාව සහ ඉන්දියාව වැනි රටවල ව්‍යාප්ත වූ මෙම කලාව මධ්‍යතන යුගයේදී අරාබි ජාතිකයන් විසින් ආසවනය ක්‍රමය හඳුන්වා දීමත් සමඟ මල්වලින් සාරය ලබාගෙන සුවඳ විලවුන් නිපදවීම වඩාත් විධිමත් මට්ටමකට පත් විය.

කාන්තාවන් සඳහා සුවඳ විලවුන් තෝරාගැනීම සහ ගැල්වීම

කාන්තාවකගේ සුන්දරත්වයට ප්‍රධාන සාධකයක් වන්නේ ඇය භාවිත කරන සුවඳයි. එබැවින් වෙළෙඳපොළේ ඇති ඕනෑම විලවුන් වර්ගයක් තෝරාගැනීම වෙනුවට, තමාට සහ අවස්ථාවට ගැළපෙන දේ තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ඔබ සහභාගි වන ස්ථානය හෝ උත්සවය පිළිබඳ මුලින්ම අවධානය යොමු කරන්න. කාර්යාලය වැනි සංවෘත ස්ථානයකට යන විට මල් සුවඳ හෝ පැඟිරි සුවඳ සහිත සැහැල්ලු විලවුන් වඩාත් උචිත වන අතර, රාත්‍රී මංගල සාදයක් සඳහා නම් මස්ක් හෝ වැනිලා වැනි මඳක් තද ආකර්ෂණීය සුවඳක් තෝරාගත හැකිය. සුවඳ විලවුන් ගැල්විය යුත්තේ සිරුරේ ස්පන්දන වේගය දැනෙන මැණික්කටුව, කන් පෙත්ත පිටුපස සහ බෙල්ලේ දෙපස වැනි ස්ථානවලටයි. එවිට සිරුරේ උණුසුම මඟින් සුවඳ ක්‍රමයෙන් වාතයට මුදා හැරීම සිදු කරයි.

දේශීය ආයුර්වේද කලාවේ සුවඳ විලවුන් සඳහා භාවිත කරන්නේ සම්පූර්ණයෙන්ම ස්වාභාවික ශාකසාරයන් වන අතර එය හුදු සුවඳකට වඩා ශරීරයේ ගුණාත්මක බව වැඩි කරන ප්‍රතිකාරයක් බඳුය. ආයුර්වේදයේ “ගන්ධ” යනුවෙන් හැඳින්වෙන මෙම සුවඳ විලවුන් වර්ග අතර සුදු සඳුන් සුවිශේෂී තැනක් ගනී. සුදු සඳුන් කුඩු ස්වල්පයක් පිරිසුදු ජලයෙන් අනා සිරුරේ ගැල්වීමෙන් සම සිසිල් වන අතරම දිගු වේලාවක් පවතින රාජකීය සුවඳක් සිරුරට ලබාගත හැකිය. සැබවින්ම මෙය රසායනික සුවඳ විලවුන්වලට වඩා සෞඛ්‍ය සම්පන්න විකල්පයකි.

එසේම ස්නානය කරන ජලයට පිච්ච මල්, සමන්පිච්ච මල් හෝ රෝස පෙති ස්වල්පයක් එක් කර විනාඩි කිහිපයකට පසු එම ජලයෙන් ස්නානය කිරීම මඟින් මනස සන්සුන් කරන මිහිරි මල් සුවඳක් සිරුරට ලබා දෙනු ලබයි. අධික ලෙස දහඩිය දමන සහ සිරුරේ දුගඳ පවතින කාන්තාවන් සඳහා දේශීය ආයුර්වේදයේ සැවැන්න මුල් භාවිතය නිර්දේශ කර ඇත. සැවැන්න මුල් දැමූ ජලයෙන් සිරුර සේදීම මඟින් ස්වාභාවිකවම සිරුරේ දුගඳ පාලනය කරගත හැකිය. මෙයට අමතරව පොල්තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයකට කුරුඳු පොතු හෝ ලෙමන් ලෙලි දමා මඳක් රත් කර නිවෙන්නට හැර සිරුරේ ගැල්වීමෙන් දේශීය සුවඳ තෙල් සත්කාරයක අත්දැකීමක් නි‍ෙවසේදීම ලබා ගැනීමට හැකියාව ඇත.

සුවඳ විලවුන් ගැල්වීමේදී අප සෑමවිටම අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ එය අන් අයට පීඩාවක් නොවිය යුතු බවයි. ඔබ ගල්වන සුවඳ නිසා අන් අයට හිසරදයක් හෝ අසාත්මිකතාවක් ඇති වේ නම් ඔබ කෙතරම් වටිනා විලවුන් වර්ගයක් පාවිච්චි කළද ඉන් පලක් නැත. “අඩුවෙන් භාවිත කිරීම” යන්න සුවඳ විලවුන් කලාවේ රීතියයි. තමාට ගැළපෙන සුවඳක් හඳුනා ගැනීම එක්තරා අන්දමක ස්වයං ගවේෂණයකි. මනාව තෝරාගත් සුවඳක් ඔබගේ පෞරුෂයේ කොටසක් බවට පත් වන අතර, එය ඔබ නොමැති තැනක පවා ඔබව සිහිපත් කිරීමට අන් අයට පෙළඹවීමක් ලබා දෙයි. සුවඳ යනු මිනිස් මොළයේ මතකය සහ හැඟීම් සමඟ ඍජුවම බැඳී පවතින බැවින් මෙම වටිනා කලාව නිවැරදිව හා සංවේදී ලෙස භාවිත කරමින් ඔබගේ එදිනෙදා ජීවිතය සුවඳවත් කර ගැනීමට වගබලා ගන්න.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?