නිරෝගී, පිරිපුන් සහ සිත්ගන්නාසුලු කෙස් කළඹක් හිමිකර ගැනීම යනු ඕනෑම කාන්තාවකගේ මෙන්ම පුරුෂයෙකුගේද පෙනුම දෙගුණ කරවන සාධකයකි. එහෙත් වර්තමානයේ අප මුහුණ දෙන අධික හිරු රශ්මිය, වායු දූෂණය සහ විවිධ රසායනික සත්කාරයන් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ හිසකෙස් අකාලයේ දුර්වර්ණ වී, රළු වී අගිස් පැළීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මෙවන් ගැටලුවලින් පීඩා විඳින්නන් අතර මෑතකාලීනව දැඩි කතාබහට ලක්වන, කේශලාවන්‍ය ලොව නවතම පෙරළියක් ලෙස ‘හෙයාර් බොටොක්ස්’ (Hair Botox) හැඳින්විය හැකිය.
බොටොක්ස් (Botox) යන නාමය ඇසුණු සැනින් අපේ මතකයට නැගෙන්නේ සමේ රැලි ඉවත් කිරීම සඳහා කරනු ලබන එන්නත් සහිත ප්‍රතිකාර ක්රමයකි. එහෙත් ‘හෙයාර් බොටොක්ස්’ යනු ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මෙහිදී කිසිදු ආකාරයක එන්නත් කටු භාවිතා නොකරන අතර, මෙය හිසකෙස් මත ආලේප කරන දැඩි පෝෂණීය සත්කාරයකි. සරලවම පැවසුවහොත්, වයස්ගත වීමත් සමඟ සමේ රැලි ඇති වන්නා සේම, පෝෂණය අඩු වීමෙන් හිසකෙස් වල ඇති වන ‘හිඩැස්’ පිරවීම මෙම සත්කාරය මගින් සිදු කරයි.
බොහෝ දෙනෙක් හෙයාර් බොටොක්ස් සහ කෙරටින් (Keratin) ප්‍රතිකාරය අතර පවතින වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වෙති. කෙරටින් සත්කාරයේදී කෙස් ගස තදින් කෙලින් කිරීම (Straightening) මූලික වන අතර, එහිදී බොහෝ විට ‘ෆෝමල්ඩිහයිඩ්’ වැනි ප්‍රබල රසායනික ද්‍රව්‍ය භාවිතා වේ. නමුත් හෙයාර් බොටොක්ස් හි විශේෂත්වය වන්නේ එහි කිසිදු සැර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවීමයි.
ඒ වෙනුවට විටමින් B5, විටමින් E, කැවෝන් ඔයිල් (Caviar Oil), කොලජන් සහ ඇමයිනෝ අම්ල වැනි පෝෂක කොටස්වලින් සපිරි මිශ්‍රණයක් කෙස් ගස තුළට කා වද්දමින් හිසකෙස්වලට නව පණක් ලබා දෙයි.
මෙම සත්කාරයේ ඇති වටිනාම අංගය වන්නේ ඕනෑම වර්ගයක හිසකෙස් සඳහා මෙය ගැළපීමයි. විශේෂයෙන්ම අධික ලෙස වර්ණ ගැන්වීම් (Coloring) හෝ ස්ට්‍රේට් කිරීම් (Straightening) නිසා පිදුරු මෙන් රළු වී ඇති හිසකෙස් සඳහා මෙය දිව්‍ය ඔසුවක් බඳුය. එමෙන්ම හිසකෙස්වල ස්වභාවික හැඩය වෙනස් නොකරමින්, හිසකෙස් ගැට ගැසීම පාලනය කර සේද වැනි මෘදු බවක් සහ වීදුරුවක් වැනි දීප්තියක් (Glass hair effect) ලබා දීමට හෙයාර් බොටොක්ස් සමත් වේ.
සත්කාරය සිදුකරන ආකාරය සහ ගතවන කාලය සාමාන්‍යයෙන් හෙයාර් බොටොක්ස් ප්‍රතිකාරයක් සඳහා පැය 2-3ක පමණ කාලයක් ගතවේ. මෙහිදී:
හිසකෙස් පිරිසිදු කිරීම:
විශේෂ ෂැම්පු වර්ගයක් භාවිතයෙන් හිසකෙස් හොඳින් සෝදා පිරිසිදු කරයි.
ප්‍රතිකාරය ආලේප කිරීම:
හිසකෙස් කොටස් වලට වෙන් කර, මුල සිට අග දක්වා බොටොක්ස් මිශ්‍රණය ආලේප කරයි.
නියමිත කාලයක් තැබීම:
විනාඩි 30-45ක් පමණ මිශ්‍රණය හිසකෙස් මත රැඳවීමට ඉඩහරී.
සෝදා හැරීම සහ වියළීම:
හිසකෙස් සෝදා වියළා, අවශ්‍ය නම් සැහැල්ලු ලෙස කෙලින් කරයි (Lightly straighten).
ප්‍රතිකාරයකින් පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ එය නඩත්තු කරන ආකාරය මතය. හෙයාර් බොටොක්ස් සත්කාරයකින් පසු මාස 2-4ක පමණ කාලයක් එම දීප්තිය රඳවා ගැනීමට නම් සල්ෆේට් රහිත (Sulfate-free) ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.
අවසාන වශයෙන් පැවසිය යුත්තේ, හෙයාර් බොටොක්ස් යනු හුදෙක් හිසකෙස් අලංකාර කරන ආලේපනයක් නොව, මියයමින් පවතින කෙස් කළඹකට පෝෂණය මුසු කර ලබා දෙන ජීවනයක් බවයි. ඔබත් නිරෝගී මෙන්ම ආකර්ෂණීය කෙස් කළඹක් ගැන සිහින දකින්නෙකු නම්, විශ්වාසවන්ත රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා හෙයාර් බොටොක්ස් සත්කාරයක් අත්හදා බැලීම ඔබේ පෙනුමට නව අර්ථයක් එක් කරනු නොඅනුමානය.
TEXT – ගවේශා ලොකුසූරිය
