Monday, February 23, 2026
Epaper
Home Highlightsදිවග පිනවන අච්චාරු මංගල්‍යය

දිවග පිනවන අච්චාරු මංගල්‍යය

by Shanaka Lakehouse

ජනවාරි පළමු වැනිදා කියන්නේ හුදෙක් දින දර්ශනයක අලුත් පිටුවක් පෙරළීමක් විතරක් නෙවෙයි. ඒක අපේ හිත්වලට අලුත් බලාපොරොත්තු, අලුත් හීන සහ අලුත් රසයන් එකතු කරන සොඳුරු ආරම්භයක්. කිරිබතේ සුවඳත්, කැවුම් කොකිස්වල මියුරු රසයත් අතරේ අපේ දිවගට ‘චකිතයක්’ ගේන, කෑම මේසයට ජීවය දෙන එකම රජා තමයි අච්චාරුව.

සැරයි, ඇඹුලයි, පැණි රසයි පදමට මුහු වෙලා පරණ මැටි වළඳක පදම් වුණු අච්චාරුවක් කියන්නේ කෑම මේසයක තියෙන “ආභරණයක්”. 2026 මේ අලුත් අවුරුද්දේ, කවුරුත් රස බලන්නම හිතෙන විදිහේ සුවිශේෂී අච්චාරු වට්ටෝරු පෙළක් ඔබේ පුවත්පත වෙනුවෙන් මෙන්න මෙහෙම දිගහරිනවා.

මේ අමිල රස වට්ටෝරු පෙළ අප වෙත ඉදිරිපත් කිරීමට සහය වූයේ, ගැමි ඉවුම් පිහුම් කලාවේ හසළ දැනුමක් ඇති දේවිකා විතානගේ මහත්මියයි. අම්මලා, ආච්චිලාගෙන් උරුම වූ රහස් වට්ටෝරු අකුරටම රකිමින්, හෙළ බොජුන් කලාවට නව පණක් දෙන ඇය කිසිදු කෘත්‍රිම රසකාරකයකින් තොරව, සොබාදහමේ සුවඳ මුසු කරමින් ඉවුම් පිහුම් කලාවේ නිරත වන්නීය. ප්‍රණීත අච්චාරු සහ දේශීය රසකැවිලි පෙළහර, නූතන තාක්ෂණය ඔස්සේ රට පුරා බෙදා හරින්නීය. තම සූපවේදී කුසලතාව හුදෙක් ව්‍යාපාරයකට පමණක් සීමා නොකර, එම පාරම්පරික දැනුම පුවත්පත් ලිපි හරහා අනාගත පරපුරට දායාද කිරීමට ඇය තුළ ඇති ළෙන්ගතුකම සැබවින්ම අගය කළ යුත්තකි. සාම්ප්‍රදායික රසය නොවෙනස්ව රැකගනිමින්, අච්චාරුවක් පදම් කරන නිවැරදි ක්‍රමය අපට කියා දුන් ඇයට අපගේ ස්තුතිය පිරිනමමු.”

“මතක තබා ගන්න, අච්චාරුවක් පදම් වෙන්නට වෙලාව දෙන්න. මැටි බඳුනක දමා දින කිහිපයක් තැබීමෙන් එහි රසය තවත් තීව්‍ර වේ. මේ 2026 වසරේ ඔබේ කෑම මේසය මේ අපූරු රසයන්ගෙන් හැඩවනු නිසැකයි!”


දිව පිනවන පාරම්පරික මැලේ අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

රතු ලූනු ග්‍රෑම් 500ක්

අමු මිරිස් ග්‍රෑම් 250ක්

රටඉඳි ග්‍රෑම් 250ක්

අමු ඉඟුරු මේස හැඳි 2ක්

සුදුලූනු මේස හැඳි 2ක්

අබ කුඩු මේස හැඳි 3ක්

මිරිස් කුඩු මේස හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

විනාකිරි කෝප්ප 1 1/2ක්

සීනි ග්‍රෑම් 150ක්

ලුණු රස අනුව

සාදන ආකාරය

ප්‍රමාණයෙන් විශාල මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි, සීනි, ලුණු, මිරිස් කුඩු සහ කහ කුඩු එක් කර මඳ ගින්දරේ රත් කරන්න. සීනි දිය වී විනාකිරි මිශ්‍රණය නටන විට එයට අඹරාගත් අබ, ඉඟුරු සහ සුදුලූනු එක් කර හොඳින් හැඳිගාන්න. මිශ්‍රණය තරමක් උකු වන තුරු විනාඩි කිහිපයක් පිසගන්න. මිශ්‍රණය උකු වේගෙන එනවිට මුලින්ම රටඉඳි ටික එක්කර මෘදු වන තුරු මඳ වේලාවක් පිසින්න. ඉන්පසු මෙයට රතු ලූනු සහ අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරන්න. ලූනු සහ මිරිස් වැඩි වේලාවක් පිසීමට ඉඩ නොතබා ළිපෙන් බාගන්න.

අච්චාරුව හොඳින් නිවුණු පසු වියළි වීදුරු බෝතලයක අසුරා තබන්න. දිනක් පමණ තැබීමෙන් පසු රස බැලීම වඩාත් සුදුසුයි.

 


මුතුන් මිත්තන්ගේ දායාදය සිංහල අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

රතුලූනු ග්‍රෑම් 250ක්

අමු මිරිස් ග්‍රෑම් 100ක්

ගස්ලබු ගෙඩි 01ක් (තරමක් පැසුණු) අබ මේස හැඳි එකක්

විනාකිරි බෝතල් 1/2ක්

ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට

මුරුංගා පොතු කැබැල්ලක්

ඉඟුරු ස්වල්පයක්

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ආකාරය

අමු මිරිස් සෝදා වෙන් නොවන සේ දික් අතට පළාගන්න. රතුලූනු පොතු හැර සෝදා ගන්න. ගස්ලබු පොතු හැර සිහින්ව කපා ගන්න. සියල්ල වතුර ඉවත්වන සේ තබා ගන්න. අබ විනාකිරිවලින් අඹරා ගන්න. මුරුංගා පොතු, ඉඟුරු තළා ගන්න. මැටි වළඳක් ළිප මත තබා එය ද විනාකිරි ටිකක් දමා රත් වූ විට අඹරා ගත් අබ, මුරුංගාපොතු, ඉඟුරු, ගම්මිරිස්, ලූනු, කහ පමණට දමාගන්න. ඉන්පසු එයට රතුලූනු අමුමිරිස්, ගස්ලබු එක්කර හොඳින් මිශ්‍ර කර ළිපෙන් ඉවතට ගන්න. ඉන්පසුව වෙනත් මැටි මුට්ටියකට දමා දින තුනක් පමණ තබා ආහාරයට එක් කරගන්න.

 


දේශීයත්වයේ අපූර්ව රසය නෙළුම් අල අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

නෙළුම් අල ග්‍රෑම් 500ක්

රතු ලූනු ග්‍රෑම් 200ක්

අමු මිරිස් ග්‍රෑම් 100ක්

අමු ඉඟුරු මේස හැඳි 1ක්

සුදු ලූනු මේස හැඳි 1ක්

අබ කුඩු මේස හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

පොල් විනාකිරි කෝප්ප 1ක්

ලුණු රස අනුව

සාදන ආකාරය

සිහින්ව කපාගත් නෙළුම් අල පෙති, ලුණු සහ කහ ස්වල්පයක් දැමූ උතුරන වතුරේ විනාඩි 2-3ක් තම්බා ගන්න. මැටි හට්ටියකට විනාකිරි, කහ, ගම්මිරිස් සහ ලුණු එක්කර මඳ ගින්දරේ රත් කරන්න. විනාකිරි මිශ්‍රණය නටන විට එයට අඹරාගත් අබ, ඉඟුරු සහ සුදු ලූනු එක්කර ගන්න. දැන් මෙයට තම්බාගත් නෙළුම් අල පෙති, රතු ලූනු සහ අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරන්න. හොඳින් නිවුණු පසු වියළි බෝතලයක අසුරන්න. දින දෙකක් පමණ ගත වූ පසු නෙළුම් අල තුළට ඇඹුල් රසය කා වැදී ඉතාම ප්‍රණීත රසයක් ලබා දෙයි.

 


කෑම රුචිය වඩවන අසිරිමත් ලුණු දෙහි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණු දෙහි ග්‍රෑම් 200ක්

රටලූනු ග්‍රෑම් 500ක්

උම්බලකඩ ග්‍රෑම් 100ක්

අමු මිරිස් ග්‍රෑම් 100ක්

බැදපු මිරිස් කුඩු ස්වල්පයයි

තුනපහ ස්වල්පයයි

ගම්මිරිස් කුඩු ස්වල්පයයි

රම්පේ කිහිපයයි

කරපිංචා ඉති කිහිපයයි

පොල්තෙල් ස්වල්පයයි

සාදන ආකාරය

දෙහිවල ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න. රටලූනු, අමුමිරිස්, උම්බලකඩ සිහින්ව කපා වෙන් වෙන්ව තබා ගන්න. ඉන්පසුව ගැඹුරු තෙලෙහි බැදගන්න. රම්පේ සහ කරපිංචාද තෙ‍ෙල් බැදගන්න. තෙල් ඉවත් වූ පසු ලුණු සමඟ එක් කරගත් දෙහි එකද එකතු කරන්න. එයට බැදගත් රටලූනු, අමුමිරිස්, උම්බලකඩ රම්පේ, කරපිංචා එකට දමා මිශ්‍ර කරගන්න. ඉන්පසු එයට ලුණු, මිරිස් සහ තුනපහ, ගම්මිරිස් දමා මිශ්‍ර කර ගන්න. පසුව බෝතලයකට දමා කලක් තබා ගනිමින් ප්‍රයෝජනයට ගන්න.

 


සුවඳින් මත්වන, ගු ණෙන් සපිරි සුදුලූනූ අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ලූණු ග්‍රෑම් 250ක්

අමු මිරිස් ග්‍රෑම් 50ක්

අබ කුඩු ස්වල්පයක්

ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට

විනාකිරි තේ හැඳි 01යි

කහ කුඩු ස්වල්පයයි

කුරුඳු පොතු කැබැල්ලයි

කරාබුනැටි කිහිපයයි

තෙල් ස්වල්පයයි

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ආකාරය

මිරිස් සෝදා වෙන් නොවන ලෙස දික් අතට කපා ගන්න. සුදුලූනු වල පොතු ඉවත් කර සෝදා ගන්න. බඳුනකට තෙල් ස්වල්පයක් දමා ළිපේ තබා සුදු ලූනූ එක්කර මඳක් බැදගන්න. ඉන්පසුව ඉවතට ගෙන තෙල් ඉවත් වන සේ තබන්න. ඉන්පසුව අමු මිරිස් ද තෙලෙහි දමා බැදගන්න. ඉන් අනතුරුව වෙනත් මැටි බඳුනක් ගෙන තෙල් ස්වල්පයක් එක්කර රත් වූ පසු එයට කුරුඳු කරාබුනැටි කරපිංචා දමා බැදගන්න. බැදුණු පසුව එයට අබ, ගම්මිරිස්, කහ, විනාකිරී, ලුණු මිශ්‍ර කර ළිපෙන් බාගන්න. ඉන්පසුව බැදගත් සුදු ලූණු, අමු මිරිස් එක්කර කලවම් කරගන්න. වීදුරු බෝතලයකට දමා තබා ගනිමින් කලක් ප්‍රයෝජනයට ගන්න.

 


වෙල් ඉපනැල්ලේ නැවුම් රසය කැරන් දලු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

කැරන් දලු මිටි 02ක්

රතුලූනු ග්‍රෑම් 250ක්

අමු මිරිස් ග්‍රෑම් 100ක්

උම්බලකඩ ග්‍රෑම් 50ක්

ගොරකා කිහිපයක්

මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

බැදපු තුනපහ කුඩු ස්වල්පයයි ගම්මිරිස් කුඩු ස්වල්පයයි

ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට

කරපිංචා ඉති කිහිපයක්

රම්පේ කොළ කිහිපයක්

විනාකිරි ස්වල්පයක්

අඹරා ගත් සුදුලූනු ස්වල්පයක්

පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට

සාදන ආකාරය

කැරන් දලු සෝදා කුඩා කැබලිවලට කපාගන්න. මැටි වළඳක් ගෙන ගොරකා කිහිපයක් සහ ලුණු ටිකක් දමා කපා ගත් කැරන් දලු හොඳින් තම්බා ගන්න. ඉන්පසුව ලුණු, අමු මිරිස්, උම්බලකඩ, රම්පේ, කරපිංචා තම්බාගත් කැරන් දලු රන්වන් පාට වන තුරු බැදගන්න. එයට විනාකිරි අඹරා ගත් සුදු ලූණු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු රස අනුව එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට කලක් තබා ගනිමින් ආහාරයට එක් කරගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?