Wednesday, January 14, 2026
Epaper
Home Highlightsපැළේ ප්‍රමාණය අනුව පෝච්චිය තෝරා ගත යුතුය

පැළේ ප්‍රමාණය අනුව පෝච්චිය තෝරා ගත යුතුය

by Shanaka Lakehouse

සිතට සැනසීමත්, නෙතට ප්‍රිය දසුනක් ගෙන දෙන මල් වගාව යනු හුදෙක් විනෝදාංශයක්ම පමණක් නොවේ. එය සතුට දනවන නිහඬ කලාවකි. කාර්යබහුල ජීවන රටාවක වුවද, නි‍ෙවසේ කුඩා ඉඩකඩක වුවද පෝච්චියක පැළයක් රෝපණය කර එයට පණ දීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය අපමණය. නූතන ගෙවතු අලංකරණයේදී මල් පෝච්චි සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වර්තමානය වන විට බඳුන්ගත අලංකාර මල් වගාව කෙරෙහි ගෘහිණියන්ගේ ඇත්තේ අසිමීත නැඹුරුවකි. කරන්නන් වාලේ මිදුලේ තැන තැන මල් වවන්නේ නැතිව ගෙමිදුලට අලංකාරයක් ගෙන දෙන ලෙස වගා කරන හැටි කතා කරන්නට අපි හා සම්බන්ධ වූයේ වගාකරු ගාමිණී ඕවිටිගල මහතායි.

එදිනෙදා ගෙවත්තේදී වගා කරන්න පුළුවන් මල් වර්ග මොනවාද?

ලංකාවේ දේශගුණයට අනුව අපේ ගෙවතුවල ඉතා පහසුවෙන් වගා කළ හැකි මල් වර්ග කිහිපයක් තිබෙනවා. ඔබේ ගෙවත්තේ ඇති ඉඩකඩ සහ සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය අනුව ඔබට මේවා තෝරාගත හැකියි. ඇන්තූරියම්, ඕකිඩ්, බෝගන්විලා, කටරොළු, රෝස වගේ මල් වර්ග වගා කරන්න පුළුවන්. මල් පිපෙන මේ ගස්වලට හැමදාමත් ඉල්ලුම තියෙනවා. වගා කිරීමත් බෝ කිරීමත් හුඟාක් පහසුයි.

මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තිබෙන මල් වර්ග මොනවාද?

කවදාත් ඇන්තූරියම් මල්වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මල්වල ඉල්ලුම දේශගුණය මත කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් එක්කම දාස් පෙතියා, සීනියාස්, කපුරු වගේ බඳුන්ගත මල් පැළවලට ඉල්ලුම වෙනදාට වඩා වැඩියි.

මල් පැළයක වර්ධනයට මල් පෝච්චිය බලපාන්නේ කෙසේද?

පළමුවැනි කාරණාව තමයි මල් පැළේ ප්‍රමාණයට අනුව පෝච්චියක් තෝරා ගැනීම කළ යුතුයි. පොඩි පැළයක් විශාල මල් පෝච්චියක පැළ කළහොත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මූල පද්ධතිය විසිරෙන ප්‍රමාණයට, උසට ගැළපෙන මල් පෝච්චියක් තෝරාගත යුතුයි.

සිමෙන්ති, මැටි, ප්ලාස්ටික් ආදී විවිධ මල් පෝච්චි වර්ග තිබෙනවා. ඔබ නිර්දේශ කරන මල් පෝච්චි වර්ගය කුමක්ද?

ඇන්තූරියම්, බෝගන්විලා වගේ මල්වලට නම් ගැළපෙන්නේ ප්ලාස්ටික් පෝච්චි වර්ග. විශාල ලෙස වැඩෙන පඳුරු වර්ග සඳහා සිමෙන්ති මල් පෝච්චි පාවිච්චි කරන්න පුළුවන්.

මැටි පෝච්චි සහ ප්ලාස්ටික් පෝච්චි අතර ඇති වෙනස සහ වාසි මොනවාද?

​මැටි පෝච්චිවල සිදුරු සහිත ස්වභාවයක් ඇති බැවින් පසට වාතාශ්‍රය හොඳින් ලැබෙනවා. ජලය ඉක්මනින් වාෂ්ප වන නිසා මුල් කුණු වීමේ අවදානම අඩුයි.

​ප්ලාස්ටික් පෝච්චි සැහැල්ලුයි, මිල අඩුයි සහ විවිධ වර්ණවලින් ලබාගත හැකියි. ජලය රඳවා තබා ගැනීමේ හැකියාව වැඩි නිසා නිතර ජලය දැමීමට නොහැකි අයට මෙය පහසුයි.

මල් පෝච්චිවල ප්‍රමාණය අනුව ගෙවත්තක සිටුවා ගත හැකි මල් වර්ග මොනවාද?

කුඩා ප්‍රමාණයේ, ඒ කියන්නේ අඟල් හතරක පහක වගේ ප්‍රමාණයක මල් පෝච්චිවල ඕකිඩ් මල් වගා කරන්න පුළුවන්. ඇන්තූරියම් වගාවේදී සාමාන්‍යයෙන් අඩියක ප්‍රමාණයකින් වගේ මල් පෝච්චි භාවිත කරන්න පුළුවන්. බෝගන්විලා වැනි වසර ගණනක් පවත්වා ගත හැකි මල් වර්ග සඳහා අඩි දෙක තුනක් පමණ විශාල මල් පෝච්චි පාවිච්චි කරන්න පුළුවන්.

මල් පෝච්චිවල සිදු කරන මල් වගාවන් සඳහා පස සකසා ගන්නේ කෙසේද?

එහිදී විවිධ මල් වර්ගවලට ගැළපෙන විවිධ පස් මාධ්‍යයන් තෝරාගත යුතුයි. ඕකිඩ් වගේ මල් වර්ගවලට පාවිච්චි කරන්නේ අඟුරු, පොල්ලෙලි, උළුකැට කැබලි විතරමයි. එහිදී පස් භාවිත වෙන්නේ නැහැ.

ඇන්තූරියම් වගාවේදී පොල්ලෙලි කැබලි, කරදහයියා, වැලි, දිරාගිය කොළ රොඩු වගේ දේවල් භාවිත කරන්න පුළුවන්.

පොහොර යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ පොහොර යොදන අනුපාතයයි. ප්‍රධාන වශයෙන් පොහොරක තිබෙනවා නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්. මෙම තුනේ අනුපාතය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පැළය වර්ධනය වීමට නම් වැඩිපුර නයිට්‍රජන් ඇති පොහොර භාවිත කළ යුතුයි. පැළේ වර්ධනය වී මල් පිපෙන කාලයට පොටෑසියම් වැඩි පොහොර වර්ග භාවිත කරනවා. ඒ නිසා ගහේ ප්‍රමාණය මත පොහොර යෙදෙන සංයුතිය පිළිබඳව මනා ලෙස සැලකිලිමත් විය යුතුයි.

කාලයක් ගිය පසු මල් පෝච්චිය මාරු කළ යුත්තේ කුමන අවස්ථාවේදීද?

අදාළ ශාකය මූල පද්ධතිය අවහිරයකින් යුක්තව තිබෙනවා නම් එම අවස්ථාවේදී මල් පෝච්චිය මාරු කළ යුතුයි. එමෙන්ම ගහේ උසට ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ද මල් පෝච්චි මාරු කරන්න පුළුවන්.

පෝච්චිවල වගා කිරීමේදී වැලඳෙන රෝග වර්ග පාලනය කරගන්නේ කෙසේද?

වෙනත් වගාවලට වගේම මෙහිදී ද කෘමිනාශක වර්ග භාවිත කරන්න පුළුවන්. මේ ගස්වලට බොහෝවිට වැලඳෙන්නේ දිලීර රෝග. එම අවස්ථාවලදී දිලීර නාශක භාවිත කරන්න පුළුවන්.

වර්තමානයේ මිලදී ගැනීමට පුළුවන් නව පෝච්චි මාදිලි මොනවාද?

ප්ලාස්ටික් පෝච්චිවලින් තාප්පවල එල්ලීමට හැකි පෝච්චි තිබෙනවා. විවිධ රාක්කවල තැබිය හැකි පෝච්චි වර්ග තිබෙනවා. ​සිරස් වගා පෝච්චි, ස්ටෑන්ඩ් සහිත පෝච්චි, ​ලී පෝච්චි ආදී විවිධ නව මාදිලි තිබෙනවා.

ඉඩකඩ අඩු නාගරික පරිසරයකදී මල් පෝච්චි තුළින් සාර්ථක මල් වගාවක් සිදුකර ගන්නේ කෙසේද?

නාගරික පරිසරයකට සුදුසුම දේ තමයි මල් පෝච්චි කියන්නේ. සෙවණ දැල්වලින් කුඩා ගෘහයක් සාදාගෙන රාක්ක ආකාරයට මල් පෝච්චි සකසා ගන්න පුළුවන්. එවිට වැඩි මල් ප්‍රමාණයක් වගා කරන්න පුළුවන්.

පෝච්චි භාවිත කිරීමේදී ඇතිවන ගැටලු මොනවාද?

වතුර බැස යෑම සම්බන්ධව ඉතාමත් අවධානයෙන් පසුවීම වැදගත්ය. තිබෙන සිදුරු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඇතැම් ශාක සඳහා මල් පෝච්චිය වටේ තිබෙන සිදුරු ප්‍රමාණයත් වැදගත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි.

පරණ පෝච්චි අලුත් කර නැවත භාවිතයට ගන්නේ කෙසේද?

​පරණ වූ හෝ පාට ගිය පෝච්චි ඉවත නොදමා, ඒවා හොඳින් සෝදා පිරිසුදු කර නැවත තීන්ත ආලේප කිරීමෙන් (Spray paint හෝ Acrylic paint) නවීන පෙනුමක් ලබාගත හැකියි. එසේම පෝච්චිය වටා ලණු එතීමෙන් “Rustic” පෙනුමක් ලබා දීමට ද හැකියි.

මල් පෝච්චිවල මල් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නවකයන් සඳහා ඔබ ලබා දෙන උපදෙස කුමක්ද?

අලුතින්ම මෙය පටන් ගන්න කෙනකු නම් කිසියම් පුහුණුවක් ලබා ගැනීම වැදගත් වෙනවා. රජයේ ආයතන උද්භිත උද්‍යානවල විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ඉගෙනීමක් ලබාගන්න පුළුවන්. වර්තමානයේ යූටියුබ් වගේ සමාජ ජාල ඔස්සේ ද විශාල දැනුමක් ලබාගන්න පුළුවන්. මූලික දේ තමයි ඔබට හොඳ කැපවීමක් සහ උනන්දුවක් තිබිය යුතුයි. ඒ වගේම දැනුවත් කෙනකුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන්. වඩාත් ලාභදායි මල් වර්ගයක් තෝරාගෙන ස්වයං රැකියාවක් විදියට එය ආරම්භ කරනවා නම් ඔබේ ආදායම ඉතා ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ… පෝචිචියක් තෝරා ගන්නා විට ගසේ ස්වභාවය අනුව පෝචිචිය තෝරා ගැනීම කළ යුතුයි. මම එහෙම කියන්නේ අපි හිතමු Money plant ගැන. ඒ පැළය කුඩා වූ තරමට තමයි ලස්සන. නමුත් අපි ඒ පැළය ලොකු පෝච්චියකට දැම්මොත් ගහ හැදෙන්නේ කොළ විශාලෙට. ඒ පැළයේ ලස්සන නැති වෙනවා. මම මේ කිව්වේ එක උදාහරණයක් විතරයි.

TEXT – බුද්ධිකා සංජීවනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?