Wednesday, January 14, 2026
Epaper
Home Highlightsඔබේ ස්මාර්ට්ෆෝනය බෙල්ලට මර උගු ලක්ද?

ඔබේ ස්මාර්ට්ෆෝනය බෙල්ලට මර උගු ලක්ද?

by Shanaka Lakehouse

අද වන විට අප අවට සමාජය දෙස මොහොතක් බැලුවහොත් පෙනෙන පොදු දර්ශනයක් තිබේ. බස් රථයේ, දුම්රියේ, කාර්යාලයේ මෙන්ම නි‍ෙවසේ කෑම මේසය අසල පවා බොහෝ දෙනෙක් සිටින්නේ හිස පහතට නවාගෙනය. ඒ සියල්ලන්ගේම දෑස් යොමුවී ඇත්තේ තම අතේ ඇති කුඩා ස්මාර්ට් දුරකතන තිරය වෙතටයි. තාක්ෂණයේ දියුණුව අපට ලෝකයම අතැඹුලක් කර දී ඇති බව සැබෑවකි. නමුත් ඒ තාක්ෂණයම අපේ ශරීර සෞඛ්‍යයට, විශේෂයෙන්ම අපේ කොඳුඇට පෙළට සහ බෙල්ලට එල්ල කර ඇති තර්ජනය පිළිබඳව ඔබ කෙදිනක හෝ සිතා බැලුවාද? වෛද්‍ය විද්‍යාවේ “ටෙක්ස්ට් නෙක් සින්ඩ්‍රෝමය” (Text Neck Syndrome) ලෙස හඳුන්වන්නේ අප විසින්ම අපේ ඉරියව් වැරදි ලෙස පවත්වා ගැනීම නිසා උදා කරගන්නා වූ භයානක තත්ත්වයකි.

මිනිස් සිරුර නිර්මාණය වී ඇත්තේ යම් නිශ්චිත ඉරියව් රටාවකට අනුකූලවය. සාමාන්‍යයෙන් කෙළින් සිටගෙන සිටින පුද්ගලයකුගේ හිසෙහි බර කිලෝග්‍රෑම් 5ක් පමණ වේ. බෙල්ලට සහ ඒ අවට මාංසපේශිවලට මෙම බර දරා ගැනීම අපහසු නැත. නමුත් ගැටලුව පැන නඟින්නේ ඔබ ඔබේ දුරකතනය දෙස බැලීමට හිස පහතට නවන විටයි. ඔබ හිස අංශක 60ක ප්‍රමාණයකින් පහතට නවන විට, ගුරුත්වාකර්ෂණය සහ භෞතික විද්‍යාත්මක සාධක මත ඔබේ බෙල්ලට දැනෙන බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 27ක් දක්වා ඉහළ යයි. එය වයස අවුරුදු අටක දරුවෙකු ඔබේ කර මත තබාගෙන සිටිනවා හා සමාන පීඩනයකි. ඔබ දිනකට පැය කිහිපයක් මෙලෙස හිස නවාගෙන සිටිනවා නම්, ඔබේ බෙල්ලේ මෘදු පටක සහ කොඳුඇට පෙළේ පුරුක්වලට සිදු වන හානිය සුළුපටු නොවේ.

සාමාන්‍යයෙන් බෙල්ල මෙලෙස ඉදිරියට නැඹුරු වී පවතින විට, එම අසමතුලිත බර දරා ගැනීම සඳහා ශරීරය අභ්‍යන්තරයෙන් අමතර ශක්තියක් සහ ආරක්ෂක උපක්‍රම යොමු කිරීමට සිදු වේ. මෙහිදී එම පීඩනයට ඔරොත්තු දීම සඳහා මාංසපේශි සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උත්සාහ කිරීමේදී, ශරීරය විසින් ග්‍රීවී කශේරුකාවේ හෙවත් බෙල්ලේ කොඳුඇට පෙළේ මුල් හරියේ අසාමාන්‍ය ලෙස කැල්සියම් තැන්පත් කිරීම සිදු කරයි. වෛද්‍ය විද්‍යාවේදී “ඔස්ටියෝපයිට්” (Osteophytes) ලෙස හඳුන්වන මෙම තත්ත්වය, අස්ථි මත කුඩා නෙරුම් ඇති වීමට හේතු වේ. ග්‍රීවී කශේරුකා පද්ධතිය මෙලෙස තද වීම නිසා සිරුරේ සමස්ත ක්‍රියාකාරීත්වයටම දැඩි බලපෑම් එල්ල වේ. මෙහිදී උරහිසේ සහ බෙල්ලේ දරාගත නොහැකි වේදනාවක් හටගන්නා අතර, ස්නායු තෙරපීම නිසා දෑත් ඉහළට එසවීමට පවා නොහැකි වන තරමට අපහසුතා මතු විය හැකිය.

මෙම තත්ත්වය තවත් බරපතළ වන්නේ එය හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමට සහ රුධිර පීඩනය වැඩි කිරීමට සමත් වන බැවිනි. ස්නායු පද්ධතියේ ඇති වන තෙරපීම මෙන්ම පෙණහලුවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාව වැනි ලක්ෂණ ද මෙහිදී මතු විය හැකිය. උරහිස් ඉදිරියට නෙරා ඒම නිසා පෙණහලුවලට නිසි ලෙස ප්‍රසාරණය වීමට ඉඩක් නොලැබෙන අතර, එමඟින් ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවී අලස බව සහ මානසික ආතතිය වැඩි වීමටත් බලපෑම් ඇති කරයි. මෙය හුදෙක් මාංස පේශි වේදනාවක් පමණක් නොව, දිගුකාලීනව මෙලෙස වැරදි ඉරියව්වක සිටීමෙන් බෙල්ලේ ඇති ස්වභාවික වක්‍රය වෙනස් වී, අකාලයේ කොඳුඇට පෙළ ගෙවී යාමට පවා මඟ පාදයි.

අපට තාක්ෂණයෙන් බැහැර වී ජීවත් විය නොහැකිය. එහෙත් අපේ ඉරියව් වෙනස් කර ගැනීමෙන් මෙම රෝගයෙන් බේරීමට මඟක් තිබේ. මෙහිදී ඇති සරලම සහ සාර්ථකම විසඳුම වන්නේ “දුරකතනය ඇස් මට්ටමට” ගෙන ඒමයි. දුරකතනය දෙස බැලීමට හිස පහත් කරනවා වෙනුවට, දෑත් ඔසවා දුරකතනය ඔබේ දෑස් ඉදිරියට ගන්න. මෙය මුලදී තරමක් අපහසු කටයුත්තක් ලෙස දැනුණ ද, ඔබේ කොඳුඇට පෙළේ ආරක්ෂාව වෙනුවෙන් පුරුදු පුහුණු විය යුතුම පුරුද්දකි. එසේම, සෑම විනාඩි 20කට වරක්වත් දුරකතනයෙන් ඉවතට නෙත් යොමු කර, බෙල්ල සහ උරහිස් පිටුපසට කර සරල ව්‍යායාමවල නිරත වීම අත්‍යවශ්‍ය වේ.

මවුපියන් ලෙස තම දරුවන් ගැන මෙහිදී දැඩි අවධානයක් යොමු කළ යුතුය. අද කාලයේ කුඩා දරුවන් පවා ස්මාර්ට් දුරකතන සහ ටැබ්ලට් පරිගණක භාවිත කරන්නේ ඉතාමත් වැරදි ඉරියව්වල සිටය. ඔවුන්ගේ අස්ථි පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින බැවින්, කුඩා කල සිටම ඇති කරගන්නා මෙම වැරදි ඉරියව් ජීවිත කාලය පුරාම විඳවන රෝගී තත්ත්වයන් බවට පත්විය හැකිය. දරුවන්ට උපාංග ලබා දෙන අවස්ථාවලදී ඔවුන් ඍජුව වාඩි වී සිටින බව තහවුරු කර

ගැනීම මෙන්ම නිවැරදි ඉරියව් රටා භාවිත කරනවා ද යන්න ද සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමකි.

අවසාන වශයෙන්, අප තේරුම් ගත යුත්තේ අපේ ශරීරය යනු නිරන්තරයෙන් රැකගත යුතු වටිනා වස්තුවක් බවයි. ස්මාර්ට් දුරකතනය යනු අපේ ජීවිතය පහසු කරන මෙවලමක් මිස, අපේ සෞඛ්‍යය බිලි ගන්නා මෙවලමක් නොවිය යුතුය. අද සිටම ඔබේ දුරකතනය භාවිත කරන ආකාරය ගැන සවිඥානික වන්න. හිස කෙළින් තබාගෙන ලෝකය දකින්නට උත්සාහ කරන්න. මන්ද, ඔබ හිස නවාගෙන සිටින්නේ හුදෙක් දුරකතනය දෙස පමණක් නොව, ඔබේ නීරෝගි අනාගතය ද අනතුරේ හෙළමින් බැවිනි. වැරදි ඉරියව්වට තිත තබා නීරෝගි කොඳුඇට පෙළක් වෙනුවෙන් අදම පෙළ ගැසෙමු.

TEXT – අනූපමා මැන්ඩිස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?