Tuesday, March 3, 2026
Epaper
Home Highlightsපොලොස්වලින් රස කෑම

පොලොස්වලින් රස කෑම

by Shanaka Lakehouse

පොලොස් යනු ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ ඉතාමත් ජනප්‍රිය මෙන්ම පෝෂණීය ආහාරයකි. මෙය බොහෝ විට හඳුන්වන්නේ “නිර්මාංස මස්” (Vegetarian Meat) ලෙසයි. මක්නිසාද යත්, හොඳින් පිසූ පොලොස් වෑංජනයක රසය සහ ස්වභාවය මස් වෑංජනයකට බෙහෙවින් සමාන බැවිනි.

පොලොස්වල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. තන්තු ආහාර ජීර්ණය පහසු කරන අතර මලබද්ධය වළක්වයි. පිෂ්ඨය සහ ප්‍රෝටීන්: ශක්තිය ලබා දීමට උදවු වේ. ඛනිජලවණ යකඩ, පොටෑසියම් සහ කැල්සියම් යම් ප්‍රමාණවලින් අඩංගු වේ.

සෞඛ්‍ය ප්‍රතිලාභ

දියවැඩියාව පාලනය: රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට පොලොස් ගුණදායක බව විශ්වාස කෙරේ.

බර අඩු කර ගැනීම: තන්තු බහුල නිසා කුසගින්න ඉක්මනින් ඇති නොවන බැවින් බර අඩු කර ගැනීමට උත්සාහ කරන අයට සුදුසු ආහාරයකි.

කොලෙස්ටරෝල්: ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උදවු වේ.

 

පොලොස් ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගෙඩියක්

ලූනු

මිරිස්

කරපිංචා

රම්පේ

කුරුඳු පොතු

ගොරකා

එනසාල්

කරාබු නැටි

කහ කුඩු

සාදන ක්‍රමය

පොලොස් ගෙඩියක් ගෙන පොතු හැර කැබලි කපාගන්න. පසුව එම පොලොස් කැබලිවලට කහකුඩු ස්වල්පයක් දමා හොඳින් අනාගන්න. ඉන්පසුව එම පොලොස් කැබලිවලට බැදගත් මිරිස්, තුන පහ, ගම්මිරිස්, ලුණු ආදිය එක් කොට අනාගන්න. මැටි හට්ටියකට තෙල් දමා රත් වූ පසු එයට අබ දමන්න. අබ පිපිරූ පසු කපාගත් ලොකුලූනු දමා එය යන්තම් බැදුණු පසු කුරුඳුපොතු, රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබු නැටි එකතු කර බැදගන්න. ඉන්පසු ගොරක කෑලි දෙක තුනක් එයටම දමාගන්න. හොඳින් බැදුණු පසු පොලොස් කැබලි ටික එකතු කර වතුර ස්වල්පයක් දමා හොඳින් අනාගන්න. වෑංජනය හොඳින් තැම්බුණු පසු පොල් කිරිද එක්කර හිදෙන තුරු ළිප තබා ඔබේ ආහාරයට ගන්න.

පොලොස් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි පොලොස් ගෙඩියක්

රතුලූනු ග්‍රෑම් 400ක්

අමුමිරිස් කරල් ග්‍රෑම් 300ක්

තරමක කැරට් ගෙඩි 1ක්

අඹරා ගත් අබ ‍මේස හැඳි 2ක්

සුදුලූනු හා ඉඟුරු මේස හැඳි 2ක්

විනාකිරි කෝප්ප 1ක්

කුරුඳු පොත්තක්

ගම්මිරිස් තේ හැඳි 4ක්

සීනි තේ හැඳි තුනක්

සාදන ක්‍රමය :

ළපටි පොලොස් ගෙඩියක් ගෙන එය අඟලක ප්‍රමාණයට පෙති කපා ගන්න.කැරට් දිග අතට කෑලි කපා ගන්න. අමුමිරිස් කරල් මැදින් පළා ගන්න. පසුව කහ, ගොරකා කෑලි 2 සහ ලුණු දමා, වතුර ළිප තබාගෙන, කපා ගත් පොලොස් කැබැලි තම්බා ගන්න. අබ, සුදු ලූනු, ඉඟුරු, විනාකිරි , ගම්මිරිස් සහ සීනි එකට දමා අඹරා ගන්න. මැටි වළඳක් ළිපේ තබා එයට ඉතිරි විනාකිරි ස්වල්පය දමා අබ පේස්ට් එකතු කරන්න. රස අනුව ලුණු කුඩු එකතු කරන්න. මෙයට මුලින්ම කැරට් එකතු කරන්න. ඉන්පසු රතුලූනු හා අමුමිරිස් එකතු කර කලවම් කරන්න. අන්තිමට නිවුණු පොලොස් කෑලි එකතු කරගන්න. පසුව හොඳින් කලවම් කර (හැන්දකින්) රස බලා අඩු පාඩු එකතු කරන්න. නිවුණු පසු පිරිසුදු බෝතලයකට දමා එය වසා තබන්න. නැතිනම් මැටි වළඳේ කට පිරිසුදු රෙදි කෑල්ලකින් ගැට ගසා දවස් දෙකක් වසා තියන්න.ඉන් පසු කෑමට ගන්න. එය සුළං නොවදින සේ තබා ගැනීම වැදගත් වේ. සුළං නොවැදෙන සේ තබා ගතහොත් සති කීපයක්ම කල් තබාගැනීමට හැකිය. කැමති නම් කොච්චි කරල් කිහිපයක්ද එකතු කරගත හැකිය. නමුත් කොච්චි කරල් ස්වල්පය විනාකිරි ස්වල්පයක් ළිප තබා විනාකිරි සමඟ විනාඩියක් පමණ තම්බා ගන්න. පසුව එය තුනපහ ටිකට පොලොස් මිශ්‍ර කරන වෙලාවටම එකතු කරන්න.

පොලොස් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගෙඩියක්

ලූනු

කරපිංචා

සුදුලූනු බික් පහක් හයක්

ගම්මිරිස්

ලුණු කුඩු

කොච්චි කරල් කිහිපයක්

කෑලි මිරිස්

පරිප්පු

තෙල්

සාදන ක්‍රමය :

මුලින්ම පොලොස් ගෙඩියක් ගෙන එය හොඳින් තම්බා ගන්න. පසුව පොලොස් ගෙඩිය හොඳින් තැම්බුණු පසු පොතු කපා වෙන්කොට කුඩා කැබලි වලට කපා ගන්න. පසුව ලූනු හා කරපිංචා ද කුඩාවට කපා ගන්න. එයට සුදුලූනු බික් පහක් හෝ හයක ප්‍රමාණයක් එක්කර ගන්න. පසුව ගම්මිරිස් හා ලුණු හොඳින් ගලේ අඹරා ගන්න. කපා ගත් ලූනු, කරපිංචා, කොච්චි කරල්, සුදුලූනු බික් හා කෑලි මිරිස් ද අවශ්‍ය ප්‍රමාණයට අඹරා ගන්න. පසුව එයටම සෝදාගත් පරිප්පු දමා එලෙසින්ම අඹරා ගන්න. එයටම කපා ගත් පොලොස් කැබලි දමා හොඳින් අඹරා ගන්න. සම්බෝලයක් ලෙස අඹරාගත් පසු ඔබට කැමති ප්‍රමාණයෙන් ගුළි සාදා පසුව තාච්චයක් ළිප තබා එයට තෙල් එක්කොට තෙල් හොඳින් රත් වූ පසු ගුළි කරගත් පොලොස් බැදගෙන ඔබේ අාහාරයට එක් කරගන්න.

පොලොස් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය :

පොලොස් ග්‍රෑම් 250ක්

ලොකු ළූණු ග්‍රෑම් 150ක්

අල ග්‍රෑම් 200ක්

කහ තේ හැඳි 1/2ක්

ගම්මිරිස් තේ හැඳි 1ක්

කරපිංචා ඉත්තක්

අමුමිරිස් කරල් 2ක්

සුදු ලූනු බික් 3ක්

ලුණු පදමට

බැටර් එක සෑදීමට:

පාන් පිටි ග්‍රෑම් 100ක්

වතුර ස්වල්පයක්

පාන් කුඩු

තෙල්

සාදන ක්‍රමය :

මුලින්ම පොලොස් සහ අල වෙන වෙනම තම්බා ගන්න. එයට කහ සහ ලුණු එකතු කරන්න. තම්බා ගත් පසුව ඒවා හොඳින් පොඩි කරගන්න. භාජනයක් ගෙන තෙල් මේස හැඳි 2ක් පමණ ළිපේ තබා රත් වූ පසු පොඩියට කපා ගත් සුදුලූනු, ඉඟුරු, ලූනු සහ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න. පසුව පොලොස්, ලූනු, පොඩියට කපා ගත් අමු මිරිස්, කහ සහ ගම්මිරිස් දමා එකිනෙක හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරමින් විනාඩි 3-5ක් පිස ගන්න.අවසානයේ එයට තම්බා පොඩි කරගත් අල එකතු කර හොඳින් කලවම් කර ගන්න. එම මිශ්‍රණයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට කුඩා බෝල සදා ගන්න. පිටිවලට ලුණු සහ වතුර එකතු කර උකු මිශ්‍රණයක් සාදා ගන්න. ( ඔබට කැමැති නම් පිටි බැටර් වෙනුවට බිත්තරයක සාරු පාවිච්චි කළ හැකිය.)පසුව පොලොස් බෝල පිටි මිශ්‍රණයේ පොඟවා පාන් කුඩුවල දවටන්න. ඉන් අනතුරුව රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැද ගන්න. මෙහිදී වැඩි ගින්දරේ කට්ලට් ටික බැදගැනීමෙන් පුපුරා යාම වළක්වා ගත හැකිය.

පොලොස් මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගෙඩියක්

මිරිස් කුඩු ස්වල්පයක්

තෙල් ස්වල්පයක්

රතු ලූනු

අමුමිරිස්

සුදුලූනු බික් දෙක තුනක්

තක්කාලි සෝස්

විනාකිරි

සාදන ක්‍රමය

පොලොස් ගෙඩියක් ගෙන පොතුහැර දමා කැබලිවලට කපාගන්න. පසුව එයට මිරිස් කුඩු දමා හොඳින් අනාගන්න. තාච්චියක් ගෙන එයට තෙල් දමා හොඳින් රත් වූ පසු සකසාගත් පොලොස් කැබලි දමා බැදගන්න. ඉන්පසු රතුලූනු ගෙඩි කිහිපයක් හා අමු මිරිස් කරල් කිහිපයක් එම තෙලෙන්ම බැදගන්න. පසුව බැදගත් රතුලූනු හා අමුමිරිස් පොලොස් කැබලි මතට එක් කරගන්න. පසුව සුදුලූනු බික් දෙක තුනක් කපා එයද බැදගන්න. පසුව එයට කෑලි මිරිස් ද එක්කොට තක්කාලි සෝස් හා විනාකිරිත් දමා ගන්න. පොලොස් කැබලි, රතුලූනු. අමු මිරිස් කරල්ද එයට එක් කරගෙන මඳ වේලාවක් ළිප තබා ඔබේ ආහාරයට එක් කරගන්න.

TEXT – සඳලි සත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?